පොත් පුවත් | සිළුමිණ

පොත් පුවත්

අලුතින් ජනගත වන පොත් පිළිබඳව පාඨකයන් දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම ‘පොත් පුවත්’ පිටුව සැකසේ. ඒ සඳහා 2020/21 වර්ෂ තුළ පළ කළ කෘතිවල මුද්‍රිත පිටපතක් සිළුමිණ පොත් පුවත්, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට යොමුකළ හැකිය.

කෘතිය- ශ්‍රී ලාංකේය පුරාණ ආරාම ආශ්‍රිත බෞද්ධ ස්වස්ථතාව

කර්තෘ- උල්පතගම අමිතරතන හිමි

ප්‍රකාශක- සමයවර්ධන පොත්හල

මිල- රුපියල් 490 පිටු ගණන- 136

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපශාලාධිපති ගෞරව ශාස්ත්‍රෙව්දී උල්පතගම අමිතරතන හිමියන් විසින් රචිත මෙම කෘතියෙහි අනුරාධපුර නගරය තදාශ්‍රිත ප්‍රදේශයන්හි පිහිටුවන ලද ආරාමවල සෞඛ්‍ය සංරක්ෂණීය පහසුකම් සහිත වාස්තු විද්‍යාත්මක ගොඩනැඟිලි රාශියක් පිළිබඳ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක තොරතුරු රැසක් ඇතුළත්ය. මෙය උල්පතගම අමිතරතන හිමියන්ගේ ප්‍රථම පර්යේෂණ කෘතියයි.

කෘතිය- නිමැවුම් විමසුම්

කර්තෘ-උදේනි සරත්චන්ද්‍ර

ප්‍රකාශක- සරසවි ප්‍රකාශකයෝ

මිල- රුපියල් 450 පිටු ගණන- 194

විමසීම්- 071 8033290

ප්‍රවීණ සාහිත්‍යධර උදේනි සරත්චන්ද්‍ර විසින් විවිධ සාහිත්‍ය ශානර යටතේ රචනා කරන ලද සාහිත්‍ය විචාර දාමයක් මෙම කෘතියට ඇතුළත්ය. මෙම සාහිත්‍ය විචාර ලිපි දාමය තුළින් එම කෘතීන්හි තේමාත්මක ගැඹුර, ආකෘතිය, සන්දර්භය, භාෂා විලාසය වැනි සාහිත්‍යයික අංග ලක්ෂණ විමර්ශනය සහ රසාස්වාදනය තුළින් පාඨකයා තුළ පුළුල් රසවින්දන ශක්තියක් ජනිත කිරීමට කතුවරයා ගත් උත්සාහය අගනේය.

කෘතිය- බස් දොස් දැක්ම 2

කර්තෘ- ගලගම හී.ග. පියතිස්ස

ප්‍රකාශක- සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

මිල- රුපියල් 300 පිටු ගණන- 80

විමසීම්- 071 8374478

විශ්‍රාමලත් විදුහල්පතිවරයකු, කිවියකු මෙන්ම විද්වතකු වන කතුවරයා මෙම කෘතිය තුළින් සිංහල භාෂාවේදී අප වැරදි ලෙස භාවිත කරන අවස්ථා සහ ඒවා නිවැරැදි විය යුතු ආකාරය පිළිබඳව මැනවින් ඉදිරිපත් කර ඇත. එකවර කියවාගෙන යා හැකි තරම් රසවත්ව රචනා කර ඇති මෙම කෘතියෙන් නොදැනුවත්කම හේතුවෙන් භාෂාව වැරදි ලෙස භාවිත කරන අවස්ථා මැනැවින් අවබෝධ කර ගත හැක.

 

කෘතිය- චමත්කාරයි මේ රාත්‍රිය

කර්තෘ- පියසිරි කොඩිතුවක්කු

ප්‍රකාශක- නලින් ප්‍රකාශකයෝ

මිල- රුපියල් 550 පිටු ගණන- 188

ගමේ සිට අර්ධ නගරයක පදිංචියට පැමිණි කතුවරයා අත්විඳි සත්‍ය අත්දැකීම් කිහිපයක් ඇසුරින් නිර්මාණය කරන ලද මෙම නවකතාව කතුවරයාගේ 17 වැනි කෘතියයි. නාගරීකරණය හමුවේ නැසෙන පරිසරයේ සුන්දරත්වයත් ඒ විනාශකාරී දොරටුවෙන් මිදෙන්නට උත්සාහ කරමින් චමත්කාරජනක පරිසරයක් පතන තරුණියකගේ පැතුම් මනාව විදහා දක්වන්නට කතුවරයා මෙම කෘතිය තුළින් උත්සාහ දරා ඇත.

Comments