දිය හොල්මන සහ අතුරු කමිටු සන්නිය | සිළුමිණ

දිය හොල්මන සහ අතුරු කමිටු සන්නිය

 

ශ්‍රී ලංකාව බිහිකළ සුපිරි දඟ පන්දුයවන්නා වන මුත්තයියා මුරලිදරන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර හමුවක් පසුගියදා පැවතුණේ ය. එහිදී ඔහු වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන් අමතමින් පැවසූයේ ඔවුන්ගේ දක්ෂතාවයන් කිසිසේත්ම අවප්‍රමාණය කළ නොහැකි බවකි.

‘අපි ක්‍රීඩා කළ කාලයට වඩා අද ක්‍රිකට් වෙනස්. එදාට වඩා අද හිතන්න ඇති ආකාරය වෙනස්. අපේ කණ්ඩායම ඇතුළේ හොඳ පිතිකරුවෝ ඉන්නවා. අන්කවරදාකටත් වැඩිය විශිෂ්ට යැයි කිවහැකි තුන් ඉරියව් ක්‍රීඩකයෝත් ඉන්නවා. ඒ වගේම ඉතා හොඳ පන්දුයවන්නොත් අපි සතුයි.’ ඔහු එම සාකච්ඡාවේදී පැවසූවේය.

මුරලිදරන් කියනාකාරයට එතරම් හොඳ ක්‍රීඩකයන් කණ්ඩායම සතුවන්නේ නම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව දිගින් දිගටම දැඩි පීඩනයකට නතුව ඇත්තේ ඇයි? අපටත් පසු ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය ඉදිරියේ පවා අසරණ වන්නේ කවර හේතුවකින් ද? බොහෝ ජාත්‍යන්තර තරගවලදී අන්ත අසරණ ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජය වෙමින් තිබෙන්නේ කුමක් නිසාද? පහසුකම් නොමැති හෙයින් ද? යෝග්‍යතාව නොපවතින නිසා ද? එසේත් නැතහොත් වෙනයම් ගැටලුවක් හේතුවෙන් ද? යන්න ගැඹුරින් විමසා බැලිය යුතුව ඇත.

එම ගැටලුවට විසඳුම සෙවීමේදී ක්‍රීඩකයන්ගේ පාර්ශ්වයෙන් වහා ආකල්ප වෙනසක්’ අවශ්‍යවන බව මුරලිදරන් කීවේය. එය සත්‍යයකි.

මේ දේශීය ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර පිටියේ ජයග්‍රහණ වාර්තා කරමින් යළි ඉදිරියට ඒමට උපයෝගී කරගතහැකි කෙටිකාලීන වැඩපිළිවෙලය. එය වත්මන් ක්‍රීඩකයන් මෙන්ම අනාගත ක්‍රීඩකයන් විෂයේද වැඩදායකය.

මුත්තයියා මුරලිදරන් මෙලෙස ක්‍රීඩකයන්ට කතාකිරීමෙන් පමණක් නොනැවතුණේය. ඒ ඔහු ඇතුළු කණ්ඩායමක් රටේ ක්‍රිකට් උන්තිය වෙනුවෙන් දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් සකස් කළයුතු බවට හඬක් නංවමින් අධිකරණය ඉදිරියට ගොස් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ද කටයුතු කළහ. ඒ නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකස් කළයුතු බව පවසමිනි.

මුරලිදරන් ප්‍රමුඛ කණ්ඩායම අධිකරණය හමුවේ ගොනු කළ මෙම පෙත්සමේ ඇමැතිවරයා ද වගඋත්තරකරුවෙකි. එම පෙත්සමට අනුව නව ව්‍යවස්ථාවක් සකස් කර එම ව්‍යවස්ථාවට අනුව පරිපාලනයක් ගොඩනැංවීම වහා සිදුකළ යුතු කාර්යයකි. ඒ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය ඉදිරියේ ගොනු කරමිනි.

එයින් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය තාවකාලිකව කල්දමා අතුරු කමිටුවක් ස්ථාපනය කර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය විධිමත් කළ යුතු බවකැයි හැඟේ. එය එසේම වියයුත්තේ මෙම රිට් පෙත්සම සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ද කඩිගුලක් මෙන් ඇවිස්සෙමින් ඇති හෙයිනි.

ඉන් වැටහෙන්නේ මුරලිදරන්ලා ගොනුකර ඇති පෙත්සම අතුරු කමිටුවකට කැසකැවීමකැයි වත්මන් ක්‍රිකට් පරිපාලකයන්ගේ මතයවී ඇති බවය. එහෙයින් දැන් දැන් අතුරු කමිටු සමයේ සිදුවූයේ යැයි කියන වළ දැමූ මුල්‍ය අර්බූද කීපයකට පණ දෙන්නට උත්සහ ගනිමින් ඇතිබව පෙණේ. ඒ වසර පහකට පමණ පෙර පැවැති ක්‍රිකට් අතුරු කමිටු පාලන සමයක සිදුවූයේ යැයි කියන ඉදිකිරීම් අක්‍රමිකතා කීපයක් සම්බන්ධයෙන් ලිපි ගොනු කරළියට ගෙන එමිනි.

ඉන් ඔවුන් පවසන්නට උත්සහ ගන්නේ ක්‍රිකට් අතුරු කමිටු යනු සුදෝ සුදු පරිපාලනයක් නොවන බවය. අනුබද්ධ සංගම්වලට වග නොකියන හා රටේ ක්‍රිකට් ලෝලීන් හා බැඳී නොමැති කිසිදු වගවීමක් නැති පාවෙන ආයතන පමණක් බවය. එහෙයින් එවැනි අතුරු කමිටු පත් ආදීකිරීමේද ආදීනව ඇති බවය. තාවකාලික අතුරු කමිටු පාලනයක් තුළින් ක්‍රිකට් ක්‍රීඩාවට ඇතිවන්නේ අවනිතියක් විනා කිසිදු ආකාරයක උන්නතියක් නොවන බව ද ඔවුහු නොකියා පවසති.

එහි ඇති පුදුම සහගත භාවය වන්නේ අතුරු කමිටුවක් ගැන සෘජු සාකච්ඡාවක් නොමැතිවත් ‘හොරාට පෙර කෙසෙල් කැණ වැට පනින්නාක් මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කලබලවී තිබීමය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කෝ අතුරු කමිටු අපිට එපෝ යැයි කියා කැම්පේන් පටන් අරගෙන ඇත්තේ එහෙයිනි. අතුරු කමිටු ඝෝෂාව ඔවුනට දැනෙමින් ඇත්තේ ‘දිය හොල්මනක්’ ආකාරයටය. අතුරු කමිටු, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකින් පත්වූ කමිටු කියා මේ මොහොතේ කිසිවකුටත් වෙනසක් නැත. අවශ්‍ය වන්නේ විධිමත්, ජයග්‍රාහී, සටන්කාමී ක්‍රිකට් ක්‍රීඩාවක් රට තුළ යළි ස්ථාපනය කිරීමය.

අනෙක අපට ඇති ප්‍රශ්නය වන්නේ ක්‍රිකට් අතුරු කමිටුවක් විසින් වැරදි කර තිබුණේ නම් ඊට පසු බලයට ආ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රිකට් පාලකයෝ කිසිවෙක් එකී වැරදි සම්බන්ධයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග කිසිවක් නොමැති වීමය. එදා සිට අද දක්වා වසර ගණනාවක් ගෙවී යද්දීත් ඔවුන් කර තිබුණේ පැරණි වැරදි නිවැරදි කිරීමට නොව තව තවත් වැරදි කිරීම ය. අද කෝප් කමිටුව හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිරුත්තර වන්නේ ඒ හේතුවෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන් ‘ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ’ යැයි චෝදනා ලබන්නේ ඒ හේතුවෙනි.

එහෙත් දැන් අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව කෙටි, මධ්‍ය හා දිගු කාලීන සංවර්ධනයක් ඇති කිරීමට සාර්ථක වැඩපිළිවෙලක් දියත් කිරීමය. ක්‍රිකට් ආගමක් සේ සලකන රටක ක්‍රිකට් රැකිය හැක්කේ එලෙසින්ය. එසේ නැතහොත් එකිනෙකාගේ සාක්කුවලට යන ඩොලර් කුට්ටි ප්‍රමාණය අනුව නොවේ. එය තේරුම් ගෙන ක්‍රීඩාව නගාලීම වෙනුවෙන් අවංකව කැපවීම කොයිකාගේත් යුතුකමකි. එය සිදුකළ හැක්කේ මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් ක්‍රීඩකයන් හමුවේ ප්‍රකාශ කළාක් මෙන් ආකල්ප වෙනස් කරගැනීමෙනි.

එසේ ආකල්ප වෙනස් කරගැනීම යනුවෙන් ප්‍රමුඛව කියැවෙන්නේ යමකට ඔබ අකමැති වන්නේ නම් පළමුව උත්සහකළ යුත්තේ එය වෙනස් කරන්නට උත්සුක වීම ගැනය. එහෙත් එය සිදුකළ නොහැකි නම් කිසිවිටකත් පසුබට විය යුතු නැත. එවිට ඔබට කළ හැක්කේ ඔබ තුළ වෙනසක් ඇතිකර ගැනීමය. එම වෙනස ආකල්පමය වෙනසක් විය යුතුය. ඒ වෙනස ක්‍රිකට් පාර්ශ්වයෙන් නම් ‘ක්‍රිකට් ව්‍යවස්ථාව’ වෙනස් කරගැනීමය. ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරගැනීමට අධිකරණයේ රිට් පෙත්සමේ විනිසුරු තීන්දුව ප්‍රබලය.

 

සංස්කාරක

Comments