දන මන පිරවූ රජ නෙතු පිනවූ ඇත් පොර ප්‍රිමියර් ලීගය | සිළුමිණ

දන මන පිරවූ රජ නෙතු පිනවූ ඇත් පොර ප්‍රිමියර් ලීගය

 

රාජාණ්ඩු සමයේ ක්‍රීඩා අතර වැඩිමනක්ම ජනප්‍රිය වූයේ පුද්ගල වීරත්වය උද්දීපනය කරවන ක්‍රීඩාය. එසේ නොවන ශාන්ති කර්ම, ආගමික පුද සිරිත් මූලික කරගත් ක්‍රීඩා ද ඒ අතර විය. එහෙත් ජනතාව අතර වඩා ප්‍රචලිත වූ රජුන් තුටු පහටු වූ ක්‍රීඩා අතර 'ඇත් පොර' ක්‍රීඩාවට ඇත්තේ ඉහළ පිළිගැනීමකි. එහෙයින් රාජාණ්ඩු යුගයේ ඇත් පොර 'ප්‍රිමියර් ලීග්' (අයි.පී.එල්) වැනි යැයි හැඳින්විය හැකිය. මේ ඒ ගැනය.

රණ ඇතෙක් හඳුනාගන්න තිබෙන හොඳම ලක්ෂණයක් තමයි රැළි වැටුණු වැටියකින් වටවූ තඹ පාට ඇස්, මහත හතරැස් හිසක් සහ බිම ගෑවෙන දිගු හොඬක් තිබීම. මහත හා දිග පළල සමව, බෙල්ලේ ඉඳලා වලිගය දක්වා ක්‍රමයෙන් බෑවුම් වුණු සිරුරකුත් රණ ඇතාට තිබිය යුතුමයි. ඒ වගේම උගේ පිට ටිකක් විතර රවුම් වගේම කොට විය යුතුයි. ඈතින් පිහිට ඇති පාද ද තිබෙන්න අවශ්‍යයි. ඒ වගේ ඇතුන්ගේ දකුණු දළය වම් දළයට වඩා මදක් විතර උසින් පිහිටලා තිබිය යුතුයි කියලා හස්ති විද්‍යාවේ සඳහන් වනවා.

ඒ කාලේ සිංහල රජ්ජුරුවන්ගේ ඇත් පංතිය පාලනය කළේ ගජනායක නිළමේයි. ඔහුගේ කොඩිය තමයි හස්ති මහා කොඩිය. ඔහු යටතේ ඇතුන් සම්බන්ධයෙන් කටයුතු කරන්න හත් කෝරළයේ දිසාව හරි කුරුවිට හරි ලෙක්ම් හිටියා. ඇතුන් බලාකියාගත්තේ කුරුවේ උදවිය විසිනුයි. ඔවුන් ගොවි කුලයට අයත් වූවන්.

රාජකීය ඇත් ගාලේ ඊළඟ නිලධාරියා කංකානම්ලා තුන්දෙනෙකුගේ ප්‍රධානියා වුණු විදානේයි.

ගාලේ ඇත්තේ ඇත්ගාල් රැකියාවේ නියැලුණා. ඒ කටයුතු කළේ ඔවුන් සමඟ හිටින පනික්කින් හා පටබැඳි ආරච්චි කෙනෙක් යටතේයි.

ඔහු යටතේ පන්න කුළයේ අය දළ ඇත්තු හා සුදු ගෝමර ඇත්තු රාජකීය ඇත්ගාලට යැව්වා. ඒ වගේම අනිත් ඇත්තු උවමනා කාලය එනතුරු රැකබලාගත්තා.

රජුගේ යුද ඇත්තු පුහුණු කළේ පාතදුම්බර උඩගම්පහ කෝරළේ කෙන්ගල්ලේ ජීවත් වුණු කුරුවේ මිනිසුණුයි. මේ අය පාලනය වුණේ මුහන්දිරම් කෙනෙක් යටතේයි.

ඒ කාලේ ඇතෙක් මැරුවොත් දැඩි දඬුවම් හිමිවෙනවා. වීදියක් වීදියක් ගානේ කස පහර දෙමින් රැගෙන යනවා. ඈත පළාතක සිරකර තබනවා. අලියකු මැරීමේ වරදට කෝටු මස් කරන එක ඒතරම් තද දඬුවමක් නොවෙයි. ඒ අය මහනුවරම සිරගත කළා. ඔවුන්ගේ දේපල රාසන්තක කරන්න කටයුතු කළා.

යුද ඇත් මෙහෙහුම රාජ කුමාරයෙක් උගත යුතුම ශිල්පයක්. මේ පුහුණුව වෙනුවෙන් සංයුක්ත තඹ ඇත් රුවක් යොදා ගත්තා කියලා කිව්වා. පණ තියෙන ඇතකු හසුරුවන් උපයෝගීවන නිල සියල්ලක්ම තඹ ඇත්රුවේ සලකුණු කරලා තිබුණලු.

කටු තුඩකින් නියම තැන තදකළ විට පණ ඇති ඇතා හැසිරෙන ආකාරයටම තඹ ඇතාගේ සන්ධි ද වැඩකළා. මාවනැල්ලේ හිඟුල ගමේ එක පවුලක් ළඟ ඒ ආකාරයේ ඇත්රුවක් තිබුණාලු.

ජෝන් ඩොයිල් කියන්නේ ඇතැම් විට විශාල ශක්තිමත් ඇතෙක් පිටියට ගෙනැවිත් කෙත්ගල්ලෙන් හරි මාතලෙන් හරි ගෙනා ඒවගේම තවත් ඇතකුට මුණ ගස්වනවා. උන් පොර නොවැදුණොත් කාමය අවුස්සන් උන් අතර ඇතින්නක් යොදවනවා. ඔන්න ඊට පස්සේ ඇත්තු ඇවිත් එකිනෙකාගේ හොඬ පටලවාගනිමින් සටනට වැටෙනවා. සමහර වෙලාවට පයින් පහර ගසා ගනිමින් හිසින් හා දළින් ඇන ගනිමින් සටන දියත් කරනවා.

සමහර අවස්ථාවලදී ඇත් ගොව්වෝ උන් වෙන් කිරිමට උත්සහ කරනවා. ඒත් සමහරෙක් දින කීපයක් වුණත් පොර වදිනවා. ඒ අනෙකා පරදින තුරුයි. පරාජිත ඇතා වීථි ඔස්සේ වනය තෙක් දිවයන්නේ තමන්ගේ දිවි ගලවා ගන්නයි. ජයග්‍රාහී ඇතා පරාජිතයා පසුපස එළවනවා. අවසානයේ ඇතින්නගේ රාගී ස්වරය ජයග්‍රාහී ඇතා යළි ජයබිම වෙත රැගෙන එනවා. ඒ වනවිට ඇත්ගොව්වන්ට ත්‍යාග ප්‍රදානය කරන්න රජු තීරණය කර අවසන්.

ඇත් පොර ගැන ඉතිහාසය කියවද්දී සෙංකඩගල මහ මළුවේ හීලෑ ඇතුන් අතර එවැනි පොර වැඩි වශයෙන් පැවැති බවට සාක්ෂි තිබෙනවා. ඒකට යොදාගෙන තිබුණේ මඳ මත්වූ ඇතුන්ලු. එහෙම නැත්නම් කුළු බඩු ආදිය දාලා සුරා පොවලා මත්කරපු ඇතුන් සටනට යොදවන්න ක්‍රියාකර තිබෙනවා.

ලබන සතියේ ප්‍රිමියර් ලීග් ඇත් ක්‍රීඩාව.

කුසුමා අබේසිරිගුණවර්ධන

Comments