රස බලන තෙක් ඉව­සු­ම් නැති ලේන හතු බැදුම | සිළුමිණ

රස බලන තෙක් ඉව­සු­ම් නැති ලේන හතු බැදුම

 

ලේන හතු කියන්නේ අනෙකුත් බිම්මල් මෙන් පොළොවේ හට නොගෙන දිරාගිය දැව කඳන් උපස්ථරය කොටගෙන වර්ධනය වෙන හතු ජාතියක්. ඉතා රසවත් මෙන්ම ගුණදායක, වස විස නැති ලේන හතු සාමාන්‍ය බිම්මල් මෙන් නාගරිකව ජනප්‍රිය නොවූවත් අදටත් ගම්බද ජනතාව ඉතා කැමැත්තෙන් රස බලන ආහාරයක්. ලේන හතු පිපෙන්නේ වසරේ එක්තරා කාලයක වීම නිසාත් වර්ධනයට දිරායන දැව කඳන් අවශ්‍ය නිසාත් ලේන හතු සොයා ගැනීම එතරම් පහසු කාර්යයක් නම් නෙවෙයි.

ලේන හතු මාලුව, බැදුම මෙන්ම ලේන හතු පොල් මැල්ලුමද ද ගැමි ජනතාව අතර ප්‍රචලිතයි. මේ අතරින් විශේෂ ලේන හතු බැදුමයි.

 

රස රහස්

ලේන හතු ඉතා තද බවකින් යුක්ත නිසා උණු වතුරේ පොඟවා මෙලෙක් කරගන්න පුළුවන් ලේන හතු බැදුමේ රස රහස නම් බටර් - දොඩම් සෝස් සහ එම සෝස් එකේ ලේන හතු මැරිනේඩ් කිරීම.

බටර්, දොඩම්, ඉඟුරු සහ සුදු ලූනු යන අමුද්‍රව්‍ය සියල්ලෙන්ම ලේන හතු බැදුමට ලැබෙන්නේ ඉමිහිරි රසයක්.

විනාඩි 5ක්-10ක් පමණ ලේන හතුවලට සෝස් එක උරා ගන්න ඉඩ හැරීමෙන් ලේන හතු රස තවත් වැඩි වෙනවා.

බැදුමට තුනපහ එක් කිරීමත් රස රහසක්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

පිරිසුදු වතුරෙන් සෝදා ගත් ලේන හතු ග්‍රෑම් 100ක්

කුඩා බොම්බයි ලූනු ගෙඩියක්

අමු මිරිස් කරල් 2ක්

කෑලි මිරිස් තේ හැන්දක්

තුනපහ තේ හැඳි භාගයක්

මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි ගෙඩි 1/2ක්

කුඩා කරපිංචා ඉත්තක්

රම්පෙ කැබැල්ලක්

පොඩි කුරුඳු කැබැල්ලක්

පිරිසුදු පොල්තෙල්

ලුණු අවශ්‍ය පමණ

බටර් - දොඩම් සෝස් සඳහා

බටර් තේ හැන්දක්

දොඩම් යුෂ මේස හැඳි 2ක්

හොඳින් අඹරා ගත් සුදු ලූනු තේ හැඳි 1/2ක්

හොඳින් අඹරාගත් ඉඟුරු තේ හැඳි 1/4ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4ක්

 

හදන්නේ මෙහෙමයි

උණුසුම් වතුර භාජනයකට ලේන හතු දමා ලුණු ස්වල්පයක් එක්කර පැය භාගයක්

පමණ පෙඟෙන්නට හරින්න. පසුව පොඟවා ගත් ලේන හතු කැබලිවලට කැඩී නොයන සේ වතුර ඉවත්වන තුරු හොඳින් මිරිකා පිරිසුදු රෙදි කඩක් මත අතුරා පසෙකින් තබන්න. ලේන හතුවල තද ගතිය තවදුරටත් අඩු කර මෘදු කර ගැනීමට ඒවා මිරිස් ගලක් මත තබා තලා ගන්න.

ලේන හතු බැදුම සැකසීමේදී මුලින්ම බටර් දොඩම් සෝස් එක සාදා ගත යුතුයි. භාජනයකට හොඳින් මෙලෙක් වූ බටර් දමා එයට දොඩම් යුෂ, ඉඟුරු සුදු ලූනු පේස්ට් සහ ගම්මිරිස් එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න. තලා ගත් ලේන හතු සියල්ල මෙම සෝස් එකට දමා ඒ අමුද්‍රව්‍ය උරා ගැනීමට (මැරිනේඩ් වීමට ) විනාඩි 10 ක් පමණ තබන්න.

බොම්බයි ලූනු ගෙඩිය සිහින්ව කපා තරමක කැබලි සිටින සේ තක්කාලි සහ අමු මිරිස්ද කපා ගන්න.

තාච්චියකට පොල්තෙල් දමා රත් වූ පසු සිහින්ව කැපූ ලූනු එක්කර හොඳින් කලවම් කරන්න. එයටම රම්පෙ, කරපිංචා, කුරුඳු, තක්කාලි සහ අමු මිරිස් එක්කර හොඳින් කලවම් කරගන්න. විනාඩියක් පමණ එසේ බැදගත් පසු බටර් දොඩම් සෝස් සමඟ මැරිනේඩ් වීමට තැබූ ලේන හතු එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.

විනාඩි 2ක් පමණ බැදගත් පසු තාච්චිය වසා විනාඩියක් පමණ ඉදෙන්නට හරින්න.

නැවතත් පියන හැර රස පමණට ලුණු එක් කර ගන්න. ලේන හතු පෙඟවීමේදී හා සමහර බටර් වර්ග ලුණු ගතියකින් යුක්ත නිසාත් ලුණු එක් කිරීමේදී සැලකිලිමත් වන්න. ඉන් පසු කෑලි මිරිස් සහ තුනපහද එක්කර දැන් කලවම් කරන්න.

විනාඩියකට වරක් හැන්දකින් මිශ්‍රණය පෙරළමින් තවත් විනාඩි 5 - 6ක් පමණ බැදෙන්නට හරින්න. ලේන හතු කැබැල්ලක් පිටතට ගෙන එය ආහාරයට ගත හැකි පමණට මෘදුවී ඇත්නම් මිශ්‍රණය ලිපෙන් බා ගත හැකියි. ( ලේන හතු හොඳින් බැදුණු පසුවද තරමක් තද ගතියකින් යුක්ත ය ) ලේන හතු බැදුම ඉතා සුවඳකින් යුක්ත වේ. එනිසා එය රස බලන තෙක් නිවෙසේ කාටත් ඉවසුමක් නැතිවේවි.

 

 

Comments