කඳුළෙන් සහ කම්පනයෙන් නවකතාවක් ලියූ චූලාභය ශාන්ත කුමාර හේරත් | Page 2 | සිළුමිණ

කඳුළෙන් සහ කම්පනයෙන් නවකතාවක් ලියූ චූලාභය ශාන්ත කුමාර හේරත්

ගෙවෙන හැම නිමේෂයක්, නොසිතා කියන වදනක්, හදවත කීරි ගස්වන බැල්මක්, රාත්‍රී අහසේ දිලෙන තනි තාරුකාවක්, ගසක මුලින් ම පිපෙන මලක්, කොන්ක්‍රීට් අතරින් ආයාසයෙන් මතුවෙන තෘණ පතක්, ලොවට නොපෙනෙන සේ සඟවා ගන්නා කඳුළු බින්දුවක් මේ සියල්ල නිර්මාණ බිහිවීමේ ලා පෙරනිමිති ය. මේ පෙරනිමිති අප කියවන, අසන, බලන නිර්මාණවල අපට හසු වෙන්නේ ය. නිර්මාණකරුවන් ස්වකීය නිර්මාණ ගැන හෘදය සංවේදී විවරණ කරන අවස්ථාවල මේ වැනි දෑ ගැන පවසනු අපි අසා ද ඇත්තෙමු. සෑම නිර්මාණකරුවකු ම මේ වැනි දෑ කාලයක් තිස්සේ එකතු කරන්නේ ය. ඒවා සිතෙහි තැන්පත් ව විවිධ හැඩතල හා විවිධ රිද්ම එකතු වී කොයියම්ම දිනෙක හෝ නිර්මාණයක් බවට පත් විය හැකිය.

ජීවිතයේ අපට හමුවන අනේකවිධ නිර්මාණ අනුභූති වරෙක අපට නොවටින්නේ ය; තවත් විටෙක වටිනවා යැයි දැනුණ ද එකතු කර ගැන්මට නොසිතේ. තවත් විටෙක ඒවා එකතු කර අපි පසු ප්‍රයෝජනය තකා පැත්තකින් තියන්නෙමු; තවත් විටෙක අනුභූති කොතරම් හමුවුණත් නොදැක ම, නොදැන ම අපි ජීවන ගමන යන්නෙමු. අතිශයින් දුර්ලභ අවස්ථාවක පමණක් මේ නිර්මාණ අනුභූති නෙත ගැටී, පන්හිඳෙහි; කැමරාවෙහි රැඳී එකී නිර්මාණ මෙවලමෙන් වඩාත් ඔපමට්ටම් වී හෘදය සංවේදී බවට පත් වී තවත් බොහෝ දෙනකුට නිර්මාණාවබෝධය ලබා දෙන්නේ ය.

චූලාභය ශාන්ත කුමාර හේරත් ජ්‍යෙෂ්ඨ සන්නිවේදකයාගේ ‘මා‘ නමැති නවකතාව පුරා අප අනේකවාරයක් අත්විඳි දෑ හමු වෙන්නේ ය. ඔහුට දැනුණු සමහර දෑ අපට නොදැනුණා නොවේ.

එහෙත් නිර්මාණකරුවා සාමාන්‍ය අපට වඩා වෙනස් ය. ඔහු අපත් අත්විඳි එවැනි දෑ තවත් පාඨක සහෘදයන් වෙනුවෙන් බෙදා හදා කරන්නේ ය.ඒවා අපට වඩා වෙනස් ව හා අපූර්ව ලෙස විඳින්නේය; අවසන විදාරණය කරන්නේය.

‘මා‘ ලියැවීමට පාදක වූ කරුණු ගැන ලේඛකයා සිය හඬ අවදි කළේ මෙසේය.

‘මා‘ අප බොහෝදෙනා දශක තුනක් සසල කළ අත්දැකීමක් විඳීමෙන්, දැකීමෙන් ලියැවුණක්. සමහරු යුද්ධයේ ජයග්‍රහණය ගැන උදම් අනනවා; තවත් සමහරු යුද්ධයේ බිහිසුණු බව ගැන අතිශය කම්පාවට පත් වෙනවා. යුද්ධයට කිසිම සම්බන්ධතාවක් නැති මිනිස්සු යුද්ධය නිසා කෙතරම් අපහසුතාවට පත් වෙනව ද කියලා මම අත්දැක්කා. මම යුද්ධය කාලේ ගුවන්විදුලියේ යාපනය සේවයේ වැඩ කළේ. ඒ බිහිසුණු අත්දැකීම් සජීවී ව විඳි කෙනෙක් මම. ගෙදරට කතා කරන්න බෑ; දැන් වගේ ඒ කාලේ දුරකතන නෑ. ජීවිතය හා මරණය අතර තමයි අපි සන්නිවේදන කාර්යය කළේ‘

නිර්මාණකරණය ගොඩනැඟෙන්නේ මනස ඇතුළතින් පැන නඟින උද්වේගයේ බාහිර ප්‍රකාශනයක් ලෙසිනි. උද්වේගය, පීඩනය හා ආස්වාදය යන චිත්තයන්ගේ තෙරපීම අබියස නිර්මාණකරුවා දණ නමන්නේ කවර දෙයක් වෙනුවෙන්ද? හෘදය සංවේදී නිර්මාණකරුවන් දණ නමන්නේ තම හෘදය සාක්ෂියෙන් ලැබෙන අණ ඉදිරියේ බැව් අප විශ්වාසයයි. චූලාභය නම් ශ්‍රව්‍ය සන්නිවේදකයා සංරක්ෂිත මාධ්‍යයක් වන නවකතාවේ මූල බීජය ස්පර්ශ කරන්නේ අනවබෝධය රජැයූ බිමක් නිසා වීම විශේෂත්වයකි.

2014 වර්ෂය වන විට චූලාභය සන්නිවේදකයා සේවය කරමින් සිටියේ චීන ජාත්‍යන්තර ගුවන්විදුලියේ ය. ඔහු චීනයට හිම වැටෙන සීතලෙන් ගල්වෙන පෙබරවාරියේ අග චීන බෙයිජිං ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ පිළිගැනීමේ ශාලාවට වී සිය බිරිය එනතෙක් පැය කිහිපයක් බලා සිටියේ ය. එදා කුමක් හෝ හේතුවක් නිසා ඇය පැමිණෙන ගුවන් යානය ප්‍රමාද විය. නිර්මාණකරුවකුට රස්තියාදුව තරම් වටිනා අන් යමක් නැත. විශේෂයෙන් ලොව පුරා සංචාරකයන් ගැවසෙන ගුවන් තොටුපළක් එවැනි රස්තියාදුවකට කදිම ස්ථානයකි. චූලාභය මාධ්‍යවේදියාට එහි බලන්නට, දකින්නට ඕනෑතරම් දෑ තිබිණි. අමුත්තන් පැමිණෙනවිට හඳුනා ගැනීම සඳහා වන බෝඩ් උස්සාගෙන සිටි බොහෝ දෙනා අතරේ සිටි එක් තරුණයෙක් මේ නිර්මාණකරුවාගේ විශේෂ අවධානයට ලක් විණි. එකී තරුණයාගේ නොසන්සුන්කම තම ඉවසීම කරගත් චූලාභය ඒ තරුණයාගේ සියුම් ඉරියව් ඉසියුම් ව අධ්‍යයනය කළේය. මා පෙර කී පරිදි ම බැල්මක් පවා වස්තුබීජයක් විය හැකිය. චූලාභය නිර්මාණකරුවා මෙකී අත්දැකීම විස්තර කළේ මෙපරිද්දෙනි.

‘ ඒ තරුණයාගේ හැසිරීම මගේ හිතේ රෝපණය කළේ කෙටිකතාවක වස්තුබීජයක්. ඊට දින කිහිපයකට පසු චීනයේ විශ්වවිද්‍යාලයක ව්‍යාපාර කළමනාකරණය හා ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරමින් සිටි සොනාල ගුණවර්ධන මට හමු වුණා. මම ඔහුට මේ සැකිල්ල ගැන කීවා. ඔහු මට එකවර කීවේ මෙවැන්නක්..

‘ අයියෙ මේක ඇතුළෙ කෙටිකතාවකට වඩා මම නම් දකින්නේ බොහොම ප්‍රබල නවකතාවක්...‘

ඔහුගේ ඒ අදහස මට බොහෝ දේ හිතන්නට මඟ පෑදුවා. ‘සූරිය කුසුම‘ සහ ‘ සඛී භාර්යා‘ ලියද්දිත් මගේ හිතේ අර කෙටිකතාව නවකතාවක් ව වැඩෙමින් තිබුණා‘

‘මා‘ නවකතාවට පාදක වූ අත්දැකීම් ගැන චූලාභය ශාන්ත කුමාර විතාන ලේඛකයා සිය මතකය අවදි කළේ එපරිද්දෙනි. නිර්මාණ අනුභූතීන් හමු වන්නට දේශය, දීපය බලපාන්නේ නැත. අවශ්‍ය වන්නේ මනසේ වන ඉසියුම් නිරීක්ෂණය පමණී. එදා ඒ තරුණයාගේ නොසන්සුන්කාරී හැසිරීම තවත් බොහෝ දෙනකුට පෙනෙන්නට ඇත. එහෙත් එය ඔවුන්ට තවත් එක් සිදුවීමක් පමණී. නිර්මාණකරුවා අර බහුතරයෙන් වෙනස් වෙන්නේ මෙන්න මේ කාරණා නිසා ය.

‘මා‘ තවත් හැඩයකින් මා අතට හසුවෙයි. එය නොලියා ම බැරි ය. ජනවාර්ගික අර්බුදයෙන් සලිත වූ, එයින් ම කම්පාවට පත් වූ පරම්පරාවක අතීතාවර්ජනය මඟ හැර යෑමට පාඨක අපට බැරි ය.

මේ නවකතාව කියවද්දී හිත සසල වන අවස්ථා කිහිපයකි. ජූලි වර්ජනය ගැන වන සඳහන එවැන්නකි. 83 ජූලි කලබලයෙන් පසු කවිතා ඇතුළු පවුලේ අය බේරා ගන්නා රේවතගේ හදවතේ කවිතා බරට තැන්පත් වන සජීවී හැඟීම අපට ද දැනෙන තරමට ලේඛකයා ලේඛනයේ දක්වන බුහුටි බව කෘතියට ආභරණයකි.එය බොහෝ සමීප දෘෂ්‍ය රූපයක්ව පාඨක සිතේ තැන්පත් වෙයි.

83 ජූලි කලබල ගැන කියන විට චූලාභය වඩාත් සංවේදි වන්නේ එකී අත්දැකීම ඔහු සජීවී ව දැක ඇති නිසා ය.

‘මේ අත්දැකීම මම විඳි දෙයක්. පොත ලියද්දි මේ වැනි සිදුවීම් කිහිපයක් මගේ මනසේ රඟ දුන්නා. බොහෝ දේ මට මතක් වුණා. ඒ කඳුළුයි, කම්පනයයි අකුරු කරන්න විතරයි මට තිබුණේ. ඔබ කියන සජීවී බවට එය බලපාන්න පුළුවන්‘

පුද්ගල බැඳීම් ගැන විවරණය මෙහි ගැඹුර ස්පර්ශ කරන ප්‍රධානම සාධකයයි. පුද්ගල බැඳීම් දකින, විඳින දෙයින් ඔබ්බේ කියවාගන්නා මානයට බොහෝ එහායින් පවතින දෙයක් බැව් මෙහි මා දකිනා සාරයයි. ඒවාට අර්ථකථන නැත. බැඳීම්වලට අර්ථකථන දිය හැක්කේ කාටද? මානව සම්බන්ධතාවන්හි සංකීර්ණත්වය කෙසේ කොහොම නිර්වචනය කරන්න දැයි යන්නට දෙස් දෙන නවකතා අපට ඇත්තේ අතළොස්සකි.

බෞද්ධ දර්ශනයෙන් ලද ආලෝකවත් බව නවකතාව පුරා ඊට ගැඹුරක් එක් කරමින් නවකතාවට කිසිදු බාධාවක් නොවී ගලා යයි. සාරගර්භ සන්නිවේදකයකුගේ විශිෂ්ටතම හැකියාව වන්නේ මනරම් හා යටිපෙළ අරුත්වලින් පොහොණි භාෂාත්මක හරඹයයි. ‘මා‘ නවකතාව පුරාම ඇත්තේ විශිෂ්ට සන්නිවේදකයකුගේ රූපකාත්මක, පරිකල්පනාත්මක සුපහන් බවයි.

ඔහු නිරන්තරයෙන් අවධාරණය කරන කරුණක් වෙයි. එය පොතේ කිහිපතැනක සඳහන් ය. සිය සිත පාලනය කරගත නොහුණු අවස්ථාවල කවිතා තමාටම එය මතක් කරගන්නේ යෝග පුහුණුවකින් ලද අභ්‍යාසාත්මක බව නිසා ය.

‘හිතට කැරලි ගහන්න දෙන්න එපා‘ ජනවාර්ගික ගැටලුවටත් වඩා ම සිත නම් සසල කළේ එහි නිරූපිත මානව සබඳතාහි සංකීර්ණත්වය බැව් ලිවිය යුතු ම ය.

හෘදය සංවේදී ලේඛකයකුට සිය හදවතෙන් නැඟෙන වේදනාව, විඳවීම සමනය කරගත හැක්කේ එය නිර්මාණයක් ව පාඨක සහෘදයනට තිළිණ කිරීමෙන් පමණී. විඳවීම තවදුරටත් විඳවීමක් නොවී වින්දනයක් වන්නේ එවිට ය. රිදුණු සිත සුවපත් කරගන්නට ‘මා‘ ලියූ බව චූලාභය ශාන්ත කුමාර කියන කතාව අපට ද දැනෙන්නේ ඒ නිසා ය.

යුද්ධය නිසා පීඩා විඳින්නන් වන්නේ පෙනෙන අය පමණක් නොවේ. එයට අසීමිත පිරිසක් සෘජු ව හා වක්‍ර ව බිලිවෙති; වේදනා විඳිති; විඳවමින් විඳවති. ඒ පැසවන තුවාල සුව කිරීමේ ජගතෙක් මේ ලොව බිහි නොවන බැව් ලියා තැබිය යුතු ම ය. ජීවත්වීම ආසාවක් වන ලොව බොහෝ දෙනා අතර යුද අත්දැකීම් නිසා ජීවත් වීම වදයක් වූ අය ද සිටින බව පමණක් සිතේ ගැඹුරුම තැනක තැන්පත් විණි.

Comments