වසර සිය­ය­ක් සපිරෙන මහ­නු­වර ඩී. එස්. සේනා­නා­යක මහ­ජන පුස්ත­කා­ලය | සිළුමිණ

වසර සිය­ය­ක් සපිරෙන මහ­නු­වර ඩී. එස්. සේනා­නා­යක මහ­ජන පුස්ත­කා­ලය

හනුවර ඩී. එස්. සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලය බිහිවී ඔක්තෝබර් මස දෙවන දිනට පුරා වසර සියයක් සපිරේ. ලක්ෂ සංඛ්‍යාත දෙනකුගේ නෙත් සිත් ඇඳ බැඳ ගත් මනරම් ස්ථානයක් වූ ඩී. එස් සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලය බොහෝ දෙනෙකුට ඉගෙනුම ලැබු පාසල, විශ්වවිද්‍යාලය, මෙන්ම මතකයේ රැඳෙන ආදරණීය නිවහනකි.

1841 ඉංග්‍රීසි පාලන යුගයේ මධ්‍ය නාගරික පුස්තකාලය නමින් (central town library) මහනුවරදී ආරම්භ කෙරුණු මෙම පුස්තකාලය 1920 තෙක් දායක මුදල් ගෙවූ ඉංග්‍රීසි උගත් දෙස් විදෙස් පාඨකයන් උදෙසා පවත්වාගෙන ගොස් ඇත. ආර්ථික හේතු මත මෙම පුස්තකාලය පවත්වාගෙන යෑමට නොහැකි වූ බැවින් 1920 ඔක්තෝබර් මස 01 වන දින මහනුවර මහ නගර සභාවට මෙම පුස්තකාලය පවරා දී තිබේ.

1950 දෙසැම්බර් මස විසිතුන් වන දින ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා මෙහි වර්තමාන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබන ලදුව එතුමා අනුස්මරණය කිරීම සඳහා මෙම පුස්තකාලය ඩී. එස් සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලය ලෙස නම් කෙරිණි. 1962 වසරේ මෙම ගොඩනැගිල්ල ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාර විලියම් ගොපල්ලව මැතිතුමා අතින් විවෘත කරන ලදී.

මෙය පාලනය කරනු ලබන්නේ මහනුවර මහනගර සභාව මගිනි. වසරකට රුපියල් ලක්ෂ පහළොවක මුදලක් පොත් පත් ඇතුළු දෑ සඳහා නගර සභාව වාර්ෂික අයවැයෙන් වෙන් කරන අතර නඩත්තු කටයුතුද නගර සභාව විසින් කරගෙන යනු ලබයි. නාගරික බල ප්‍රදේශය මෙන්ම නගරයෙන් බැහැර ජනතාව සඳහාද පුස්තකාලය විවෘතව පවතී. ළමුන් වෙනුවෙන් විශේෂිත වූ මෙමඟින් පාලනය වන ළමා පුස්තකාලයක් ද පවතින අතර ළමා කියැවීම් සමාජ, කතන්දර පැය, ලේඛන හවුල, අත්කම් පැය, චිත්‍ර පැය, නර්තන හා සංගීත සංසදය, රූපවාහිනී මුතුහර ළමා සමාජය, විවිධ සාහිත්‍ය තරඟ වැනි වැඩසටහන් දරුවන් වෙනුවෙන් මෙම ළමා පුස්තකාලය තුළ ක්‍රියාත්මක වේ.

මෙම මහජන පුස්තකාලය සතුව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම ඉතා වටිනා පොත් ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් ඇති අතර සාමාජික සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි. ප්‍රධාන පුස්තකාලයට පැමිණීමට අපහසු ජනතාව සඳහා ඩී. එස්. සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලයට අනුබද්ධිතව පුස්තකාල සහ කියවීම් ශාලා පහසුකම් එම ප්‍රදේශවල ජනතාවට සපයා ඇත.

ඉතා විධිමත් හා ක්‍රමවත් පිළිවෙලකට පාඨකයින් සඳහා ප්‍රසංසනීය සේවාවක් සලසා ඇත. සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළවන දිනපතා සහ ඉරුදින පුවත්පත් කියැවීම සඳහා පහසුකම් සලසා ඇත. එක් වසරක පුවත්පත් ගොනු වශයෙන් කියවීම සඳහා සකසා ඇත. සියලුම භාෂා වලින් මෙරට පළවන වාණිජ සඟරා, විවිධ විෂයයන් යටතේ පළවී ඇති සඟරා, ජනප්‍රිය සඟරා සති පතා පුවත්පත්, සීමිත සමාගම්, වෘත්තීය සමාගම්, ස්වේච්ඡා සංවිධානවල ප්‍රකාශන සියල්ල මෙහි අන්තර්ගතය. ගැසට් නිවේදන සහ පාර්ලිමේන්තු ප්‍රකාශන යන රජයේ ප්‍රකාශන ද තිබේ.

එමෙන්ම දෙමළ සහ ඉංග්‍රීසි බසින් පළවී ඇති දේශපාලන ආර්ථික හා සමාජ විද්‍යාවට අයත් සඟරා, ක්‍රීඩා කලා හා ජනප්‍රිය සඟරා වර්ග, ආගම් දර්ශනය යටතේ ඇති සඟරා වර්ග, එක්සත් ජාතින්ගේ සංවිධාන යටතේ ඇති විවිධ ආයතන සංවිධාන, ප්‍රජා තොරතුරු පාඨකයාට පහසුවන අයුරින් ක්‍රමානුකූලව සකසා ඇත.

මෙහි විමර්ශන අංශය වෙත පිවිසීමට සාමාජිකත්වයක් අවශ්‍ය නොවන අතර ජාතික හැඳුනුම්පත හෝ වෙනත් හැදුනුම්පතක් මගින් අනන්‍යතාව තහවුරු කළ හැකිය. ස්ථිර විමර්ශන ග්‍රන්ථ, ක්ෂණික විමර්ශන ග්‍රන්ථ වශයෙන් සැලකෙන විශ්වකෝෂ, ශබ්ද කෝෂ, ග්‍රන්ථ නාමාවලි වාර්ෂික ග්‍රන්ථ,පාරිභාෂිත ශබ්ද මාලා, ඒක විෂය ග්‍රන්ථ සිතියම් ඇති අතර සිංහල සහ ඉංග්‍රීසි බසින් ලියවුණු ශාස්ත්‍රිය ග්‍රන්ථ එකතුවක් විවිධ විෂය මාතෘකා යටතේ සංවිධානය කරන ලද තොරතුරු ඇසුරුම්, පුවත්පත් ලිපි එකතු, රජයේ ප්‍රකාශන සංඛ්‍යා ලේඛන හා වෙනත් ශාස්ත්‍රීයමය වාර ප්‍රකාශන විමර්ශන අංශයේ ඇති තොරතුරු අතර වේ.

මහනුවර නගර සීමාව තුළ පදිංචි විශේෂිත අපහසුතා නිසා පුස්තකාලයට පැමිණීමට නොහැකි අසරණ වූ ජනතාව සහ රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවය කරන පුද්ගලයන්ට පොත් බැහැර ගෙන යාම සඳහා ජංගම සේවාවක් ක්‍රියාත්මක වේ. අඳ ගොලු බිහිරි පාසල, බන්ධනාගාරය, වැඩිහිටි නිවාස, ළමා නිවාසවලට සාමාජික ගාස්තු අය කරනු නොලබයි.

මෙම පුස්තකාලය තුළ දෘෂ්‍යාබාධිත අයවලුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ඒකකය ඉතාම ප්‍රශස්ථ මට්ටමේ පවතින අතර; මෙහි දෘෂ්‍යාබාධිත සාමාජික සංඛ්‍යාව එකසිය හැටපහක් පමණ වේ. මොවුන් වෙනුවෙන් විශේෂිත වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.

ඇමරිකානු තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් ඇමරිකානු තොරතුරු අංශයක් මෙහි පවත්වාගෙන යනු ලබයි. මෙය දිවයිනේ පුස්තකාලයක ඇරඹුණු ප්‍රථම ඇමරිකානු තොරතුරු පියසයි.

එදා මෙදා තුර මෙම පුස්තකාල සේවාව ලබා ගත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රට පුරා නොයෙක් ක්ෂේත්‍රවල සිටින අතර මෙහි පැරණිතම සාමාජිකයන් වෙනුවෙන් උපහාර උලෙළක් පවත්වා ඔවුන් හා පවතින සබඳතාව අගය කිරීමටද මෙම පුස්තකාල බලධාරින් නොබෝදා කටයුතු කර ඇත.

ඉතා අවාසනාවන්ත ලෙස 2002 වසරේ ඩී. එස්. සේනානායක පුස්තකාලය ගින්නකට හසු විය. ශ්‍රවණාගාරය මුළුමනින්ම ගින්නෙන් විනාශ වූ අතර බැහැර කිරීම් අංශයේ පොත් පත් ප්‍රමාණයක්ද විනාශ විය. පාඨකයන්ට මෙන්ම සමස්ත ජනතාවම කම්පනයට පත්වූ එම සිද්ධියෙන් විනාශ වූ සියල්ල යළි ගොඩනඟමින් නවීන පන්නයේ සියලු අංගෝපාංග සහිත ශ්‍රවණාගාරයක් ඉදිකිරීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්ය එන් ඒ විමලසේනයන් මේ ගැන මෙසේ පැවසීය. ‘මහනුර ඩී. එස් සේනානායක අනුස්මරණ පුස්තකාලය මේ රටේ ජනතාවට විශාල සේවාවක් සපයපු තැනක්. ඥාන සම්භාරයක් එක් කරපු තැනක්. එදා තිබුණ තත්ත්වයට වඩා මෙහි ලොකු දියුණුවක් දකිනවා. නොයෙක් ක්ෂේත්‍ර ඔස්සේ ජනතාවට සේවාව සපයනු ලබනවා. පාඨකයන්ගේ හිත ඇඳ බැඳ ගන්නා ආකාරයෙන් පවතිනවා. මේ රටේ අනාගතය වෙනුවෙන් දිනෙන් දින වැඩි දියුණු කළයුතු සුරැකිය යුතු අගනා සම්පතක්‘ කන්ද උඩරට උරුමය පිළිබඳ ව්‍යවස්ථාපිත මණ්ඩලයේ උප සභාපති මහාචාර්ය එච්. එම්. ඩී. ඒ හේරතුන්ගේ අදහස මෙසේය.

‘මම ඩී. එස්. සේනානායක පුස්තකාලය එදා සිට පරිශීලනය කරපු කෙනෙක්. උපදේශක කමිටුවේ සිටියා. මම මේ පිළිබඳ ඉතා හොඳින් දන්නවා. මෙය ජනතාවට මිණි පහනක් කිවහොත් නිවැරදියි. මෙය ලංකාවේ පළවෙනි මහජන පුස්තකාලය. මේ තුළින් ක්‍රියාත්මකවන වැඩ සටහන් හරහා සමාජයේ ඕනැම මට්ටමේ පුද්ගලයෙකුට මෙහි සේවාව ලබා ගත හැකියි. ජංගම සේවා මගින් එම කටයුතු මනාව ඉටු කෙරෙනවා. මෙම සේවාව මහනුවරට පමණක් නොවෙයි. මුළු මහත් රටටම බෙදා හදා ගන්නක්. වසර සියයක් පුරාවට ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඩී. එස්. සේනානායක අනුස්මරණ පුස්තකාලය නිවහනක් වුණා."

කපිල කුමාර කාලිංගයන්ගේ අදහස මෙසේය.

‘මම මේ පුස්තකාලයේ පැරණිම සාමාජිකයෙක්. මගේ සාමාජික අංකය 332. මම ධර්මරාජ විද්‍යාලයේ අට වසරේ ඉගෙනුම ලබන කාලයේ තමා මෙහි සාමාජිකත්වය ගත්තේ. මම මේ රටේ දුර බැහැරව හිටියත් රටින් පිටවෙලා හිටියත් එම කාලය තුළ පුස්තකාලයට දැනුම් දීමක් තුළින් අඛණ්ඩව සාමාජිකත්වය රැක ගත්තා. මට මගේ ජීවිතයේ මෙම පුස්තකාලය ඉතා වැදගත් වූ ස්ථානයක්.

මට ඉතා සමීප පුස්තකාලයක් වීමත්, හොයාගන්නට නොහැකි ඉතා දුර්ලභ වටිනා පොත් මෙහි තිබීමත් මට ඉතා වැදගත් වුණා. ඉංග්‍රීසි සිංහල මාධ්‍ය දෙකෙන්ම මෙම පොත් තිබෙනවා. මට පාඨකයෙක් හැටියටත් ලේඛකයෙක් හැටියට මගේ ජීවිතයට විශාල දැනුමක් සපයපු තැනක් හැටියට මම ඩී. එස්. සේනානායක පුස්තකාලයට ගොඩාක් ගරු කරන පුද්ගලයෙක්.

පුස්තකාලාධිපතිනි එච්. එම්. පී. හේරත්ගේ අදහස මෙසේය.

මම මෙම පුස්තකාලයේ වසර තිහක සේවා කාලයක් සපුරනවා. පුස්තකාලාධිපතිනි තනතුරට පත් වුණේ මේ වසරේ. එතෙක් මට මෙම පුස්තකාලය සම්බන්ධව ලොකු අවබෝධයක් තිබෙනවා. මෙය මහනුවර පුරවරයට පමණක් නොව මුළු රටටම වටිනා සම්පතක්.

මෙම පුස්තකාලයට ඔක්තෝබර් දෙවන දිනට වසර සියය සපිරෙනවා. ඊට සමගාමීව සර්ව ආගමික වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා. නගර සභාවේ අනුමැතිය ඇති නගර සීමාව තුළ අඩු ආදායම් ලාභි සාමාජිකයන් හතළිහකට ‍නොමිලේ සාමාජිකත්වය ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම ඉදිරි තෙමස තුළ නගර සභා අනුමැතිය මත පුස්තකාල ලාංඡනයක්, මුද්දරයක් සහ සමරු සංග්‍රහයක් කිරිමට බලාපොරොත්තු වෙනවා.

පුස්තකාල සේවාව ලබා ගැනීමට පැමිණෙන අයට බලාපොරොත්තු සේවාව උපරිමයෙන් ලබා දීමට පුස්තකාල කාර්ය මණ්ඩලය ඉතා කැපවීමකින් කටයුතු කරනවා.

මහනුවර පුරපති කේසර සේනානායකයන්ගේ අදහස මෙසේය.

"මහනුවර මහනගර සභාව මගින් පාලනය කෙරෙන මෙහි සියලු කටයුතු සඳහා වාර්ෂික අයවැයෙන් මුදල් වෙන් කෙරෙනවා. 1950 වසරේ මගේ පියා දේශමාන්‍ය ඊ. එල්. සේනානායකයන් මහනුවර නගරාධිපති ධුරය දරණ කාලයේ එතුමාගේ ආරාධනයෙන් එවකට අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායකයන් මෙහි ප්‍රධාන ගොඩනැගිල්ලට මුල්ගල තබනු ලැබුවා. ආධාර, මහජන මුදල් සහ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම ගොඩනැගිල්ල ඉදි කරනු ලැබුවා.

මෙම පුස්තකාලය ගින්නකට අසුවී දැඩි ලෙස විනාශ වුණා. එය විශාල පාඩුවක්. අපි මෙම ශ්‍රවණාගාරය ඉදිකරමින් පවතිනවා. ඉදිරි දෙමස තුළ මෙහි වැඩ කටයුතු අවසන් කර සියලුම අංගෝපංග සහිතව එළැඹෙන නොවැම්බර් මාසයේ මෙය විවෘත කිරීමට කටයුතු කරනවා. මෙය ආසන 750 කින් යුත් ශ්‍රවණාගාරයක්. පැමිණෙන පුද්ගලයකුට නැවත පැමිණෙන්නට හිතෙන පරිසරයක් පහසුකම් සහ සේවාවන් සපිරි පුස්තකාලයක් පවත්වාගෙන යෑම අපේ එකම අරමුණ.

Comments