වඩාත් පරෙ­ස්සම් විය යුතුව තිබේ | Page 3 | සිළුමිණ

වඩාත් පරෙ­ස්සම් විය යුතුව තිබේ

මාරාන්තික කොරෝනා උවදුර නිසා අපේ දේශීය ව්‍යාපාර බොහෝමයක් දරුණු කඩා වැටීමකට ලක්වී තිබෙන අතර මෙරට සංචාරක ව්‍යාපාරයටද එමඟින් උදාවී ඇත්තේ අහේනිදායක කාලයකි. මෙරට සංචාරක ව්‍යාපාරයට සෘජු ලෙස සම්බන්ධ හෝටල් හිමියන්, හෝටල් සේවකයන්, සංචාරක මග පෙන්වන්නන් සහ සංචාරකයන් ප්‍රවාහනය කරන රථ වාහන රියදුරන්ට මෙන්ම වක්‍ර මාර්ගයෙන් ඊට සම්බන්ධ වන පිරිසගේ ආදායම් මාර්ගයද එමගින් ඇහිර තිබේ. එය ඉතාමත් අහිතකර තත්ත්වයක් බවද සැබෑවකි.

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසය දැන් ලොකයේ බොහෝ රටවල ශීඝ්‍ර යෙන් පැතිරීම කෙතරම් බරපතළ තත්ත්වයකට පත්වී ඇත්දැයි කිවහොත් එම නිසා සිදුවී ඇති ගෝලීය මරණ සංඛ්‍යාව ලක්ෂ 20 ක් ඉක්මවා තිබේ. පසුගිය මාස තුන ඇතුළත කොරෝනාව වැලඳීම නිසා මියගිය අයගේ සංඛ්‍යාව ලක්ෂ තුනකටත් වැඩිය.

අනෙක් අතට ලෝකයේ බලවත්ම රාජ්‍යයේ සිදු වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව අතිශය ඉහළ මට්ටමක පැවතීම සුළු කොට තැකිය නොහැකි බරපතළ සිදුවීමකි. අප එසේ කියන්නේ ලෝකවාසී ජනතාව අතර ඉහළම සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් වලින් පමණක් නොව ලෝකයේ අති බල සම්පන්න රටවල් අතරින්ද තවමත් ඉහළම මට්ටමක පසුවන ඇමරිකාව පවා මේ වන විට කොරෝනාව හමුවේ බියෙන් සලිත වී සිටීම ද එක්තරා අන්දමක දෛවයේ කටුක සරදමකි.

එතරම් ධනවත් සහ එතරම්ම බලවත් ඇමරිකාව අද කොරෝනා වයිරසය අබියස පත්වී සිටින අසරණ තත්ත්වය ලෝකයේ සෙසු රටවලටද කදිම පාඩමකි. විශේෂයෙන්ම එය කදිම පාඩමක් වන්නේ ශ්‍රි ලංකාව වැනි තුන්වැනි ලෝකයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවලටය.

කොරෝනා වයිරසයෙන් බැට කමින් සිටින ලෝකයේ බොහෝ රටවල් එයින් මිදීමට දක්වන්නේ අතිශය උනන්දුවකි. එහෙත් එවැනි රටවල් මේ මාරාන්තික වයිරසය පිටු දැකීම සඳහා දහසක් ක්‍රියා මාර්ග ගනිමින් සිටින බවක් පෙනී යතත් අපේ ඇතැම් අය කටයුතු කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකටයි.

දැනට මාස දහයක් හෝ දොළහක් පමණ වූ කාලයක සිට ශ්‍රී ලංකාව ද කොරෝනා වයිරසය නිසා අයසට පත්වී තිබෙන බවත්, එම නිසා රට වසර දහයකින් පමණ ආපස්සට ගොස් තිබෙන බවත් ප්‍රකට කරුණකි. එලෙස රට මුහුණ පා තිබෙන ආර්ථික හා සාමාජික පරිහානියෙන් ගලවා ගත යුතු බව සැබෑය. එසේ වුවද ඒ සඳහා පිළියම් කළ යුත්තේ අතිශයින් දූරදර්ශී ලෙසිනි.

එවන් අයහපත් වාතාවරණයක් යටතේ පැවති මෙරට සංචාරක ව්‍යාපාරයට මෙලෙස යුක්‍රේන සංචාරකයන් පිරිසකගේ පැමිණීම ඉඩෝරයකට පසු වැටුණු පොද වැස්සකට සමාන වේ. එකී සංචාරය සංවිධානය කළ පිරිස දැඩි ලෙස අවධාරණය කර තිබුණේ අදාළ සංචාරකයන් මෙරටට පැමිණ තිබුණේ ආරක්ෂක බුබුළක් ලෙස බවය. එමෙන්ම ඔවුන් මෙරට සංචාරය කරන කාලය තුළ දේශීය ජනතාව සමඟ ඇසුරක් සිදු නොවන බව ද ඔවුහු කියා තිබුණහ. ඔවුන් එසේ ප්‍රකාශ කර තිබුණද; පසුව අසන්නට ලැබුණේ ඔවුන් යාල ප්‍රදේශය වෙත කැඳවා ගෙන ගිය වාහන වල රියදුරන් පිරිස කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සති දෙකක නිරෝධායන වැඩ සටහනකට යොමු කරන ලද බවයි.

ඒ අනුව ඔවුන්ට සිදු වී තිබුණේ එක් දිනයක සේවය සඳහා ලැබුණු සොච්චම් දීමනාව වෙනුවෙන් දින 14 ක කාලයක් සඳහා නිරෝධායනය වීමටය. අදාළ සංචාරකයන් නතරවී සිටී හෝටල් වල සේවක පිරිසට මුහුණ දීමට සිදු වී තිබුණේ ඒ හා සමාන ඇබැද්දියකටය.

එම සංචාරකයන් පිරිස මහනුවර දළදා මාලිගාවට සම්ප්‍රාප්ත වූ අවස්ථාවේ දී ද යම් උණුසුම් වාතාවරණයක් උද්ගත වූ අතර පසුව එය සමනය වුවද එමඟින් ඇති වූ අවදානම සුළු පටු නොවේ.

මේ අතර ඉකුත්දා සිදු කෙරුණ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ගැනද කීමට ඇත්තේ ඊට සමාන කතාවකි. මේ දිනවල කොරෝනා උවදුරෙන් මුළු එංගලන්තයම ගිනියම් වී ඇතත් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනයට ගරු කිරීමක් වශයෙන් එරට ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් මෙරටට පැමිණ තිබුණහ. "පුදන කොටම කාපී යකා ........." යි කීවා සේ එලෙස පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට අයත් එක් ක්‍රීඩකයකු කොරෝනා ආසාදිතයකු බව ගුවන් තොටුපළේදීම අසන්නට ලැබුණේය. මේ අතර අසන්නට ලැබුණ තවත් නිවේදනයකින් කියවුණේ එම ක්‍රිකට් කණ්ඩායම නතර වී සිටි ගාල්ලේ සංචාරක හෝටලයේ සේවකයන් දෙපළකටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවය.

ගාල්ලේ පැවති මෙම ටෙස්ට් ක්‍රිකට් තරඟය සජීවි ලෙස නැරඹීම සඳහා ප්‍රදේශයේ ක්‍රීඩා ලෝලීන්ට අවසරයක් නොලැබිණි. ඒ අනුව ඔවුන්ට එම තරඟය නැරඹීමට හැකි වූයේ රූපවාහිනී තිරය ඔස්සේ පමණි. ඒ හැර ගාල්ල මහජන ක්‍රිඩාංගණයේ මෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයක් පැවැත්වෙන විට වෙනත් දිනවල දකින්නට ලැබෙන තරමේ සෙනග කන්දරාවක් දැකගැනීමටද නොහැකි විය.

එංගලන්ත ක්‍රීඩකයකු කොරෝනා ආසාදිතයකු බව හඳුනා ගැනීම නුදුරු අනාගතයේදි ගැටලුවක් වීමට ඉඩ කඩ තිබේ. ඇතැම් ජන මාධ්‍ය වාර්තා කරන අන්දමට ඔහුට වැළඳී ඇත්තේ මේ දිනවල එංගලන්තයේ පැතිර යන කොරෝනා විශේෂ ප්‍රභේදය නම් එමඟින් තවත් බරපතළ ගැටලුවක් මතු විය හැකිය.

Comments