ලොව දස­දෙස කිතු­ගොස පතු­රණ ආචාර්ය පන්නිල ආනන්ද නා හිමි | සිළුමිණ

ලොව දස­දෙස කිතු­ගොස පතු­රණ ආචාර්ය පන්නිල ආනන්ද නා හිමි

හස වැසුණු පොල් ගස් පෙළින් සෙවණ ලද සරුසාර කෙත්වතුවලින් පිරීගිය අත්තනගලු ඔය නිහඬව ගලා බසින්නේ පන්නිල ග්‍රාමයේ කෙත්වතු ගහකොළවලට නව ජීවයක් සපයමිනි. එම ග්‍රාමයේ ජීවත් වූ වික්‍රමාරච්චිලාගේ සේදිරිස් මැතිතුමා හා සමරනායක ලොකුහාමිනේ සුවිශේෂී චරිතයන් වූයේ කාගේත් ආදරයට මෙන්ම ගෞරවයට ද පාත්‍රවූ යුවතිපති දෙපළක් වූ බැවිනි. ඔවුන් දෙපළට පිරිමි දරුවන් හතර දෙෙකු හා ගැහැනු දරුවන් තිදෙනකු විය. “පියසේන” එකී පවුලේ හයවෙනි දරුවාය. වචනයට පමණක් සීමා නොවී ක්‍රියාවෙන් ද සැබෑ බෞද්ධ පිළිවෙත් අනුගමනය කළ ශ්‍රද්ධා සම්පන්න පවුලක් වූ වික්‍රමාරච්චි පවුලේ සියලුදෙනා අත්තනගලු රජමහාවිහාරයේ කුදුමහත් කටයුතු වලට ඍජුවම සම්බන්ධ වූයේ ඔවුන් මෙම විහාරස්ථානයේ ප්‍රධාන පෙළේ දායක පවුලක් වූ නිසාවෙනි. පුරුෂධිපත්‍යය රජයන යුගයක සේදිරිස් මැතිතුමා ගෘහාධිපති තනතුර හෙබවූවද ආගමික පරිසරයේ දී නායිකාව වූයේ සමරනායක ලොකුහාමිනේය. මාසික දානය පිරිනැමීම, දරුවන්ගේ දහම් අධ්‍යාපනය පිළිබඳ සොයාබැලීම ඇයට පැවරුණු වගකීම් අතර කිහිපයකි.

 

එකොළොස් හැවිරිදි පියසේන විහාරස්ථ සිරිසඟබෝ දහම්පාසලේ දක්‍ෂතම ශිෂ්‍යයෙක් වූ අතර වරෙක වයස අවුරුදු පහළව සීමාවේ සිසුන් සමඟ වූ ගායන තරඟයකින් ජයගන්නේ මංගල සූත්‍රය කටපාඩමින් සජ්ඣායනා කිරීමෙනි. මෙය සුවිශේෂී දක්‍ෂතාවක් ලෙස දුටු එවකට අත්තනගලු රාජමහාවිහාරාධිපතිව වැඩවිසූ කෝන්ගොඩ පේමානන්ද නාහිමියන් පියසේන ශිෂ්‍යයාගේ කේන්ද්‍රය ගෙන්වා පරීක්‍ෂා කළේ ඔහුගේ ජීවිතයේ සැඟවී ඇති කුසලතා නිරීක්‍ෂණය කිරීමටය.

අත්තනගලු රාජමහාවිහාරාධිපති හිමියන්ගේ නක්‍ෂත්‍ර දැනුමට අනුව මෙම දරුවා ඒකාන්තයෙන්ම පැවිදි වන බවත්, භාෂා පිළිබඳ විශාරදයෙක් වී ලෝක ධර්මප්‍රචාරයේ සුවිශේෂී චරිතයක් ව ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් ගෙන දෙන්නෙක් වන බව උන්වහන්සේට අවබෝධ විය. එබැවින් ම උන්වහන්සේට මෙම දරුවා සිය ආචාර්යයත්වයෙන් පැවිදි කිරීමට අවශ්‍ය විය. ඒ සඳහා පියසේනගේ මවුපියන්ගේ කැමැත්ත ලබාගත් කෝන්ගොඩ පේමානන්ද නාහිමියන්, රාජකීය පණ්ඩිත වල්ගම්මුල්ලේ පඤ්ඤාරාම නාහිමි හා එල්ලක්කළ ධම්මාරාම යන හිමිවරුන්ගේ ද ශිෂ්‍යයකු වශයෙන් පියසේන කුල කුමරු, 1958 මැයි 18 දින අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ දී සාමණේර ප්‍රවෘජා භූමියට පත්කොට උන්වහන්සේට “පන්නිල ආනන්ද” යන නාමය ලබා දුන්හ.

පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලැබූ පන්නිල ආනන්ද හිමියන් 1965 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පාලිභාෂාව පිළිබඳ ගෞරව උපාධියක් ලබාගත්තේය.

විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාළ සිවුවසර තුළ උන්වහන්සේ ගුරු සිසු දෙපිරිස අතර ඉතා ජනප්‍රිය චරිතයක් වු බව මා හොඳින්ම දන්නේ මා ද උන්වහන්සේගේ වර්ෂයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වූ නිසාවෙනි. අපි දෙදෙනා කුඩා කල සිටම මිත්‍රයන් වී සිටි අතර විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ එකම කාමරයේ ජීවත් වූ කාලයේ දී එම මිත්‍රත්වය වඩාත් තීව්‍ර වුණා.

එමෙන්ම විශ්වවිද්‍යාල සමය තුළ දිනපතා පාහේ සන්ධ්‍යාභාගයේ කුලපති භවන ඉදිරිපිට අඹ ගස් යටට වී අතිගරු කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර මාහිමිපාණන් වහන්සේගේ බණ කතා රසවිඳීමත්, කොටහේනේ පඤ්ඤාකිත්ති මාහිමියන් සමඟ සක්මන් කරමින් විවිධ වූ ධර්ම කතා ශ්‍රවණය කිරීමත්, බඹරැන්දේ සීවලී මාහිමිපාණන්ගේ හාස්‍ය මුසු කතා ඇසීමත් හා ඒ සා දැනුම් සම්භාරයක් ඇති යතිවරු ඇසුරු නිසුරු කිරීම අප වඩාත් සිත්ගත් අංගයක් විය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව 1971 වර්ෂයේ දී ආනන්ද හිමියන් බෝපැත්තේ සිරිසඟබෝ පිරිවෙනේ පරිවේණාධිපති ධුරයට පත්විය.

එම පිරිවෙණේ ඉතා සාර්ථක යුගයක් ආරම්භ වනවාත් සමඟම 1975 වර්ෂයේ දී උන්වහන්සේ ජපන් රජයෙන් පිරිණමන ලද විශේෂ ශිෂ්‍යත්වයක් ලබා ටෝකියෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. ටෝකියෝ විශ්වවිද්‍යාලය මඟින් වාර්ෂිකව විදේශ ශිෂ්‍යයන්ට ලැබෙන උසස්ම ගෞරවනාමය සහිත රන්පදක්කම 1977 වර්ෂයේ දි ලබාගන්නට තරම් ආනන්ද හිමියන් සමත් වීම උන්වහන්සේගේ දක්‍ෂතා මොනවට විදහා දක්වන සුවිශේෂී සිදුවීමකි.

උන්වහන්සේ සතු දක්‍ෂතා හා කුඩාකල සිටම අප අතර තිබූ මිත්‍රශීලීත්වයේ ප්‍රතිඵලය හේතුවෙන් මම උන්වහන්සේට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නඟරයට පැමිණෙන ලෙස ආරාධනා කළෙමි. ඒ 1978 වර්ෂයේ දීය. ඇමරිකාවේ හුදෙකලා ජීවිතයක් ගත කළ මට උන්වහන්සේගේ පැමිණීම මහත් අස්වැසිල්ලක් විය.

මේ වන විට අපගේ ආගමික කටයුතු සිදු කිරීම සඳහා බුදු පිළිම වහන්සේ නමකගේ අවශ්‍යතාවක් තිබූ හෙයින් මා ආනන්ද හිමියන්ගෙන් ඉල්ලා සිටියේ උන්වහන්සේ සමඟ පිළිමවහන්සේ නමක්ද වැඩමවන ලෙසටයි. ශ්‍රී ලංකාවේ සිට ඇමරිකාවට පැය විසිගණනක ගුවන් කාලය තුළ අඩි දෙකක් උසැති පිළිමවහන්සේ ආනන්ද හිමියන් සිය උකුළ මතම තබා වැඩම වූ බව මට අදමෙන් මතකය. එකී සිදුවීම උන්වහන්සේ සතු වූ අචල ශ්‍රද්ධාවට හොඳම නිදසුනකි.

උන්වහන්සේගේ ආගමනයත් සමඟම ඇමරිකාවේ දෙවන ථේරවාද විහාරස්ථානය ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරය නමින් ආරම්භ කිරීමට හැකිවීම ධර්ම දූත මෙහෙවරෙහි අප ලද පළමු සාර්ථකම පිම්ම ලෙස සඳහන් කළ හැකිය. විවිධ බාධක හැල හැප්පීම් වලින් පන්නරය ලද අප දෙදෙනා ගතානුගතික අදහස් පැවති ඇතැම් ශ්‍රී ලාංකිකයන්ට යට නොවී, මා දැනට ජීවත් වන ලොස් ඇන්ජලීස් ධර්ම විජය බෞද්ධ විහාරය ආරම්භ කළේ ධර්මයෙන් ලෝකය විජයග්‍රහණය කරන අධිෂ්ඨානයෙනි. ඒ 1980 වර්ෂයේ දීය. එකී සත්කාරයට අප දෙදෙනාට සෙවණැල්ලක් මෙන් වැඩසිටි ආචාර්ය හැවැන්පොල රතනසාර නාහිමියන් මෙහි දී සිහිපත් කරන්නේ උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරමිනි.

බුදුදහම ලෝකයෙහි ව්‍යාප්ත නොවුණු යුගයක මෙන්ම බෞද්ධ භික්‍ෂුව පිළිබඳ අංශූමාත්‍රයක අවබෝධයක් නොමැති ඇතැම් ඇමරිකානුවන් අපට විවිධ තාඩන පීඩන එල්ල කළේය. ඇතැම් විට ඔවුන් අපට මුහුණට කෙළ ගැසුවේත් අප පිළිබඳ හරිහමන් අවබෝධයක් නැතිනිසා බව අපි තේරුම් ගත්තෙමු. ඇතමුන් අපව හරික්‍රිෂ්ණ අනුගාමිකයන් ලෙස හංවඩු ගැසූහ. කෙසේ වෙතත් එකී කිසිදු නොකටයුත්තකට අපගේ අරමුණ වෙනස් කිරීමට නොහැකි වූයේ පන්නිල ආනන්ද හිමියන් මා සමඟ ඉන්ද්‍රකීලයක් සේ ශක්තිමත්ම සිටි නිසා බව දන්නෝ දනිති.

පන්නිල ආනන්ද හිමියන්, සංවිධාන ශක්තිය උත්පත්තියෙන් මෙලොවට රැගෙන ආ සුවිශේෂී චරිතයකි. ඒ බව හොඳින්ම පසක් කළ අවස්ථාව නම් ලොස් ඇන්ජලීස් නුවර සංවිධානය කළ මුල්ම වෙසක් උත්සවය හා කඨින පින්කමයි. ඉතා අඩු පහසුකම් සහිතව අති උත්කර්ෂවත් අන්දමින් උන්වහන්සේගේ අධීක්‍ෂණයෙන් එම උත්සව සංවිධානය කළ බව අදටත් නිරුපද්‍රිතව මා සතුව ඇති පින්තූර පොත් (Photo Album) සාක්‍ෂි දරයි. එමෙන්ම ධර්ම විජය විහාරස්ථානය මුල්කර ගනිමින් ඇමරිකාවේ බටහිර ප්‍රදේශයේ මුල්ම දහම් පාසල පිහිටුවීමට අප දෙදෙනාට හැකි විය. එහි දී උන්වහන්සේ වෙතින් මා හට ලැබුණු සහයෝගය අති විශිෂ්ටය.

අප දෙදෙනාගේ මීළඟ ඉලක්කය වූයේ ඇමරිකාව පුරා විහාරස්ථාන ආරම් කිරීමය. ඒ සඳහා අපට වූ ප්‍රබලම ගැටළුව නම් භික්‍ෂූන් වහන්සේලාගේ ඌණතාවයයි. ඊට පිළියමක් ලෙස පන්නිල ආනන්ද හිමියන් විසින් ඉතා දක්‍ෂ භික්‍ෂූන් වහන්සේ කිහිපනමක් ඇමරිකාවට ගෙන්වාගන්නා ලදී.

ඒ අතර කඹුරාගල්ලේ නන්ද හිමියන්, බස්නාගොඩ රාහුල හිමියන්, අලවල සුභූති හිමියන් හා වතෝගල සරණසිරි හිමියන් සුවිශේෂී වන්නේ අද වනවිටත් උන්වහන්සේලා සක්‍රීය ධර්මප්‍රචාරක කටයුතු වල නිරත වන නිසාවෙනි. කඹුරාගල්ලේ නන්ද හිමියන් ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් හි බෞද්ධ විහාරයක් ආරම්භ කොට එහි ආමික කටයුතු මනාව සිදු කරනු ලබයි.

බස්නාගොඩ රාහුල හිමියන් ඇමරිකාවේ දී ඉංග්‍රිසි පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා පන්නිල හිමියන් හා මා ආරම්භ කළ හියුස්ටන් විහාරයේ පරිපාලන කටයුතු සිදු කරන අතර ලොන්ස්ටා මොන්ගොවරි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පිළිබඳ මහාචාර්ය තනතුරක් දරයි. පන්නිල ආනන්ද හිමියන්ගේ හා මාගේ ආධාර උපකාර ඇතිව ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ පිහිටවූ ලාස්වේගාස් බෞද්ධ විහාරයේ අලවල සුභූති හිමියන් අධිපති ධුරය දරයි. එමෙන්ම වතෝගල සරණසිරි හිමියන් ද අපගේ මගපෙන්වීම හා ආධාරමත කැලිෆෝනියාවේ රිවර්සයිඩ් සම්බුද්ධාලෝක බෞද්ධ විහාරය ආරම්භ කොට එහි විහාරාධිපති ලෙස ඉතා දක්‍ෂව කටයුතු කරයි. උන්වහන්සේලා සියලු දෙනා සිදුකරන ජාතික, ආගමික සේවාවන් සඳහා පුරෝගාමී නායකයාණන් වහන්සේ වූයේ පන්නිල ආනන්ද හිමියන් බව සඳහන් කරන්නේ හද පිරි සතුටිනි.

ඇමරිකාවේ පමණක් නොව තායිවානයේ ද කලක් නතරව සිට කෞෂින් නගරයේ ථේරවාද බෞද්ධ විහාරයක් ආරම්භ කිරීමට තරම් පන්නිල ආනන්ද හිමියන් සතුවූ ජවය ඉතා ප්‍රසංශනීයය. ලෝක ධර්ම ප්‍රචාරක කටයුත්තෙහි මනා නිපුණතාවක් හා සහජ හැකියාවක් තිබූ පන්නිල ආනන්ද හිමියන්ට 1999 අත්තනගලු රජමහාවිහාරයේ අධිපතිධූරය ලබාගැනීමට සිදුවූයේ අත්තනගලු රජමහා විහාරාධිපති අතිගරු වල්ගම්මුල්ලේ පඤ්ඤාරාම මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුවය.

ශාසනික උන්නතිය වෙනුවෙන්ම කැප වූ ජිවිතයක් ගත කරන ආනන්ද හිමියන් ඉහත කී තනතුර උන්වහන්සේගේ සේවාවන්ට බාධාවක් කර නොගත්තේය. එකී තනතුරෙන් ලෝක ශාසනික සේවාවට යම් බාධාවක් වූවද, එකී සේවාව දෙගුණ තෙගුණ කරමින් අප මාතෘභූමියට සිදු කරන්නට උන්වහන්සේ සිය විහාරාධිපති ධූරය භාවිත කරති.

අත්තනගල්ල රාජමහා විහාරාධිපති ලෙස සිය විහාරස්ථානයේ සංඝාරාමයෙහි පවතින සියලුම ගොඩනැගිලි නවමු අයුරකින් නිර්මාණය කොට විහාරස්ථානයේ වටිනාකම තව තවත් තීව්‍ර කරන්නට සමත් විශාල පුස්තකාලයක් ද නිර්මාණය කොට විහාර භූමියේ පතිරාජ නමින් පිරිවෙනක් පිහිටුවීම විශ්ව කර්ම ක්‍රියාවක් ලෙස මම දකිමි. එමෙන්ම ස්වකීය පිරිවෙණෙහි දෙස් විදෙස් ශිෂ්‍යයන් ට අධ්‍යාපනය ලබාදීමෙන් උන්වහන්සේ සතු වූ ලෝක ශාසනික සේවයට ඉඩ හසර සැලසෙන්නේ ද නිරායාශයෙනි.

පරාර්ථකාමිත්වය අගයන පන්නිල ආනන්ද හිමියන් තමන් වහන්සේට තායිවාන හා ජපන් දායක දායිකාවන්ගෙන් ලැබෙන ආධාර උපකාර ශ්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් දන් දෙන්නේ වර්තමාන සිරිසඟබෝ චරිතය අත්තනගල්ල විහාරභූමියෙන්ම බිහි කරන්නාක් මෙනි.

වතුපිටිවල මහරෝහලේ භික්‍ෂූ වාට්ටුව අංගසම්පූර්ණ වාට්ටුවක් ලෙසට නවීකරණය කිරීම හා ළමා වාට්ටුවක් පරිත්‍යාග කිරීම, එම රෝහලටම සී ටී ස්කෑනර් යන්ත්‍රයක් පිරිණැමීම, එමෙන්ම මහනුවර මහරෝහලට බුදුමැදුරක් සාදා පූජාකිරීම උන්වහන්සේ අතින් ලාංකික රෝහල් පද්ධතිය වෙනුවෙන් සිදුකරන සේවාවන්ගෙන් කිහිපයකි.

තෙමහල් ගොඩනැඟිලි 28 සහිතව රජයේ පාසැල් 33 කට ගොඩනැගිලි සාදා දී දැයේ දූ දරුවන්ට නිදහසේ අධ්‍යාපනය සිදු කරන්නට අවස්ථාව සැලසීම, රටටත් ජාතියටත් මහත් ව්‍යසනයක්ව ඇති මත්ද්‍රවවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන් පුනරුත්ථාපනය කිරීම සඳහා ආයතනයක් රුපියල් මිලියන 5 ක වියදමින් නිර්මාණය කිරීම ආදී වූ සමාජ මෙහෙවරයන් උන්වහන්සේගේ දාන පාරමිතාවේ කොටසකි.

පාළි, සංස්කෘත, ඉංග්‍රීසි, ජපන්, චීන මෙන්ම ස්පාඤ්ඤ භාෂා පිළිබඳ හසල දැනුමක් ඇති පන්නිල ආනන්ද හිමියන් අත්තනගලු අරහන්ත රජමහාවිහාරාධිපති තනතුරට අමතරව ඇමරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරයේ හා තායිවානයේ කෞෂින් ථේරවාද බෞද්ධ විහාරයේ අධිපතිධුරය ද හොබවනු ලබයි.

එමෙන්ම සීනාදී සිව්කෝරලේ ප්‍රධාන සංඝනායක ධුරය ද හොබවන මාගේ කළ්‍යාණ මිත්‍ර මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ආනන්ද නාහිමියන් ඉතා නිහතමානී දිවි පෙවෙතක් ගතකරමින් අද දිනයේ දී සිය 73 වන ජන්ම දිනය සිහි කරනු ලබයි.

ලෝක ශාසනික උන්නතිය වෙනුවෙන් මහත් කැපකිරීමක් සිදුකළ එමෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම භික්‍ෂු දිවිපෙවෙතක් ගතකරන පන්නිල ආනන්ද නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

Comments