රට වටේ කරක් ගහන කොවිඩ් | සිළුමිණ

රට වටේ කරක් ගහන කොවිඩ්

කුත් සතියේ මෙරට කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව පනස් දහසේ සීමාව ඉක්මවා යද්දී පසුගිය 10 වැනිදා සිට 20 වැනිදා දක්වා දෛනිකව වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව සෑම දිනකම 500ට වඩා වැඩි අගයක් ගත්තේය. ඒ අතරින් 20 වැනිදා වාර්තා වූ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 770ක් සහ 21 වැනිදා වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යා 825ක් විය. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කළ පරිදි පසුගිය 10 වැනිදා වන විට මෙරටින් වාර්තා වූ කොඩිඩ් මරණ සංඛ්‍යාව 232කි. පසුගිය 22 වැනිදා පස්වරු 1 දක්වා ගතවූ කාලය තුළ සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 276කි. ඒ අනුව 10 වැනිදා සිට 22 වැනිදා පමණක් මෙරටින් කොවිඩ් මරණ 44ක් වාර්තා වූයේ කොවිඩ් වයිසරයේ බලපෑම විදහා පාමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවුදෙනකුම කොවිඩ් ආසාදිතයන් වී තිබූ පසුබිමක් තුළ පසුගිය සඳුදා (19දා) සුපුරුදු පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ විය. 20 වැනිදාද පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වූ අතර පවතින තත්ත්වය තුළ එම සතිය තුළ පාර්ලිමේන්තු කටයුතු දින දෙකකට පමණක් සීමා කිරීමට පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබිණි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 වයිරසය සමාජගත වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ ක්ෂුද්‍ර ජීව විශේෂඥ වෛද්‍ය මුදිත අබේකෝන් පසුගියදා සඳහන් කළේය. කොවිඩ් දෙවැනි රැල්ලේදී ආසාදිතයන් හමුවීම, මියයන කොවිඩ් ආසාදිතයන් පිළිබඳ අවධානය යොමු කිරීමේදී සමාජයේ කොපමණ ස්ථර ප්‍රමාණයකට මෙය පැතිර ගොස් ඇත්දැයි යන කාරණය සමාලෝචනය කළ යුතුව ඇත යන්න ඔහුගේ අදහසයි. දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන් ගණන ඉහළ ගොස් ඇත්තේ කොවිඩ් සමාජගත වීම හේතුවෙන් බවද වෛද්‍ය මුදිත අබේකෝන් සඳහන් කළේය.

පසුගිය ජනවාරි 08 වැනිදා කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සුවය ලබා සිය නිවස වෙත පිටව යෑමෙන් අනතුරුව ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා තිබුණේ තමාගේ සුවය වෙනුවෙන් ප්‍රාර්ථනා කළ සියලු දෙනාට ස්තූතිය පිරිනමන බවයි. යම් පුද්ගලයකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ වහාම පවුලේ සාමාජිකයන්ගෙන් ඈත් වී ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසද හෙතෙම එම සටහනින් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණි. කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරයා හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලැබුවේය. කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ද මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටී.

සෞඛ්‍ය අංශ විසින් කොළඹ පිටකොටුවේ සිටින යාචකයන් හා වෙළෙඳසල් හිමියන් ඇතුළු 100 දෙනෙකු පසුගියදා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කර තිබුණේ දිනෙන් දින ඉහළ යන කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාය. එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඒ අතුරින් 10 දෙනකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.

මේ අතර හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ පිළිකා ඒකකයේ සේවයේ වෛද්‍යවරයකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ වවුනියාව ප්‍රදේශයේ පදිංචි එම වෛද්‍යවරයා බිංගිරිය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබිණි. පසුගියදා වවුනියාව නගරයෙන් ආසාදිතයන් 26 දෙනකු වාර්තා වීමත් සමඟ එම ප්‍රදේශවලට යළි සංචරණ සීමා පැනවීමට සිදුව ඇත. පසුගිය 21 වැනිදා දක්වා වවුනියාවෙන් වාර්තා වී තිබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 226කි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා තැබුණු කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ පසුගිය 21 වැනිදා යළි සංචාරකයන් සඳහා විවෘත කෙරුණේ මාස 10කට පසුවය.

කොවිඩ් පළමු රැල්ලේ ව්‍යාප්තියත් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංචාරකයන් සඳහා තාවකාලිකව වසා දැමුණේ පසුගිය වසරේ මාර්තු 17 වැනිදාය. ඒ වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයන් 34 දෙනකු වාර්තා වී තිබුණද කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නොතිබුණි. එහෙත් මාස 10කට පසු සංචාරකයන් සඳහා මෙරට ගුවන් තොටුපොළ යළි විවෘත කෙරුණේ පනස් පන්දහසක් ඉක්මවා ගිය ආසාදිතයන් සහ මරණ 274ක් වාර්තා වූ අභියෝගාත්මක පසුබිමකය. එහෙත් සෞඛ්‍ය උපදෙස් අනුව සංචාරකයන් සහ ගුවන් තොටුපළට පැමිණෙන ‍සෙසු මගීන් වෙන්කර ගැනීමේ නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ගුවන්තොටුපොළ බලධාරීන් පියවර ගෙන ඇත්තේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණිනි.

ගුවන් තොටුපොළ විවෘත කිරීමත් සමඟ දිවයිනට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් විශේෂිත සෞඛ්‍ය මාර්ගෝපදේශ ප්‍රකාශයට පත්කර ඇති අතර සංචාරකයන් හරහා කොවිඩ් රට තුළට පැමිණීම වළක්වාලීම සඳහා ආරක්ෂිත ක්‍රමවේද රැසක් හඳුන්වා දී තිබේ.

වාණිජ ගුවන් ගමන් සඳහා කටුනායක ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු ගතවූ පළමු දිනයේදීම ගුවන් ගමන් වාර 20ක් සිදුකර ඇති බව වාර්තා විය. එම කාල සීමාව තුළ ගුවන් යානා 08ක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර මගීන් 213 දෙනකුද මෙරටට පැමිණ ඇත.

ඒ, සෞදි අරාබියෙන් 76 ක්, ඕමානයෙන් 50 ක් සහ දකුණු කොරියාවෙන් 13ක් ලෙසටය. මේ අතර අදාළ කාලසීමාව තුළ ගුවන් යානා 12කින් ගුවන් මගීන් 542ක් කටුනායක ගුවන් තොටුපොළෙන් විදෙස් රටවල් සඳහා පිටත්ව ගොස් ඇති බවද වාර්තා විය.

පසුගිය පැය 24 තුළ සිදු කළ පරීක්ෂාවකදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කළ බස්නාහිර පළාතේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 103ක් හඳුනාගත් බව මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. එම කාලය තුළ ආයතන 910ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් ආයතන 807ක් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කර ඇති බවට හඳුනා ගෙන තිබේ. ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ මුහුණු ආවරණ පැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ආදී නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයන් 2,680 දෙනකු අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළේය. එම ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නය. එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පසු පසුගිය 4 වැනිදා සිදුකරන ලද PCR පරීක්ෂණයක් අනුව මොයින් අලී කොවිඩ් ආසාදිතයකු බව තහවුරු විය.

රෝහල් කනිෂ්ඨ කාර්ය­ම­ණ්ඩල සාමා­ජි­ක­යන්ට අදාළ ඉල්ලීම් කිහි­ප­යක් මුල්ක­ර­ග­නි­මින් ඒකා­බද්ධ සෞඛ්‍ය සේවක සංග­මය විසින්  දිව­යින පුරා රෝහල් කිහිපයක් ඉදි­රි­පිට ජනවාරි 19දා පැවැත්වූ විරෝ­ධ­තා­වයේ අව­ස්ථා­වක්

මඩකලපුව අරසඩි 117 A ග්‍රාම නිලධාරි වසමේ පුද්ගලයින් 100 දෙනකු සඳහා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ මඟින් ආසාදිතයන් තිදෙනකු හඳුනා ගැනීමත් සමඟ එම ග්‍රාමසේවා වසම 21 වැනිදා සවස 6 සිට හුදෙකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කළ අතර අටලුගම, මොණරාගල සහ කාන්තතුන්තුඩි හි ග්‍රාමසේවා වසම් 8ක් එදින පස්වරු 6 සිට හුදෙකලා තත්ත්වයෙන් නිදහස් කෙරිණි. මේ අතර බණ්ඩාරගම අටුලුගමදී සෞඛ්‍ය නිලධාරින්ට කෙළ ගසමින් රාජකාරියට බාධා කළ සිද්ධියට වරදකරු වූ පුද්ගලයාට පානදර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසර 6ක සිර දඬුවම් නියම කෙරිණි.

දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් තවත් ආසාදිතයන් 7 දෙනකු වාර්තා වීමත් සමඟ මේ දක්වා එම කොට්ඨාසයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 469ක් දක්වා ඉහළ ගොස් තිබේ. අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 8 දෙනෙකුටද කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූයේ එහි පොලිස් නිලධාරින් 26 දෙනකුට සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ අතරිනි.

2021 වර්ෂයේ දකුණු කොරියානු රාජ්‍යයේ රැකියා සඳහා නැවත පිටත්වන ශ්‍රමිකයන් 22 දෙනකුගෙන් යුත් පළමු කණ්ඩායම KE 9474 දරණ විශේෂ ගුවන් යානයකින් දකුණු කොරියාව බලා පිටත්ව ගියේ 21 වැනිදාය. කොරියාව බලා පිටත්ව යෑමට පැය 48කට පෙර ඔවුහු PCR පරීක්ෂණයකට ලක්වූ අතර දකුණු කොරියාවේදී දින 14ක නිරෝධායන කාලයකින් පසුව ඔවුන් සේවා ස්ථාන වෙත යොමු කිරීමට දකුණු කොරියානු බලධාරීන් කටයුතු කිරීමට නියමිතය.

2021 වර්ෂ­යේදී පළමු වරට දකුණු කොරි­යානු රාජ්‍යයේ රැකියා සඳහා නැවත පිට­ත්වන ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යන් 22 දෙන­කු­ගෙන් යුත් පළමු කණ්ඩා­යම පසු­ගිය 21 වැනිදා දකුණු කොරි­යාව බලා පිටත්ව යෑමට පෙර කටු­නා­යක බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පො­ළේදී සමූහ ඡායා­රූ­ප­ය­කට පෙනී සිටි අයුරු.

වසංගතය අතර වැඩිපුර අසන්නට ලැබෙන්නේ සුබදායී පුවත් නොවූවත් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට අයත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් පසුගියදා සුබ පුවතක් වාර්තා විය. 13 හැවිරිදි දැරියක එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියේ ඇයගේ මව, පියා, සීයා සහ සහෝදර සහෝදරියන් තිදෙනකු සමඟය. ඇය පසුගියදා මල්වර වූ බව දැනගැනීමෙන් පසු රෝහල් කාර්ය මණ්ඩලය මැදිහත්ව සුදුසු නැකතක් බලා චාරිත්‍ර ඉටුකිරීමට අවශ්‍ය පහසුකම් සපයා දී ඇත්තේ කිරිබත් ඇතුළු කැවිලි වර්ගද සකස් කරමිනි. ප්‍රදේශවාසීන්ගේ පරිත්‍යාගයෙන් දැරියට අවශ්‍ය රන් ආභරණ පවා සැපයීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.

මෙරට තුළ යම් හෝ කොවිඩ් නව ප්‍රභේදයක් සංසරණය වන්නේද යන්න ඉදිරි දින කිහිපයේදී හෙළිකළ හැකි බව ඒ පිළිබඳව පර්යේෂණ පවත්වන කණ්ඩායමේ සාමාජිකයකු වන වෛද්‍ය චන්දිම ජීවන්දර පැවසීය. එසේ නව ප්‍රභේද තිබේද එසේත් නැතිනම් ප්‍රභේදවල යම් වෙනසක් සිදුව තිබේද යන්න පිළිබඳව මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් පරීක්ෂණ පවත්වමින් සිටී.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් වැක්සීනය මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

මේ අතර ඉන්දියාවෙන් කොවිඩ්-19 එන්නත් ලබා ගැනීම සඳහා නීතිමය අනුමැතිය සඳහා අවශ්‍ය ලිපි ලේඛන නීතිපති දෙපාර්තමේන්තුවට යවා තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේය.

 

Comments