රට­ටම ආද­ර්ශ­යක් වූ වැලි­ගම මුස්ලිම් ආදාහනය | සිළුමිණ

රට­ටම ආද­ර්ශ­යක් වූ වැලි­ගම මුස්ලිම් ආදාහනය

කරාපිටිය මෘත ශරීරාගාරයේදී ඥාතීහු ආගමික වතාවත් සිදු කළ අයුරු
කරාපිටිය මෘත ශරීරාගාරයේදී ඥාතීහු ආගමික වතාවත් සිදු කළ අයුරු

සංගතයක් පැතිර යන අවස්ථාවක දී පුද්ගලයකු වසංගතය හේතුවෙන් මරණයට පත්වන්නේ නම් ඒ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ වෛද්‍යවරුන් බව ලෝක සම්මතයයි. කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය මළ සිරුරු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කළේ එබැවිනි. ඒ නිර්දේශයන්ට අනුව ඒ එ් රටවල සෞඛ්‍ය බලධාරීන් විසින් තම රටේ දී මියයන පුද්ලයන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කළහ.

ඒ අනුව 2020 අප්‍රේල් 11 වැනි දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද 2170/8 දිනැති ගැසට් නිවේදනය මගින් දැනුම් දී ඇත්තේ මෙරට සිදුවන සියලුම කොරෝනා මරණ පැය 24ක් ගතවීමට පෙර ආදාහනය කළ යුතු බවයි. මෙයට මුල දී කිසිදු විරෝධතාවක් මතු නොවූ නමුත් කොරොනා දෙවැනි රැල්ලේ මරණ සිදුවන විට ආගමික කණ්ඩායම් වලින් දැඩි විරෝධයක් ආදාහනයට එරෙහිව නැගෙන්නට විය. මුස්ලිම් ජාතිකයෝ තම ආගමික විශ්වාසය අනුව මළ සිරුරු භූමදානය ම අවශ්‍ය යැයි කියූ අතර ඒ සඳහා අරගල කරන්න ද වූහ. මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය ‍කරන්නේ නම් එ්වා බාර නොගැනීමේ තත්ත්වයක් ඇතිවූ අතර මළ සිරුරු භූමදානය ද ? ආදාහනය ද ? යන කරුණ සමාජයේ දැඩි විවාදයට තුඩු දෙන කරුණක් බවට පත්විය.

මේ අතර සිදුවූයේ මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු බාර ගැනීම ඥාතීන් විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමයි. මේ හේතුවෙන් රෝහල් ගණනාවක කොරෝනා මළ සිරුරු ගොඩ ගැසෙන්නට විය. ඒවා මෘත ශරීරාගාරවල නරක් වෙමින් තිබූ අතර කොළඹ දී දින 20ක් වයසැති බිළිඳකුගේ සිරුරක් බලහත්කාරයෙන් පිළිස්සූ බව දක්වමින් සුදු රෙදි කැබලි ගැටගසමින් රටපුරා විරෝධතාවක් ද ව්‍යාප්ත වන්නට විය.

කොරෝනා මළ සිරුරු භූමදානයට ද ඉඩ දෙන්න යැයි ඉල්ලා අධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් 11ක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කෙරිණි. එසේ වුව ද රජය මළ සිරුරු ආදාහනයට ද ? භූමදානයට ද යන ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා විශේෂ කමිටු දෙකක් ද පත්කර තිබිණි. ක්ෂුද්‍ර ජීව විශේෂඥයන්ගේ කමිටුවෙන් මළ සිරුරු භූමදානය ගැටලුවක් නොවේ යැයි නිර්දේශයක් ලැබුණ ද ඒ සම්බන්ධ අවසන් වගකීම දරන අධිකරණ වෛද්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව මෙතෙක් සිය අවසන් තීරණයක් දැනුම් දී නැත.

දේහය දඩල්ල ආදාහනාගාරයට රැගෙන ගිය අයුරු

මේ අතර රජය කියා සිටියේ 2020 අප්‍රේල් මාසයේ රජය විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය තවදුරටත් වලංගු වන බවයි. අධිකරණ අමාත්‍ය අලි සබ්‍රිගේ මැදිහත්වීමෙන් මෙරට රෝහල් 05කට මළ සිරුරු තැබීමට ශීතාගාර ලබාදීමට ද කටයුතු කර තිබිණි. නමුත් අධිකරණ වෛද්‍යවරු දිගින් දිගිටම කියා සිටියේ ශීතාගාරවල මළ සිරුරු තබාගැනීමෙන් කොරෝනා පැතිරීමේ අවදානම වැඩි වන බවයි.

මේ වනවිට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිත මරණ හයක් සිදුවී ඇත. එයින් මරණ පහක්ම මුස්ලිම් ජාතිකයන්ගේ වන අතර අවස්ථා හතරකදීම දේහය ආදාහනයට ඥාතීන් විරුද්ධ වීම හේතුවෙන් රජයේ වියදමින් අදාහනය කිරීමට සිදු විය.

ගාල්ලේ දෙද්දුගොඩ සිදුවූ මුස්ලිම් ජාතිකයකුගේ මරණයක් ආදාහනය නොකරන ලෙස ඉල්ලමින් ඥාතින් අධිකරණයට පවා ගිය ද අධිකරණයේ තීරණය වූයේ සෞඛ්‍ය අධ­්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක විය යුතු බවයි. එම උපදෙස් අනුව අදාළ දේහය පසුව ආදාහනය කෙරිණි.

ආගම් බේදයක් නොමැතිව මළ සිරුරු ආදාහනයට හා භූමදානය යන දෙකටම අවසර දිය යුතු යැයි සමාජයේ පිරිසක් මත ප්‍රකාශ කරද්දී තවත් පිරිසක් කියා සිටියේ රටට එක නීතියක් අවශ්‍ය බැවින් මුස්ලිම්, බෞද්ධ, කිතුනු, හින්දු බේදයකින් තොරව සෞඛ්‍ය නිර්දේශය අනුව සියලු කොරෝනා සිරුරු ආදාහනය කළ යුතු බවයි.

මෙවන් වාද විවාද රටේ පැතිරෙද්දී වැලිගම නගරය ආසන්නයේ පදිංචිව සිටි මුස්ලිම් ජාතික කාන්තාවක් මියගිය පසු එම සිරුර සම්බන්ධයෙන් ඥාතීන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය සැමට ආදර්ශයක් වූයේය.

එසේ රටටම ආදර්ශයක් වෙමින් ආදාහනය කරනු ලැබුවේ වැලිගම හෙට්ටිවීදියේ පදිංචිව සිටි මුස්ලිම් කාන්තාවකගේ දේහයකි. 54 හැවිරිදි වියේ පසු වූ ඇය පසුගිය ජනවාරි 17 වැනි දා රෝගී වීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එනවිටත් මිය ගොස් සිටියාය. ඉන් පසු කරන ලද පීසීආර් පරික්ෂණයකින් තහවුරු වූයේ මේ කාන්තාව මිය යනවිට කොරෝනා ආසාදනය වී සිටි බවයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂකවරයා වූ චන්ද්‍රසේන ලොකුගේ ඥාතීන්ට කියා සිටියේ මියගිය කාන්තාව කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බැවින් සිරුර ආදාහනය කිරීමට සිදුවන බවයි.

මේ අවස්ථාවේ දී ඥාතීන් විශේෂ ඉල්ලීමක් කර තිබිණි. ඒ අවසන් වතාවටත් මියගිය තැනැත්තිය දැක ගැනීමට අවස්ථාව දෙන ලෙස සහ තම ආගමික වතාවත් කිහිපයක් ඉටු කිරිමට ඉඩ දෙන ලෙසත්ය.

හදිසි මරණ පරීක්ෂකවරයා මේ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර, රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා, විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානානයක්කාර යන අය ද සමඟ සාකච්ඡා කර ඊට ඉඩ වෙන්කර ‍දුන්නේය.

ඒ අනුව ඔවුන්ට අවස්ථාව ලැබිණි. නිරෝධායන නීති රීතිවලට අනුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ඥාතීන් විසින් මියගිය තැනැත්තිය අවසන් වරටත් දැක ගත් අතර ඔවුන් කරාපිටිය මෘත ශරීරාගරයේ දී ම සිය ආගමික වතාවත් ඉටු කළහ. මෙය මෘත ශරීරාගාරයක දී ආගමික වතාවත් ඉටු කළ පළමු අවස්ථාව ද විය හැකි යැයි වෛද්‍යවරු කියති.

ආගමික වතාවත් කළ ද දේහය ආදාහනය කරන බැවින් තමන්ට ඒ සඳහා වියදම් කළ නොහැකි බව ඥාතීන් පැවසූ බැවින් අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකිරිමට කටයුතු කෙරිණි. එම අවස්ථාවේ දී සිරුර ආදාහනය සඳහා වෙන්කර ඇති උපරිම මුදල වන රුපියල් 10,000.00ක මුදල ප්‍රමාණවත් වූයේ නැත. ගාල්ල නගර සභාවේ දඩල්ල ආදාහනාගාරයේ දී ප්‍රදේශයෙන් පිටත පදිංචි පුද්ගලයකුගේ සිරුරක් ආදාහනය කිරීමේ දී වැඩි මුදලක් අය කිරීමත් ප්‍රදේශයෙන් පිටත පදිංචි පුද්ගලයකු වීම හේතුවෙන් මල් ශාලාවේ ගාස්තුව ද වැඩි අගයක් ගැනීමත් ඊට හේතු විය.

මේ අවස්ථාවේ දී එම අමතර මුදල සැපයීමට අධිකරණ ඒකකයේ කාර්ය මණ්ඩලය කටයුතු කළහ.

කිසිදු මත ගැටුමක්, විරෝධතාවක් මෙහිදී ඇති වූයේ නැත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මෙසේ කීවේය.

“කිසිම ගැටලුවක් වුණේ නැහැ. ඒ ඥාතීන් සියල්ල තේරුම් අරගෙන සිටියා. ඔවුන් මේ වසංගතයේ භායනක බව දන්නා නිසා මළ සිරුර ශීතාගාරවල දාන්න ඉල්ලුවේ නැහැ. කිසිම දේශපාලකයෙක් බලපෑම් කළේ නැහැ. අපිට මෑත කාලයේ බොහෝ අත්දැකීම් තිබෙනවා, මීට පෙර මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු අදාහනය කිරීම වළක්වන්න කරාපිටිය ශික්ෂණ රෝහලට ඇවිත් ඇතැම් ප්‍රාදේශීය දේශපාලකයන් පවා විප්ලව කරනවා. ඔවුන් පොලිසි යනවා. විවිධ බලධාරීන්ට කතා කරමින් අපිට බලපෑම් කරනවා. සිරුරු බාර නොගෙන සිටිනවා. පීසීආර් පරීක්ෂණ වැරදියි කියනවා. නැවත පීසීආර් පරීක්ෂණ ඉල්ලනවා. දැන් මේ අවස්ථාවේ දී ඉතාමත් පැහැදිලිව තේරුම් ගියා ඒ සියල්ල පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කරන දේවල් බව. මෙතැනට දේශපාලකයන් ආවේ නැති නිසා ඒ ඥාතීන් සියලු දේ ඔවුන්ගේ ආගමට ආගමික විශ්වාසයන් අනුව සහ සෞඛ්‍ය නීති අනුව සිදු කළා. “

ආගමික වතාවත් සිදුකිරිමෙන් අනතුරුව දේහය ආදාහනය සඳහා රැගෙන යන විට ද එම ඥාතීහු ආදාහනාගාරයට ද ගියහ. ඔවුන් පසෙකින් බලා සිටියේ ඉතා සාමකාමීවය. ආදාහනය අවසන් වූ පසු ඒ ඥාතින් නික්ම ගියේ රටේ අන්තවාදී ඇතැම් පිරිස්වලට අපූරු ආදර්ශයක් සපයමිනි.

රටේ නීතියට අනුගත වෙමින් තම ආගමික වතාවත් ද පවත්මින් මේ ගැටලුව සාමකාමීව විසඳාගත හැකි බට ඔවුහු නිහඬව රටටම පෙන්වා දුන්හ. රටේ ජනතාවට සාමයෙන් සමගියෙන් ප්‍රශ්න විසඳාගත හැකි වුව ද ඒවා ගැටුම් දක්වා දුර දිග යන්නේ දේශපාලන මතවාද හා ආගමික අන්තවාද කරපින්නාගත් සුළු පිරිසකගේ උවමනාවන් අනුව බව ද ‍ඔවුහු නිහඬවම පෙන්වා දුන්හ.

Comments