ප්‍රධාන පොලිස් පරීක්ෂක (CI) තනතුරට නීතිඥවරුන් බඳවා ගැනීම සුදුසුද? නුසුදුසුද? | සිළුමිණ

ප්‍රධාන පොලිස් පරීක්ෂක (CI) තනතුරට නීතිඥවරුන් බඳවා ගැනීම සුදුසුද? නුසුදුසුද?

 

නීති අධ්‍යපනය හදාරා නීතිඥයන් ලෙස දිවුරුම් දුන් එකසිය පනස් දෙනෙකු පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස බඳවා ගැනීම සඳහා අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රිට ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත. පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරු සඳහා නීතිඥයන් බඳවා ගන්නා පළමු අවස්ථාව මෙය වුවද මේ වන විට පවතින නීති රෙගුලාසිවලට අනුව යම් නීතිඥවරයෙකුට උපාධියක් ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි තනතුර සඳහා ඉල්ලීම් කිරීමට හැකියාව ලැබිණි.

 

කෙසේවුවත් දැනට පොලිස් සේවයේ නියුතු පොලිස් නිළධාරින් සඳහා ද නීතිය හැදැරීමේ අවකාශයද හිමිවෙයි. එහිදී සමත්වන පිරිසට ඉහළ තනතුරුවලට උසස් කරන ක්‍රමවේදයක් දැනට ක්‍රියාත්මක වෙයි. මේ නව බඳවා ගැනිමේ පටිපාටිය සම්බන්ධයෙන් නොයෙක් පාර්ශ්වයෝ නොයෙක් අදහස් දරති.

අධිකරණ අමාත්‍යාංශයට අමතරව වෙනත් රජයේ ආයතනවල නීතිඥවරුන් අනුයුත්තව සේවය කරනු ලබයි. පොලිසිය සහ සාමාන්‍ය මහජනතාව අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙලෙස පොලිස් දෙපාර්තමේන්තුවට නීතිඥවරුන් බඳවා ගැනිමට නියමිතය. එමෙන්ම මූලිකම වශයෙන් නීතිමය කාරණා සම්බන්ධයෙන් මහජනයාට අවබෝධයක් සහ අදාළ අවස්ථාවලදී නිලධාරීන්ට උපදෙස් දීමත් මේ බඳවා ගැනීම්වල අපේක්ෂාව වෙයි.

නඩු පැවරීම් සම්බන්ධයෙන්ද මේ නීතිඥයන් අදාළ නිලධාරීන්ට විධිමත් උපදෙස් ලබාදීමත් ඒ තුළින් මහජනතාවට වඩාත් ඵලදායිතාවයෙන් යුතු පොලිස් සේවාවක් ලබා දීමේ අරමුණු අතර වෙයි. එමෙන්ම ජනතාවට ක්‍රියාකාරි සේවාවක් මෙන්ම වඩා ඵලදායි සේවාවක් ලබා දීමේ අරමුණින් මේ යෝජනාව ඉදිරිපත් කර ඇත. ඒ අනුව ජනතාවට යුක්තිය පසිඳලීමේ ක්‍රියා මාර්ග කඩිනම් කිරීම මෙහි අරමුණයි.

සහකාර පොලිස් අධිකාරිවරුන්ගේ වරප්‍රසාද හිමිවෙනවා

අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක

ජනාධිපති නීතිඥ යූ. ආර්. සිල්වා

මහජනතාවට වඩාත් ඵලදායිතාවයෙන් යුතු පොලිස් සේවාවක් ලබා දීමේ අරමුණින් සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීම වෙනුවෙන් මේ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා, අධිකරණ ඇමැතිවරයා හා පොලිස්පතිවරයා අතර පැවැති සාකච්ජාවකින් පසු නීතිඥවරුන් 150 දෙනකු පොලිසියට බඳවා ගැනීමට අපේක්ෂා කරන බවත් පළමුවෙන් සියදෙනෙකු පමණක් බඳවා ගැනීමට අදහස් කළ බව දැක්වෙනවා. බඳවා ගත් පිරිස වසරක පුහුණු කාලයකින් පසුව පරිවාස කාලයකට යටත්ව සහකාර පොලිස් අධිකාරි තනතුරුවලට අනුයුක්ත කිරීමට යෝජනා වුණා. එහිදී ඒ අය ප්‍රකාශ කළේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට හිමි සියලුම වරප්‍රසාද ලබා දීමට කටයුතු කරන බවයි.

ඒ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරිමට සුදානම් වන අවස්ථාවේ දී තමයි මේ පිළිබඳව මාධ්‍යවලින් ප්‍රචාරය වුණේ.

මෙහි තවත් ක්‍රමවේදයක් තියනවා නීති උපාධිධාරී මහත්වරුන්ට කෙළින්ම පොලිසියට බැඳිමේ හැකියාවක් තියෙනවා. අදාළ උපාධිය සපුරා ඇතිනම් ඒ අයට පමණක් යම් අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් අයදුම්පත් කැඳවු පසුව ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර විභාගයට පෙනී සිට එයින් සමත් වන අය සහකාර පොලිස් අධිකාරි තනතුරුවලට පත් කරනු ලබනවා. එය ඉතා සීමිත පිරිසකටයි සිදු කරනු ලබන්නේ.

මෙතැනදි සිදුකරනු ලබන්නේ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ඒ ආකාරයට ම සිදුවන අතර ඊට බාහිරව සක්‍රිය පොලිස් සේවාවකට සහ නීතිමය වශයෙන් උපදෙස් ලබා දීමයි. විශේෂයෙන් තාක්ෂණය හරහා පොලිස් පරීක්ෂාවන් කරන ආකාරයත් ඒවායින් ඉතා ඉක්මනින් නඩුගොනු කරන ආකාරය සහ පුළුල් දැනුමක් ඒ අයට ලබා දි පුහුණු පාඨමාලාවකට ලක් කිරීමටත් මෙහිදී සලකා බලනවා.

 

පොලිසියේ බඳවා ගැනීම් කළ හැක්කේ තනතුරු 3කටයි

පොලිස් කොමිෂන් සභාවේ සභාපති

නීතිඥ ආචාර්ය චන්ද්‍රා ප්‍රනාන්දු

විවාදයට ලක්වෙලා තියෙන්නේ මේ තනතුර සම්බන්ධයෙන්. නීතිඥවරුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බඳවා ගන්න පටිපාටියක් නැහැ. පොලිසියේ බඳවා ගැනීම් වශයෙන් තියෙන්නේ නිල තනතුරු තුනයි. ඒ කොස්තාපල්, උපපොලිස් පරික්ෂක, සහකාර පොලිස් අධිකාරි තනතුරු සදහා පමණයි.

පුරප්පාඩු තනතුරු සඳහා පිරිස් බඳවා ගැනීම් සිදුවන්නේ ඒ හරහා. ප්‍රධාන පොලිස් පරීක්ෂවරුන් කියන්නේ ඒ අතර මැද තනතුරක් සම්පුර්ණයෙන්ම මෙය වැරදි පටිපාටියක්. සම්පුර්ණ ක්‍රියාවලියේම වෙනසක් මෙහිදි සිදුවෙලා තියෙන්නේ. සහකාර පොලිස් අධීකාරිවරුන් ලෙස නිතිඥයන් බඳවා ගැනිම් එදා සිට සිදුවුණා.

අවුරුදු එකසිය පනහක් තිබුණ පොලිසියක් එක් රැයකින් වෙනස් කරන්න බැහැ. මම පෙන්නුවේ බඳවා ගැනීම්වල අවුරුදු එකසිය පනහක කාලයක සිට ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් ඍජුවම බඳවා ගැනීම් කර නැහැ. වෙනස් කරනවා නම් මේ සමස්ත බඳවා ගැනීම් ව්‍යුහයම වෙනස් කරන්නට ඕන. එවිට බඳවා ගැනිම් ක්‍රමවේදයන් තුනට අමතරව අතර මැදින් වෙන බඳවා ගැනීමක් කරන්න පුළුවන්.

 

නඩු පැවරීම නිසි අයුරින් සිදුවේවි

නීතිඥ සුදර්ශන ගුණවර්ධන

අපේ රටේ ක්‍රමවේදය අනුව විමර්ශන බලය තියෙන්නේ පොලිසියට. සාමාන්‍යයෙන් ඉහළ උසාවිවලට යන්නේ නැති නඩු වලදී ලඝු සහ ලඝු නොවන නඩු තියෙනවා. ලඝු නොවන නඩු විභාගවලදී අදාළ පොලිස් නිලධාරියා විසින් පැමිණිල්ල ඉදිරිපත් කිරීමේදී අධිකරණයේ දී ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න පිරිසක් සිටිනවා. අධිචෝදනා නොවන නඩුවලදී එනම් ලඝු නඩු සම්බන්ධයෙන් පොලිසිය විසින් නඩු මෙහෙයවනවා.

එහිදි ඇතැම් විට නීතිමය වශයෙන් නොබලා ක්‍රියාත්මක වෙනවා. නඩු දාන්න බැරි අවස්ථාවලදිත් නඩු පවරණ අවස්ථා තියනවා. නඩුවක් දාලා උසාවියේ දි නඩුව විසිවෙනවා ඒත් ජනතාව එවැනි අවස්ථාවලදී අපහසුතාවට පත් වෙනවා. නිතිමය වශයෙන් කරුණු ගැන අවබෝධයක් නැති නිසා අධිකරණය හමුවේ නීතිඥවරුන් ඉදිරියේදී මේ දේවල් අභියෝගයට ලක්වෙලා නඩුව විසි විමට ඉඩ තියනවා. වගඋත්තර කරුවන්ට පැමිණිලිකරුවන්ට අසාධාරණයන් වෙන්න පුළුවන් මෙවැනි අවස්ථාවලදී. මේ තත්ත්වය මත පොලිසිය බල ගැන්විම සඳහා මෙවැනි යෝජනා ගේන්නට ඇති. පොලිස් දෙපාර්තමේන්තුව විමර්ශනය කරන දෙපාර්තමේන්තුවක් ලෙස පොලිස් ස්ථානවල ගැසට් කරන ලද නිලධාරින් සහ ගැසට් නොකරන ලද නිලධාරින් සිටිනවා.

ප්‍රධාන පොලිස් පරික්ෂක ධූරයෙන් ඉහළ මට්ටමින් සිටින්නේ සුපරීක්ෂක මට්ටමේ අය පමණයි. එහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරුවලට නීතිඥයන් පත් කළ පසු වෘත්තිකයක් වශයෙන් යම් ප්‍රශ්නයක් වෙනවා. මෙතෙක් කල් නීතිඥයන් බඳවා ගනු ලැබුවේ සහකාර පොලිස් අධිකාරි තනතුරුවලටයි. මේ නිසා වෘත්තිය වශයෙන් යම් අභියෝගයකට ලක්වෙනවා. අනෙක් කාරණාව නීතිමය පක්ෂයේ ගැටලුවක් වේ නම් අධිචෝදිත පක්ෂය නීතිපති දෙපාර්තමේන්තුව විමධ්‍යගත කළ හැකියි. නීතිඥයෙක් පොලිස් නිලධාරියෙක් වුණාම ස්වාධීනව ඒ අයගේ මතයට ක්‍රියා කරන්න බැහැ . නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනව ගොඩනගලා තියෙන්නේ ඉතිහාසයේ සිටම ස්වාධීනත්වය වෙනුවෙනුයි.

 

අධිකරණයේ ප්‍රශ්න මෙයින් විසඳන්න බැහැ

නීතීඥ උදුල් ප්‍රේමරත්න

අධිකරණ ක්ෂේත්‍රයේදී මුහුණ දෙන ප්‍රශ්න මෙවැනි දේ කළා කියලා විසඳෙන්නේ නැහැ. මේ දක්වා නීතිඥවරුන් සහකාර පොලිස් අධිකාරින් ලෙසයි බඳවා ගැනිම් සිදු කළේ. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස දක්ෂ නීතිඥවරුන් බැඳෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. ඒ නිසා මෙය අසාර්ථකයි.

පැමිණිල්ල මෙහෙයවීමටයි මේ අය ගන්නේ. එයින් පැමිණිල්ලේ පාර්ශ්වයට යම් පහසුවක් වෙයි කියලා හිතනවානම් එය සාර්ථක වෙන්නේ නැහැ. සමහර පැමිණිලිවලදී පැමිණිල්ල මෙහෙයවන ආකාරය ගත් විට අන්තිම අසාර්ථකයි. එහිදී විෂය දන්නා අය සම්බන්ධ වීමෙන් යම් පහසුවක් තියෙයි.

නැවත සලකා බැලිය යුතු තීරණයක්

 

නීතිඥ සංගමයේ සභාපති

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස

පොලිස් දෙපාර්තමේන්තවේ කටයුතු සඳහා නීතිඥයන් අවශ්‍යනම් කළ යුතුව ඇත්තේ අපරාධ අධිකරණ කටයුතු උදෙසා වෙනම නීති දෙපාර්තමේන්තුවක් සංස්ථාපනය කිරීමයි. අප දරන්නා වූ ස්ථාවරය වන්නේ එය පොලිස්පතිතුමාගේ අධීක්ෂණය යටතේ නොව නීතිපතිතුමාගේ අධීක්ෂණය යටතේ පැවතිය යුතු බවයි. එය වෙනම සේවයක් වශයෙන් සැලකිය යුතුයි.

අවශ්‍යතාවය වන්නේ දැනට පවත්නා නඩු කඩිනමින් අසා නිමකිරීම නම් උක්ත ආකාරයට නීතිඥවරුන් 150ක් බඳවා ගැනීම වෙනුවට විකල්ප යෝජනාවක් ඉදිරිපත් කිරීමටද අප අදහස් කරන්නෙමු. සෑම දිස්ත්‍රික්කයක් තුළම නඩු ඒකකයක් ස්ථාපිත කිරීම, සෑම ඒකකයකම මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ පවත්නා නඩුකර මෙහෙයවීමට බලය ලබාදීම. වර්තමානයේ අපරාධයන්ට අදාළ ක්‍රමවේදයේ කරුණු සැලකිල්ලට ගෙන ඒකකයට නීතිඥවරුන් වෛද්‍යවරුන් රජයේ රස පරීක්ෂකවරුන්, අකුරු විමර්ශකයන්, වෝහාරික විශේෂඥයන් හා ගණකාධිකාරීවරුන් සහ පරිගණක විශේෂඥයන් අනුයුක්ත කිරීම, එම ඒකකයන් විසින් ඉටු කළ යුතු කර්තව්‍යයන් හා වගකීම් නිශ්චිතව පැහැදිලි කිරීම. උසස් වීම් සහ ස්ථාන මාරු සම්බන්ධයෙන් නිසි ලෙස රීතීන් සම්පාදනය කිරීම , නීතිපතිවරයාගේ අධීක්ෂණය යටතේ හෝ සීමිත අධික්ෂණයක් යටතේ මෙම ඒකකයන් පිහිටුවීම.

මේ අනුව නීතිඥවරුන් 150ක් පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමට ගෙන ඇති තීරණය නැවත සලකා බලන ලෙසත් ඒ තුළින් උද්ගතවිය හැකි නීතිඥ වෘත්තියේ ආචාරධර්ම සම්බන්ධයෙන් පැන නැඟිය හැකි බලපෑම් සලකා බලන ලෙසත් මෙහි දක්වා ඇති ආකාරයට අවශ්‍යතාවයන් ඇත්තේ නම නඩු මෙහෙයවීමේ ඒකක පිහිටුවීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසත් ශ්‍රීලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටී.

වෘත්තීන් දෙකේම අපේක්ෂා බිදවැටීමක්

නීතීඥ රමණි මුරුත්තෙට්ටුවේගම

මානව හිමිකම් පැත්තෙන් ගත් විට මෙහි දෙපැත්තක් තියනවා. එකක් නම් පත්වීම් සහ උසස්වීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කඩවීමක් තියනවා. යම් සේවයකට බැඳුණා ම තමන්ට සාධාරණ අපේක්ෂාවක් තියනවා ඒ සේවය තුළ තමන් වර්ධනය වන ක්‍රමය මොකක්ද කියලා. පවතින ක්‍රමයට පිටින් එක්වරම, බඳවා ගැනිමේ පටිපාටියක් නැති තනතුරකට බඳවා ගැනිම මුළු පොලිස් සේවාවම එක් පැත්තකින් අධෛර්යට පත් කිරීමක් වෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. සේවයේ ඉන්න අයගේ සාධාරණ අපේක්ෂාවක් බිඳවැටිමක්. මානව හිමිකම් 12 වැනි වගන්තියට අනුව එය ගැටලුවක් බවට පත් වෙනවා. අනෙක් කාරණාව ඇයි මානව හිමිකම් ප්‍රශ්නය ඇතිවන්නේ සහ ඇයි අධෛර්යමත් වෙන්නේ කියන කාරණා ව ගැන සිතිය යුතුයි. එහිදී පොලිස් සේවයට නීතිය පිළිබඳව දැනුම මදිනම් එය ලබාදීමට පුළුවන්. ඒ වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව තියනවා.

අපේම මුදල්වලින් බදු ගෙවමින් ඒ අයට වැටුප් ගෙවමින් වෙනත් ආයතනවලට නීතිඥවරුන් බඳවා ගැනිම අවශ්‍ය නැහැ. නීතිඥවරුන්ගෙන් අපේක්ෂා කෙරෙන්නේ විනිශ්චය සභා සමඟ නීතිය යුක්තිය ඉටු කිරිමයි. අපි සියලු දෙනාගේ වගකිම් එකිනෙක වෘත්තීන් අනුව වෙනස් වෙනවා. අපි කල්පනා කරන්නට ඕන කොහොමද මේ කාර්යය නිසි පරිදි කරන්නේ කියල.

නඩු ප්‍රමාද වෙන්නේ අත­්‍යවශ්‍ය සේවකයන් නැති නිසයි

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය

නීතිඥ දුලාන් දසනායක

නඩුකටයුතු ප්‍රමාදවීම වළක්වා ගැනිමට පොලිසියට පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරුන් බඳවා ගැනිම සිදුවන බව පැවසුවත් එතැන ගැටලු කිහිපයක් තියනවා. සමාජයේ තියන කතා බහක් තමයි නිතීඥයන් නිසා නඩු ප්‍රමාද වෙනවා කියලා . අධිකරණ අමාත්‍යාංශය මිට වඩා මේ දෙස ගැඹුරින් බැලිය යුතුයි . අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති උසාවිවල අලුත් තාක්ෂණය භාවිත වෙන්නේ නැහැ. උසාවි ලේඛනාගාරවල ලේඛන පිරිලා තියෙන්නේ. ඒවායේ ඉන්න අය පීඩාවෙන් ඉන්නේ. අපරාධ නඩුවලට නීතිපති දෙපාර්තමේන්තුවේ ඇති සම්පත් සීමිතයි. ඒ අය යම් කාර්යය භාරයක් කරනවා නමුත් පවතින නඩුකටයුතු වලට ඒ අය ප්‍රමාණවත්ද කියන ගැටලුව මතුවෙනවා.

ඇත්තටම මෙ නීතිපති උපදෙස්වලට යැව්වාම නඩු ප්‍රමාද වෙනවාද කියන කාරණාව මතුවෙනවා. ඒ වගේ කාරණා පොලිස් නිලධාරින් බඳවා ගත්තා කියලා වෙනස් වෙන්නේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ ඇති මානව භෞතික සම්පත් ප්‍රමාණවත් නැතිකම නිසා නඩු ප්‍රමාද විම සිදුවෙනවා. අනෙක රස පරික්ෂක දෙපාර්තමේන්තුව වාර්තා කැඳවන්න කොතරම් කාලයක් යනවා ද ? රජයේ සේවකයන් ඒ සඳහා ඉතාමත් සිමිතයි. ලංකාවේ රස පරික්ෂණ එක් තැනකට ගෙන ආවාම ඒ වාර්තා කඩිනම් කිරීම ක්‍රමවේදයන් නැහැ.

මේවා ගැන වඩා සැලකිලිමත් විය යුතුයි. රස පරික්ෂක දෙපාර්තමේන්තුවට සේවකයන් වැඩි කරන්න ඕන. පොලිසි නිලධාරින් නඩුව යන අතර මැද දී ස්ථාන මාරුවීම් කරනවා. නිලධාරින් නැතුව නඩුව කල් යනවා. පොලිසියට අනුයුත්ත කරමින් නීතිඥ අංශයක් පිහිටුවිම වැනි දෙයකින් මේ අය බඳවා ගැනිම තුළින් ඒ අයට මේ නඩු පිළිබඳව කඩිනමින් විසඳුම් සෙවිය හැකියි.

Comments