නකල්ස් වන අවට මීහ­රක් කපෝ­තියි | සිළුමිණ

නකල්ස් වන අවට මීහ­රක් කපෝ­තියි

ඝාතනය කර ඇති මී ගව­යන් දෙදෙ­නෙ­කුගේ හිස්
ඝාතනය කර ඇති මී ගව­යන් දෙදෙ­නෙ­කුගේ හිස්

ලෝක උරුම නකල්ස් වන පෙත නැතිනම් දුම්බර කඳුවැටිය කියු සැනින් අපට සිහියට එන්නේ මධ්‍ය කඳුකරය යයි. සුදු මිදුම් පටලයෙන් වැසි ඇති දැකුම්කළු වන ලැහැබ නෙතට ප්‍රියතාවක් ඇති කළ ද මේ වන ලැහැබ් අස්සේ සහ විවෘත භූමිවල සාහසිකයන් පිරිසක් විසින් සිදුකරනු ලබන ඉතා කනගාටුදායක පුවතක් පසුගිය දා මාධ්‍ය වර්තා කළේය.

එහි වැඩි තොරතුරු සොයා අපි නකලස් වන භූමියේ ඇවිද ගියෙමු.

මාතලේ - රත්තොට මාර්ගය ඔස්සේ උස් කඳු බෑවුම් ඔස්සේ දිවෙන රිවස්ටන් මාර්ගයේ පැතිර ඇති පාරිසරික සුන්දරත්වය දුටුවන්ගේ නෙත් වශීකෘත කළ ද ඊට හාත්පස වෙනත් ජාවාරම් පිළිබඳව කනින් කොනින් අපට අසන්නට ලැබිණි.

පිට­වල පතනේ නිදැල්ලේ සැරි­ස­රන ගව­යින්

පිටවල පතන ආශ්‍රීතව නිදැල්ලේ සැරිසරන ගවයන් ඝාතනය කර මහා පරිමාණ හෝටල් වලට හා විවිධ ගැනුම් කරුවන්ට අ‍ෙලවි කිරිම මෙම ජවාරම් කරුවන්ගේ ක්‍රියාවලිය වේ.

පිටවල පතන යනු අවට ඉතා විශාල ප්‍රමාණයක පැතිර පවතින කුඩා කුඩා පැළෑටි රැසකින් සමන්විත තෘණ භූමියකි. වසර ගණනාවක් තිස්සේ මේ වන භූමියේ නිදැල්ලේ ගවයන් සිටින්නේ ඇයි?

සංචාරකයන් සඳහා මේ වන විටත් විවෘත නැති නකලස් කලාපයේ මිනිසුන් සොයාගැනීම මේ දිනවල අපහසු කටයුත්තකි. එහෙත් යාබද ගම්මාන වල වෙසෙන ජනයා මේ සම්බන්යෙන් අප හමුවේ තැබුවේ එක්තරා තිත්ත කතාවකි. ගැමියන්ට අනුව කුඹුරු වගා කටයුතු සිදුකර ගවයන් මුදා හැරිම ඔවුහු සිදුකරනු ලබති. කර පටියක් හෝ කඹයක් නැති මේ ගවයන් යළි වගා කටයුතු ආරම්භ වන සමය දක්වා රැඳී සිටින්නේ පිටවලපතන හා සෙසු පතන් සහිත තෘණ භූමිවලය.

මේ ගවයන් යළි ගොවින්ට අවශ්‍ය වන්නේ සිය කුඹුරු වල වගා කටයුතු ආරම්භ වන සමය වන විටය. ගම්මාන වල ගැමියන්ට අනුව මේ ගවයන් වසර පුරා නිදැල්ලේ සැරි සරන අතර ගවයන් ද නිසි කාලය වන විට සිය හාම්පුතුන් හමුවට යෑමට පුරුදු වී සිටිති.

මෙවැනි වටපිටාවක් යටතේ සහ කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ නකල්ස් කලාපයට මිනිසුන් ඇතුළු නොවීම ගව ඝාතකයන්ට නැතිනම් ජාවාරම් කරුවන්ට මේ භූමිය කදිම සූදු පිටියකි.

එහි ආසන්නතම සිදුවීම සිදුවන්නේ පසුගිය සතියේය. මී ගවයින් පස් දෙනකු ඝාතනය කිරීම හා ඔවුන්ගේ හිස් පාර අයිනේ දමා යෑම කා අතරත් හද කම්පා කරවන පුවතක් බවට පත්විය. නම සඳහන් කිරිමට අකමැති මිය ගිය ගවයන් දෙදෙනකුගේ හිමිකරුවකු අපත් සමඟ කියා සිටියේ සී සෑමෙන් පසු සතියක් හෝ ගත නොවූ තමන්ගේ ගවයන් දෙදෙනා මරා හිස් රිවස්ටන් මාර්ගයේ දමා ගොස් තිබු බවයි.

‘මේවා කරන්නේ සැලසුම් සහගත පුද්ගලයන් මහත්තයෝ. මේ හරක්ගේ හාපු මහන්සියවත් ඇගෙන් ගිහින් නෑ අහිංසක සත්තු මුන්ට හෙණ හතම ගහන්න ඕනේ මහත්තයෝ ‘හේ නොනවත්වාම කියාගෙන ගියේය.

මේ හරක් මරලා ලොකු ලොකු හෝටල් වලට විකුණනවා. මේක මහා ජාවාරමක් කතරගම දක්වා මස් කඩවලට මේ හරක් විකුණනවා.

මේවට හවුල් වෙන අතරමැදි ජාවාරම්කාරයන්ට ලොකු මුදලක් ලැබෙනවා. එක හරකකුට රුපියල් හැට හැත්තෑ දහසක් ගෙවනවා. දවල් කාලේට මේ මිනිස්සු කරන්නේ අපේ අවට ගම් ගෙවල්වල කැරකිලා ගමේ අය මේ වැඩේට හවුල් කරගන්නවා. සල්ලි වලට ආසාවෙන් අපේ සමහර අය මේ වැඩ වලට හවුල් වෙනවා.

එක හරකෙක් කිලෝ තුන් හාරසියක් බරයි. අතට හම්බෙන ගානට වඩා මුදලක් මේ ජාවාරම් කාරයෝ එක හරකෙකුගෙන් හොයා ගන්නවා.

මස් කිලෝ එකක් 800 – 1000 වඩා වැඩි මුදලකට හරක් මස් කඩවල විකුණනවා. ඊටත් වඩා මහත්තයෝ කරන තවත් ජාවාරමක් තමයි මේ මී හරක් මස් මුව මස් කියලා හෝටල් වල විකුණන එක. සංචාර කටයුතුවලට එන ගොඩක් සංචාරකයෝ හෝටල් වලට ආපුවහම හොර රහසෙම කියනවා ගෝන මස්, මුව මස් තියෙනවා කියලා. ඒ මහත්තුරු දන්නේ නෑ හරක් මස් කියලා; රවට්ටලා දෙනවා. ග්‍රෑම් සීයක් එකසිය පනහක් වෙච්ච එක පුංචි පිගානක් රුපියල් 400 ට 500 ට විකුණනවා. ඕක තමයි ඇත්ත. අපි මේ මහ පොළවේ ඉපදිලා මැරිලා යන මිනිස්සු. මේ අහිංසක සත්තු අපිට කරපු වැරැද්ද මොකක්ද? අපිට අහන්න තියෙන්නේ ඔය ටික තමයි.‘ හුස්ම පවා නොවැටෙන මේ කතාව එක දිගට ඔහු කියා ගෙන ගියේය.

කාලාන්තරව නකලස් කලාපයේ සිදුවන මේ ජාවාරම පසුගිය වසරක් වැනි කාලයකින් වාර්තා නොවූ බව මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කලාප බාර වන නිලධාරි එම්.සී. ඉළුක්කුඹුර කියා සිටියේය.

හෙතෙම අවධාරණය කර සිටියේ නකලස් කලාපයේ වන සතුන් දඩයම සම්බන්ධයෙන් මේ වන විටත් පියවර රැසක් ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් අහඹු ලෙස සිදුවන වනසතුන් දඩයම සම්බන්ධයෙන් මේ වන විටත් පුළුල් පරික්ෂණ ආරම්භ වී ඇති බව ද හෙතෙම කියා සිටියේය.

කාලානුරූපිව සිදුවන මානව ක්‍රියාකාරකම් හමුවේ ලෝක උරුම නකලස් වන පෙත සම්බන්ධයෙන් කටයුතු කරන පාරිසරික සංවිධාන රැසක් ද නකල්ස් කලාපයේ ක්‍රියාත්මකව පවතියි.

එහි ප්‍රතිඵලයක් ලෙස අවිධිමත් මානව ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිරන්තරව හඬක් නඟන ඔවුහු නකල්ස් පාරිසරික සම්පත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටිති. නකල්ස් සංචාරක ගමනේ දී පිටවල පතනේ දී එකී පරිසරවේදියකු අපට හමු විය.

ඔහු ග්‍රැෆෙක් ශ්‍රී ලංකා පදනම හෙවත් ග්‍රාම අභිවෘද්ධි මධ්‍යස්ථානයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ පරිසරවේදී ගාමිණි ජයතිස්සය.

ඔහුගේ අදහස් වලට අනුව ලෝක උරුම වනාන්තරය පිහිටි නකල්ස් හි පිටවල පතන ප්‍රදේශයේ සැරිසරන ගවයන් සහ එළ හරක් ඝාතනය කර හොර රහසේ එම මස් මාතලේ හා ඒ අවට ප්‍රදේශවලට රැගෙන යෑමේ ජාවාරමක කණ්ඩායමක් නිරත වෙන බව හෙතෙම කියා සිටියි.

නකල්ස් දුෂ්කර මාර්ගයක්

‘අපි මේ පිළිබඳව හැමදාම කතා කරනවා පලක් නැහැ. මේ දිනවල එම කටයුතු බහුලව සිදු වනවා.

ඇතැම් ප්‍රාදේශිය දේශපාලනඥයන්, සංචාරකයන්, සංචාරක හෝටල් සඳහා පහසුකම් සපයන පිරිස් ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මෙම නීති විරෝධි කටයුතු සිදු කරන බවට කොතෙකුත් තොරතුරු පවතිනවා.

පිටවල පතන ප්‍රදේශයේ සැරිසැරූ “ගෝනා”ද මෙසේ මරා දමා ඇති බවත් දැන් මෙම ප්‍රදේශයේ “ගෝනා” දුර්ලභ සත්ත්වයකු බවට පත්ව ඇති බවත් හෙතෙම කියා සිටියේය.

සංචාරකයන් හට ගෝන මස් වෙනුවට මී හරක් මස් ලබා දීමේ ජාවාරමක් සුක්ෂම අයුරින් ක්‍රියාත්මක බවද ජයතිස්ස පවසයි.

මෙම නීති විරෝධි කටයුතු මැඬපැවැත්වීම සඳහා දුම්බර වන කළමනාකරණ සැලැස්ම යටතේ “දුම්බර වන පාලන කාර්යාලයක් “ස්ථාපනය කිරිමට දිස්ත්‍රික් පරිසර කමිටුවේදී මෙන්ම අනෙකුත් රැස්වීම්වල යෝජනා කළත් මෙතෙක් එය ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණක් බව ද ගාමිණි ජයතිස්ස කියා සිටියේය.

කෙසේ වෙතත් නකලස් කලාපයේ සිදුවන වන සතුන්ගේ ඝාතන සම්බන්ධයෙන් මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකගේ උපදෙස් පරිදි ලග්ගල පොලිසිය වැඩිදුර පරික්ෂණ අරඹා තිබේ.

එහෙව් පසුබිමක ලෝක උරුම නකල්ස් වන භූමියේ නිදහසේ ජිවත් වන මී හරකා මෙන්ම එළ හරකා ද සෙසු වන සතුන් ද ආරක්ෂා කර ගැනීම රාජ්‍ය ආයතන වලට පමණක් සිදුකළ හැකි කාර්යයක් නොවන බව මෙහිලා සටහන් කළ යුතුය.

අති මහත් වූ සංචාරක ප්‍රජාව මෙන්ම අවට ගම්මාන වල ජනතාව ද ආරක්ෂක අංශ වලට මේ සම්බන්ධයෙන් නිරන්තරව තොරතුරු ලබාදිය යුතුය.අවශ්‍ය සහාය ලබාදිය යුතුය.

එසේ නොවී එකිනෙකා වෙත පන්දුව පාස් කර නිහඬව සිටීම තුළින් සිදුවන්නේ ලොවක් ආදරය කරන මුළු ලෝකයටම හුස්ම ගැනීමට උපකාර කරන වන සම්පත තුළ නිහඬව ජිවිතය ගත කරන වටිනා වන සතුන් මිහිතලයෙන් සමුගැනීම පමණි.

Comments