ගුව­න්තො­ටු­පොළ රකින අලුත් ආර­ක්ෂ­කයෝ | සිළුමිණ

ගුව­න්තො­ටු­පොළ රකින අලුත් ආර­ක්ෂ­කයෝ

සැකකටයුතු පෙට්ටියක් වටේ යමින් එය ඉව කළ සුනඛයා ඊළඟ නිමේෂයේ නොනවත්වා බුරමින් එහි මත්ද්‍රව්‍ය ඇති බවට සිය පුහුණුකරුට සංඥා කරයි. තවත් සුනඛයකු සාමාන්‍ය සුනඛයකුට පැනිය නොහැකි ඉහළක සිට නිරුපද්‍රිතව බිමට පනින්නේ නරඹන්නන් මවිත කරමිනි.

ඒ දස්කම් සියල්ල දැකබලා ගත හැකි වූයේ කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේදී ඉකුත් 13 වැනිදා පවත්වනු ලැබූ ශ්‍රී ලංකා ගුවන් හමුදා සුනඛ ඒකකයේ සුනඛයන් පුපුරණ ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය සෙවීමේ විශේෂ පුහුණුව අවසන් කිරීම නිමිත්තෙන් පැවති විසිර යෑමේ උත්සවයේදීය. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයේදී සුනඛයන් ලැබූ පුහුණුව ප්‍රදර්ශනය කිරීම සහ එම සුනඛයන් පුහුණු කරන ලද හසුරුවන්නන් වෙත සහතික පත් ප්‍රදානය කිරීමද සිදු විය.

විසිර යෑමේ උත්ස­ව­යේදී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා සුනඛ ඒක­කයේ සුන­ඛ­යකු ගුවන් හමු­දා­පති  එයාර් මාර්ෂල් සුද­ර්ශන පති­ර­ණගේ හට ආචාර කළ අව­ස්ථාව

එම ගුවන් සුනඛයන් 20 දෙනා පසුගිය 15 වැනිදා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් කටයුතු සඳහා නිල වශයෙන් යොදවනු ලැබිණි. ඒ, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආරක්ෂක තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීමට සිවිල් ගුවන්සේවා ආරක්ෂක කමිටුව ගත් තීරණයක් අනුවය. ඒ අනුව මෙම විශේෂ වර්ගයේ සුනඛයන් 20 දෙනා මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකා ගුවන් සුනඛ ඒකකයට එක්වූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් වැය කළ මුදල රුපියල් මිලියන 22කි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මෙම සුනඛයන් එක්වූයේ 2020 වසරේදී නෙදර්ලන්තයෙනි. එම සුනඛයන් අතර බෙල්ජියම් මැලිනොයිස් වර්ගයේ සුනඛයන් 5ක්, ලැබ්‍රඩෝ රිට්‍රිවර්ස් වර්ගයේ සුනඛයන් 5ක්, ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයන් 5ක් සහ ස්ප්‍රින්ගර් ස්පැනියල් වර්ගයේ සුනඛයන් 5ක් වේ. මීට පෙර 2013 වසරේදීද ගුවන් සුනඛ ඒකකයට නෙදර්ලන්තයෙන් ගුවන් සුනඛයන් 10 දෙනෙකු බඳවාගෙන තිබිණි. ශ්‍රී ලංකා ගුවන් සුනඛ ඒකකයේ වත්මන් අණදෙන නිලධාරි ලෙස වින්ග් කමාන්ඩර් නිරෝෂන් කුමාරසිංහ කටයුතු කරයි.

ගුවන් භාණ්ඩ ලෙස මගීන් විසින් රැගෙන යන ගමන් මලුවල රහසිගත ලෙස රැගෙන යා හැකි පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය පහසුවෙන් හඳුනාගත හැකි පරිදි එම සුනඛයන්ට පුහුණු කරනු ලැබුවේ අස්ගිරිය ශ්‍රී ලංකා පොලිස් පුහුණු පාසලේදීය. එපමණක් නොව අන්තරායකර ඹෟෂධ පාලන මණ්ඩලය විසින් සත්‍ය නියැදි යොදාගනිමින් පවත්වන ලද ප්‍රායෝගික පරික්ෂණයකටද එම සුනඛයන් මුහුණ දුන් අතර එවැන්නක් මෙරට සිදුවූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. පුපුරන ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමේ සුවිශේෂී පුහුණුවට අමතරව මෙම සුනඛයන්ට ප්‍රභූ ආරක්ෂක රාජකාරි, ආපදා අවස්ථාවන්හිදි සෝදිසි මෙහෙයුම් සහ ගලවා ගැනීමේ රාජකාරි, ඉව පසුපස ලුහුබැඳ හඹායෑමේ පුහුණුවක්ද ලබා දී ඇත.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විශිෂ්ට සේවයක් ඉටුකරනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් සුනඛ ඒකකයේ ආරම්භය සනිටුහන් වී ඇත්තේ 1972 වසරේ අගෝස්තු 23 වැනිදාය. 2012 වසරේදී අංක 48 රෙජිමේන්තු අංශය ලෙස නැවත නම් කරන ලැබූ එම ඒකකය 2013 වසරේදී නැවත ගුවන් සුනඛ අංශය ලෙස නම් කරනු ලැබිණ.

ඡායාරූප - ගයාන් පුෂ්පික

 

 

 

 

Comments