ගව පර­පුර වන­සන අලුත්ම වයි­රස් ලෙඩේ | සිළුමිණ

ගව පර­පුර වන­සන අලුත්ම වයි­රස් ලෙඩේ

ළකිරි, ගිතෙල්, බටර්, මීකිරි සමඟ ශරීරයට ඉහළම පෝෂණයක් දෙන නැවුම් කිරි අපට දෙන අපේ ගව පරපුරට දැන් තුවාල සැදී ඉදිමී මැරෙන වයිරස් රෝගයක් වැළදෙමින් තිබේ.

අම්පාර, පොළොන්නරුව, අනුරාධපුරය, වවුනියාව, යාපනය, මොනරාගල ප්‍රමුඛ දිස්ත්‍රික්ක 11 ක වැඩිපුර පැතිරී ගොස් ඇති මෙම රෝගය නිසා එළදෙනුන්ගෙන් ලබාගත හැකි කිරි ප්‍රමාණය අඩුවී ශරීරය දුර්වලවී මියයන බව කිරි ගොවි සංවිධාන නායකයෝ පවසති.

පසුගිය ඔක්තෝබර් මාසයේ අපේ රටේ උතුරු පළාතේ වාර්තා වූ මේ ගව වයිරස් රෝගය දැන් මෙරට දිස්ත්‍රික්ක 4 ක පමණ බහුල ලෙස ව්‍යාප්ත වී ඇතැයි කිරි ගොවීහු පවසති.

මේ පිළිබඳ අදහස් දක්වන අම්පාර දිස්ත්‍රික් කිරි සත්ව පාලන පට්ටිකරුවන්ගේ සමුපකාර සංගමයේ සභාපති හා අම්පාර දිස්ත්‍රික් ගව හිමියන්ගේ සංගමයේ සභාපති ලක්සිරි වික්‍රමසිංහ මහතා පවසන්නේ ගවයන්ගේ පිටේ ගැටිති සැදී ඒවා තුවාල බවට පත්වී සැරව ගැලීම් මෙහි ප්‍රධාන ලක්ෂණය බවයි. ඒ ගවයන්ට උණ තිබෙනවා. පැටවුන්ට නම් මේ ලෙඩේ මාරාන්තිකයි. මුලදී මේ රෝගය පිළිබඳ අපි බයවුණා. පශු වෛද්‍යවරුන් මුලදී විවිධ බේත් දුන්නා. නමුත් අඩු වුණේ නැහැ. පස්සේ අපිට ‍තේරුණා මේක මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් බෝවන බව. ඒ අනුව අපි පශු වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ලෙඩ හැදුණ සතුන් වෙන් කළා‍. ඒ තුවාලවල කොහොඹ තෙල් ගෑවා‍. නාවලා පිරිසුදු කළා. ඊට පස්සේ පැඟිරි තෙල්වලින් දුම් ඇල්ලුවා. මැස්සෝ මදුරුවෝ ඒම අඩු වුණා. සතියක් යන විට ලෙඩේ අඩු වුණා. පස්සේ පශු වෛද්‍යවරු තුවාලවලට බේතකුත් විද්දා.

ඒ අනුව දැන් මේ රෝගය හැදුණු ගවයන්ගෙන් හුඟකට විතර ලෙඩේ සුවවෙලා. ඒත් පැටවු නම් මැරෙනවා.

මේ රෝගය නිසා කිරි අස්වැන්න තරමක් අඩුවෙනවා. ඒත් මේ සතුන්ගේ කිරි පිළිබඳ අපි කළ පර්යේෂණ අනුව කිරිවල පෝෂ්‍ය ගුණයේ කිසිම වෙනසක් නැහැ. කිරිවලට ඒ විසබීජ එකතු වෙන්න විධියකුත් නැහැ. සමහරු මේ රෝගය පිළිබඳ වැරැදි වැටහීමක් නිසා නැවුම් කිරි බීම අතහැර දැම්මා. මම වගකීමෙන් කියනවා මේ රෝගය නිසා කිරිවල කිසිම ගැටලුවක් නැහැ කියලා. ලක්සිරි වික්‍රමසිංහ අවධාරණය කරයි.

මේ පිළිබඳ කරුණු දක්වන දීඝවාපි ගව හිමියන්ගේ සංවිධානයේ උප සභාපති සුදත් අතුකෝරල මහතා පවසන්නේ කොහොඹ තෙල් ගා පැගිරි තෙල් දුම් ඇල්ලූ විට රෝගය පාලනය වෙන බවයි. කෙසේ වුවත් පැටවුන් බේරා ගැනීමට අපහසුව අවුරුදු තුනේ පැටියකුත් මෙයින් මියගොස් ඇති අතර, පශු වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව ගොවියන් ගෙනවිත් දුන් බේත් එන්නත් විදීමෙන් පසු රෝගය පාලනය වූ බවත් ඔහු කීය.

අලුත් සංඛ්‍යාලේඛන අනුව අපේ රටේ ගවයන් 12,21200 ක් පමණ අපේ ර‍ෙට් සිටිති. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල පී. සුමිත් මාගමගේ පවසන ආකාරයට අපේ රටේ ගවයන් වැඩිපුරම සිටින්නේ අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවලය. ඉන් ලක්ෂ 6 ක් ම ගැහැනු සතුන්ය. එම සතුන්ගෙන් කිරි ගැනීමට හැකියාව ඇත්තේ ලක්ෂ 2.5 කින් පමණි.

“මහාචාර්යවරයා තවදුරටත් පවසන්නේ අපේ රටේ කෘතිම සිංචන 243000 ක් වසරකට සිදුවන බවයි. ඉන් බිහිවන සතුන් 35000 ක් පිරිමිය. 35000 ක් ගැහැනුය. නමුත් පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කෘතිම සිංචනය මඟින් වැඩි ගැහැනු පැටවුන් බිහි කිරීමට නව තාක්ෂණික ක්‍රම අනුගමනය කරයි. කෙසේ වුවත් මෙවැනි වයිරස් රෝග නිසා කිරි නිපැයුම තරමක් අඩුවන බව ද මහාචාර්යවරයා කියයි.

මේ පිළිබඳ කරුණු දක්වන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව වසංගත රෝග පාලන අංශයේ ප්‍රධාන පශු වෛද්‍ය සුදත් කුමාරවඩු මහතා පවසන්නේ මුලින්ම උතුරු පළාතෙන් වාර්තා වූ මේ රෝගය දැන් සියයට 90 ක් ම පාලනය කර ඇති බවයි.

ගවයන්ගේ ඇඟේ තුවාල ඇතිවීම තමයි මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණය‍. මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් තමයි ලෙඩේ හැදෙන්නේ‍. මේ රෝගය පිළිබඳෙ දැනගත් ගමන්ම ඒ විෂබීජ සාම්පල එංගලන්තයට යවා ඒ පිළිබ­‍ෙ වාර්තාවක් ලබා ගත්තා‍. ඒ අනුව අපේ සියලු පළාත් පශු වෛද්‍ය අධ්‍යක්වරුන්ට රෝග පාලනයට එන්නත් හා රෝග පාලන ජෛව පාලන ක්‍රම පිළිබඳ දැනුමක් දුන්නා.

ඒ අනුව තුවාලවලට එන්නත් ඖෂධ අපි ලබාදුන්නා. ඊටපසු ගවයන් වෙන් කිරීමට උපදෙස් දුන්නා. පැගිරි තෙල්වලින් දුම් ඇල්ලුවාම ගවයන් ළඟට මැස්සෝ මදුරුවෝ එන්නේ නැහැ. ඒ අනුව රෝගය පාලනය වුණා. දැන් ඒක සියයට 90 ක් ම පාලනය වෙලා. රෝගී එළදෙනුන්ගේ කිරි බිව්වට කිසිම ගැටලුවක් නෑ.

ගව හිමියන්ගෙන් මා ඉල්ලා සිටින්නේ රෝග ලක්ෂණ තිබේ නම් ඒ ගවයන් වෙන්කර අවශ්‍ය ජෛව පාලන ක්‍රම ක්‍රියාත්මක කර පශු වෛද්‍යවරුන්ට දන්වන ‍ෙලසයි. පශු වෛද්‍ය සුදත් කුමාරවඩු මහතා පවසයි.

මේ පිළිබඳ කරුණු දක්වන පශු ‍ සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් මහතා පවසන්නේ මේ රෝගය පාලනය කිරීමට එන්නතක් පිට රටින් ගෙන්වන බවයි. ඒ සඳහා එක එන්නතකට වැයවන්නේ රුපියල් 750 ක් පමණක් බවත් ඊට අමතරව පොල්ගොල්ලේ පිහිටි සත්ත්ව එන්නත් සාර නිෂ්පාදනාගාරයේදී මේ රෝගයට එන්නතක් නිපදවීමට කටයුතු යොදන බවත් ඇමැතිවරයා කීය.

“දකුණු අප්‍රිකාවේ තිබූ මේ වයිරස් රෝගය මැද පෙරදිග නේපාලය හා ඉන්දියාව හරහා අපේ රටට පැමිණ තිබෙනවා. මේ රෝගය මර්දනයට පශු වෛද්‍යවරුන් පූර්ණ උපදෙස් ලබාදී තිබෙනවා. උතුරු පළාතේ දැනට මේ රෝගය ස්වාභාවික ලෙස මර්දනය වෙමින් තිබෙනවා.” යැයිද රාජ්‍ය ඇමැතිවරයා පවසයි.

මේ රෝගය පිළිබඳ සෙවීමට ඇමැතිවරයා සත්පුද්ගල කමිටුවක් ද පත්කරන ලදී. එහි ප්‍රධානත්වය දරන්නේ පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. සේනානායක මහතායි.

ඒ මහතා පවසන පරිදි මේ රෝගය පාලනය කිරීමට දැන් සියලු කටයුතු යොදා ඇත. දැනට පිටරටින් මේ රෝගය මර්දනයට එන්නතක් ගේන්න කටයුතු කරනවා. ඊට අමතරව පාංශු පර්යේෂණ ආයතනය මඟින් මේ සඳහා එන්නතක් නිපදවන්න අපි උපදෙස් දී තිබෙනවා.

දැනට මේ රෝගය පිළිබඳ කමිටු වාර්තාව අපි ඇමැතිවරයාට බාරදී තිබෙනවා.

මෙම වාර්තාව අනුව අපේ රටට මෙම රෝගය ඇවිත් තිබෙන්නේ ඉන්දියාවෙන්. උතුරු පළාතේ කෝපායිවලින් තමයි මුලින් වාර්තා වුණේ. දැන් තිබෙන තත්ත්වය අනුව මේ රෝගය දින දෙක තුනක් ඇතුළත සුව වෙනවා.

මේ ‍රෝගය පිළිබඳව ඇමැතිතුමා පත් කළ සත් පුද්ගල විද්වත් කමිටුව පූර්ණ අධ්‍යයනයක් සිදු කළා. ඒ අනුව මෙවැනි රෝගයක් යළි අපේ රටට ඒම වළක්වන්න පියවර අරන් තිබෙනවා, ලේකම්වරයා පැවසීය.

මේ පිළිබඳ කරුණු දක්වන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජනී හෙට්ටිආරච්චි මහත්මිය පවසන්නේ මෙම ‍රෝගය මැස්සන් මදුරුවන් හා කිනිතුල්ලන්ගේ බෝවෙන බවයි. ඒ අනුව ගොවිපළවල් පිරිසුදුව පවත්වා ගන්නා ලෙසත් රෝගී ගවයන් වෙන්කර තබන ලෙසත් ඇය ගව හිමියන්ගෙන් ඉල්ලා සිටින්නීය.

මේ රෝගයේ අත්දැකීම් බහුල වන්නේ ක්ෂේත්‍රයේ වැඩ කරන පශු වෛද්‍යවරුන්ටය. මේ පිළිබඳ අපට කරුණු දැක්වූ අම්පාර පශු වෛද්‍ය නිලධාරි සුධීර ගවරම්මාන මහතා පවසන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ මේ රෝගය දැන් පාලනය කර ඇති බවයි.

මේ පිළිබඳ අදහස් දක්වන බස්නාහිර පළාත් පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය ශාන්ත ප්‍රදීප් කුමාර මහතා පවසන්නේ මෙම රෝගය දැනට බස්නාහිර පළාතෙන් පවතින බවයි.

“මේකට තවම එන්නතක් නැහැ. ඒත් තුවාලවලට දමන බෙහෙත් අපි කිරි ගොවීන්ට ලබාදීලා තිබෙනවා. සමහර බෙහෙත් අපි ගාව නැහැ. නමුත් අපි ගොවියන්ට ඒවා මිලදී ගැනීමට ලියලා දුන්නා. කෙසේ වෙතත් දැන් මේ රෝගය පාලනය වෙලා තිබෙන්නේ.” වෛද්‍ය ශාන්ත ප්‍රදීප් කුමාර මහතා පවසයි‍.

අලුත් සංඛ්‍යා ලේඛන අනුව අපේ රටේ සිටින කිරි ගොවීන් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවයි. නමුත් පිටරටින් අපේ රටට කිරි ගෙන්වීමට වසරකට රුපියල් කෝටි 557 වැයවේ‍. කිරි කර්මාන්තය දියුණු කර අපේ දේශීයකිරි වැඩිපුර ජනප්‍රිය කර ඉහත මුදල අපේ කිරි ගොවියන් අතට ලබා දෙන්නේ නම් එමඟින් අපේ කිරි ගොවියන්ගේ පමණක් නොව ශ්‍රී ලංකාවාසී සැමගේ පෝෂණයත් ආර්ථිකයත් තවත් සවිබල ගැන්වෙනු නොඅනුමානය.

 

Comments