ආර්ථිකයට අත දෙන ‘සංචා­රක බුබුළ’ | Page 2 | සිළුමිණ

ආර්ථිකයට අත දෙන ‘සංචා­රක බුබුළ’

සංචාරක ව්‍යාපාරයේ නියැළී සිටින මෙරට මිලියන තිහක ජනතාව ගේ සහ කඩා වැටුණු ආර්ථිකයට නව පණක් ලබා දෙමින්, මාස දහයක් පුරා වසා තැබුණු කටුනායක සහ මත්තල ගුවන්තොටුපළ පසුගිය 21ක් වැනි දා යළි ලොවට විවෘත වූයේ, මහත් බලාපොරොත්තු සහගතව ය.

ඒ අනුව සිකුරාදා දින තවත් යුක්රේන සංචාරකයන් 104 දෙනෙක් මත්තල ගුවන් තොටින් මෙරටට පැමිණියේය. අසීරු ක්‍රියා පටිපාටියකට මුහුණ දෙමින්, ඉදිරියට ගෙන යා යුතු සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් සංචාරක අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රසන්න රණතුංග, විෂය බාර අමාත්‍යවරයා පැවසූයේ 21ක් වැනි දා පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

"අපෙන් සංචාරකයන්ට හෝ සංචාරකයන්ගෙන් අපිට කොවිඩ් බෝවීම වළක්වා ගනිමින්, සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කිරීම අප හමුවේ ඇති විශාලම අභියෝගය යි. අභියෝගතා මැද වුවත් ගුවන්තොටුපළ විවෘත කිරීමේ රජයේ අරමුණ වන්නේ, කොවිඩ් පැතිරීමට පෙර තිබූ තත්ත්වයටත් වඩා හොඳින් මෙරට සංචාරක ව්‍යාපාරය යළි පණ ගැන්වීමයි. ඒ සඳහා, මේ රට සුරක්ෂිත බවත් ලොව ඕනෑම රටක සංචාරකයන් වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සූදානමින් බලා සිටින බවත්, අප ඔවුන්ට ආරාධනා කරන බවත් මා මේ මොහොතේ කියන්න කැමැතියි..."

කෙසේ වෙතත්, 2021 අවසන් වන විට මෙරටට පැමිණෙතැයි අපේක්ෂිත සංචාරකයන් ප්‍රමාණය මිලියන 1.5 කි. එපමණ ප්‍රමාණයක් අපේක්ෂා කළ ද ඔවුන්ට මෙරටට ඇතුළු වීම සඳහා දොරටු විවර වන්නේ, සංචාරකයින්ගේ මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවගේ ද සෞඛ්‍ය සහ ආරක්ෂාව මූලික කරගත් ආරක්ෂක වැඩපිළිවෙළ සහ ක්‍රියාමාර්ග ගණනාවක් ස්ථාපනය කිරීමෙන් අනතුරුවය. මේ ක්‍රියා පිළිවෙළ සම්බන්ධයෙන් සුවිශේෂීතම කරුණක් වන්නේ, සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ ගත කිරීමට අවශ්‍ය අවම දින ගණන පිළිබඳ නියමයක් නැති වීම සහ ඔවුන්ට නිරෝධායනය වීමකින් තොරව තමන් නවාතැන් ගන්නා හෝටලයේ පිහිනුම් තටාක, සම්භාහන මධ්‍යස්ථාන සහ ශරීර සුවතා මධ්‍යස්ථාන ඇතුළු සියලු පහසුකම් විඳීමට අවස්ථාව හිමි වීමයි.

එසේම සංචාරකයන්ගේ සහ සංචාරක ක්ෂේත්‍රයට අයත් වන සියලු පාර්ශ්වකරුවන් ගේ ආරක්ෂාව සඳහා පනවා ඇති වැදගත්ම විධිවිධානය වන්නේ, සංචාරකයන් 'ආරක්ෂිත සහ සුරක්ෂිත' ලෙස සහතික කර ඇති පළමු පෙළ හෝටලයක හෝ හෝටල් වල පළමු දින 14 ගත කිරීමයි. මේ ක්‍රමවේදය හරහා සංචාරකයන් පමණක් ඇතුළත් වන " ජෛව ආරක්ෂණ බුබුළක් " නමින් හැඳින්වෙන ආරක්ෂිත පරිසරයක් නිර්මාණය වන නිසා බාහිර සමාජයට ක්ෂේත්‍රයේ රැකියා කරන අයට හෝ අනෙකුත් සංචාරකයන්ට රෝග සම්ප්‍රේෂණයක් සිදු නොවීමයි. මේ ක්‍රියාදාමයට සම්බන්ධ වන හෝටල් සහ නවාතැන් පහසුකම් සපයන්නන්, සංචාරක නියෝජිත ආයතන හා සංචාරක මෙහෙය වන්නන් හට අදාළ සංචාරකයන් ජෛව ආරක්ෂණ බුබුළ උල්ලංඝනය නොකරන බවට තහවුරු කිරීමේ වගකීම පැවරී ඇත. එසේම, එම හෝටල්වල සංචාරකයින් ලැගුම් ගන්නා කාලය තුළ දේශීය සංචාරකයින්ට ඇතුළු වීමට අවසර නොලැබෙනු ඇත.

කෙසේ හෝ මෙතෙක් බිඳ වැටී තිබූ සංචාරක කර්මාන්තය, නොයෙකුත් බාධක, ගැටලු සහ අත්හදා බැලීම් මෙන්ම, විවිධ මත ගැටුම් මධ්‍යයේ, යළි නැඟිටින්නට වෙර දැරීම, රටක් ලෙස සතුටට පත්විය හැකි කාරණාවකි.

එහෙත් පෙර මෙන්, ජාත්‍යන්තර ප්‍රවර්ධන (Global promotions) කටයුතු සඳහා රට රටවල්වලට යා නොහැකි හෙයින්, සංචාරක ප්‍රවර්ධන අධිකාරිය, ඩිජිටල් ප්‍රමෝෂන් සහ සමාජ මාධ්‍ය ජාලා (Social media) භාවිතයෙන් මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාකාරකම් යොදමින් සිටින අතර, සංචාරකයන් ගෙන්වා ගැනීමේ දී ක්‍රියාත්මක කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශන, සංචාරකයාට සහ රටට හිතකර අයුරින් යාවත්කාලීන කර ඇති බව, සංචාරක මණ්ඩලයේ සභාපතිනි, කිමාර්ලි ප්‍රනාන්දු පවසයි.

සංචාරකයන්ගේ පැමිණීම්වල දී වගකීම් පැවරෙන ආයතන ලෙස, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ගුවන් තොටුපළ සහ ගුවන් සේවා අධිකාරිය, සංචාරක සංවර්ධන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය (සියලුම පාර්ශ්වකරුවන්) ක්‍රියාත්මක වන අතර, ජාත්‍යන්තර පැමිණීම්, විශේෂයෙන් වෙන්කර ගත් ගුවන් යානා, නියමිත කාලසටහනකට අනුව ධාවනය වන ගුවන් යානා හෝ පුද්ගලික ජෙට් යානා මගින් හෝ කටුනායක මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළවලට පැමිණිය හැකිය. ජාත්‍යන්තර සංචාරකයන්ගේ පැමිණීම තීරණය වන්නේ, පුද්ගලික රසායනාගාරවල පී.සී.ආර් පරීක්ෂණ ධාරිතාව අනුව වන අතර එය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යංශය විසින් ඒකාබද්ධව ගන්නා තීරණයකට අනුව සිදු කෙරේ.

ද්විත්ව පුරවැසියන් හෝ විදේශ ගමන් බලපත්‍රයක් සහිත ශ්‍රී ලාංකික කාලාත්‍රයන් හෝ විදේශ ගමන් බලපත්‍රයක් සහිත වාණිජ මඟීන් මෙම ජාත්‍යන්තර සංචාරක ගණයට අයත් වන අතර, ඔවුන් සියල්ලෝ මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශනය අනුගමනය කළ යුතු වේ.

එමෙන්ම, ගුවන් යානා කාර්ය මණ්ඩල සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රමෝපාය සම්බන්ධයෙන් ද සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා අධිකාරිය පූර්ව එකඟතාවකට පැමිණ තිබේ. ව්‍යාපාරික වීසා සඳහා මෙම මාර්ගෝපදේශන අදාළ නොවන අතර, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ජාත්‍යන්තර සංචාරකයන්ගේ පැමිණීම පිළිබඳ සියලු තොරතුරු අදාළ ගුවන් යානා පැමිණීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ අදාළ ප්‍රදේශය බාර සෞඛ්‍ය නිලධාරීන්ට දැනුම් දිය යුතුය.

මේ ආකාරයෙන්, වීසා කටයුතු, පිටත්වීම්වලට පෙර අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග, සංචාරක හෝටලයක් වෙන්කරවා ගැනීම, හෝටලයක නවාතැන් ගත යුතු අවම කාලය, සංචාරය කරන ස්ථාන සහ එහි ගමන් ගන්නා ආකාරය, පිටත්වීමට පෙර සිදුකරන පී. සී. ආර් පරීක්ෂණ, ප්‍රවාහන කටයුතු, සංචාරක මඟපෙන්වන්නන්, සංචාරක රියැදුරන් සහ සහායකයන්, රෝග ලක්ෂණ නොමැති වූවත්, පී. සී. ආර් පරීක්ෂණ ධනාත්මක වූ පුද්ගලයන්, රෝග ලක්ෂණ සහිත කොවිඩ් ආසාදිත පුද්ගලයන්, සංචාරයේ මුල් දින 14 තුළ දී වෙනත් තත්ත්ව සඳහා ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමවේද සහ කාර්යය මණ්ඩල කළමනාකරණය ඇතුළු සංචාරකයකු ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ සිට නැවත පිටත්ව යන තුරු ඊට ඇතුළත් වන සියලුම ක්‍රියාදාම සඳහා අවශ්‍ය නව මාර්ගෝපදේශන නීති රීති සකසා තිබේ.

විසි එක් වැනිදා ගුවන් තොටුපළ විවෘත වීමත්, සමඟ ම සංචාරකයන් පිළිගන්නට එහි වූ සූදානම පිළිබඳ ගුවන්තොටුපළ හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ජී. ඒ. චන්ද්‍රසිරි දැක්වූයේ මෙවැනි අදහසකි.

"විසි එක් වැනි දා පටන් අපි පහුගිය අවුරුද්දේ මාර්තු මාසයේ තත්ත්වයට යන්න පටන් ගත්තා. පිටරට සිට එන්න ගුවන් මගීන්ට අවස්ථාව ලැබෙනවා පරණ විදියටම, එනම් ගුවන් යානයේ සිට පියරේ එකට ගොඩ වී ඒ හරහා ගුවන් තොටුපළට ඇතුළු වන්න. ඒ වගේම, ඩියුටි ෆ්‍රී පහසුකම යටතේ බඩු භාණ්ඩ මිලදී ගන්න. ඉන්පස්සෙ ඔවුන්ට එළියට යන ක්‍රමවේද දෙකක් අප හඳුන්වා තිබෙනවා.

ඒ වගේම, එක ගුවන් යානයක මගීන් 75 බැගින් සහ මුදල් වැඩිපුර ගෙවා එන්නට කැමැති ඕනෑම දේශීය විදේශීය ගුවන් මගියකුට රටට ඇතුළු වීමේ ක්‍රමයකුත් මීට සාපේක්ෂව ක්‍රියාත්මක වනවා. එය තමයි bio bubble tourist හෙවත් සංචාරක බුබුළ නමින් හඳුන්වන්නේ.

මේ රටේ මිලියන 3 ක ජනතාව ගේ ආර්ථිකය කඩාවැටීම අවසන් කර, යළි නැගිටින්න හදන මේ මොහොතට දායක වෙන්න ලැබීම අපිටත් සතුටක්. රට වෙනුවෙන් අපි ඒ සියල්ලට සුදානම්..."

ගුවන්තොටුපළ විවෘත කිරීම තුළ වඩාත් සතුටට පත්වන පාර්ශ්ව අතරේ, සංචාරක මඟ පෙන්වන්නන්, ටුක් ටුක් රියැදුරන්, සෆාරි ජීප් රියැදුරන්, ඒරියා ගයිඩ්වරු, ෂෝෆාර් ගයිඩ්වරු,විසිතුරු බඩු නිර්මාණ ශිල්පීන්, නිෂ්පාදකයින්, ඇඳුම් මසන්නන්, බතික් නිර්මාණකරුවන්, සාප්පු හිමිකරුවන්... ඇතුළු විවිධ ජීවිකාවන් හි නිරත අති මහත් පිරිසක් සිටිති. ඒ සියල්ලන් නියෝජනය කරමින්, 'ජාතික සංචාරක වෘත්තිකයන්ගේ සංගමයේ' සභාපති, මහින්ද බ්‍රැන්ඩිගම්පොළ, අදහස් දැක්වූයේ මෙලෙසිනි.

"මෙතෙක් කල් සංචාරක ක්ෂේත්‍රයේ රැකියා කළ අප වෙනුවෙන් ජීවිත රක්ෂණයක් තිබුණේ නැහැ. නමුත් සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන්නන් හට එම පහසුකම හඳුන්වා දෙන්නට සංචාරක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. එය හොඳ දෙයක්. එයට කොවිඩ් පරීක්ෂණයත් ඇතුළත්. පළමු කොවිඩි රැල්ලේ දී සංචාරකයන් 30,000ක් රට තුළ සිර වුණා. ඒ අයට රැකවරණය දී සංග්‍රහ කළ ආකාරය නිසා, ඔවුන් අප most generous country කියන තැනට ලොව පුරාම පණිවිඩයක් රැගෙන ගියා.

යළි ඇරුණු ගුවන්තොටුපළ සමග උදාවන සංචාරක කර්මාන්තයේ ප්‍රබෝධය අතරේ, තවමත් නොවිසඳුණු ගැටලු කිහිපයක් පිළිබඳ, ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති, සනත් උක්වත්ත දැක්වූයේ මෙවැනි අදහසකි.

"අපි හැමෝම සංචාරක කර්මාන්තයේ සුබදායි අනාගතයක් බලාපොරොත්තු වුවත්, එය හිතන තරම් ඉක්මණින් උදා වන්නේ නැහැ. හෝටල් පිරෙන තරමට සංචාරකයන් එන දවසක් උදා වන තුරු, හෝටල් හිමියන් ලෙස අප මුහුණ පා සිටින බරපතළම ගැටලුව වන්නේ, කැබිනට් අනුමැතිය ලැබී ඇතත්, රජයේ සහන ණය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම පමා වීමයි. ඒ නිසා සේවක පඩි නඩි පිළිබඳ මහත් ගැටලුවකට අප මුහුණ පා තිබෙනවා. ඩොලර් බිලියන 5කට ආසන්න විදේශ විනිමයක් රටට ගෙන ආ හෝටල් ව්‍යාපාරය, හැමදාම මෙහෙම අකර්මණ්‍ය වෙන්න බැහැ. අභියෝග මධ්‍යයේ වුවත් ගුවන්තොටුපළ විවෘත කිරීම පිළිබඳ අප සතුටු වන්නේ ඒ නිසා."

Comments