අපල සපල | සිළුමිණ

අපල සපල

2021.01.24 සිට 2021.01.30 දක්වා

 මේෂ

ධන සම්පතක උරුමයක්

මේෂ ලග්නය හිමි ඔබට මෙම සතියේ චන්ද්‍රයා 02 - 03 - 04 - 05 යන ස්ථානවල ගමන් කිරීම නිසා ධන සම්පතක උරුමය සමඟ කිසියම් ආයෝජනයකට පෙලඹෙන සතියකි. ඉඩම් ලාභ නඩුහබ වලින් නිදහස්වීමට දියුණුවට අවකාශය ලැබීම යන කරුණු වලට හේතුයි. ඔබ උපන්නේ සඳුදා දිනක හෝ බ්‍රහස්පතින්දාවක නම් මෙම සුබය වඩාත් තහවුරු වන අතර සෙනසුරාදා අඟහරුවාදා දිනක උපන් අයෙක් නම් බාධා මැද වුවද ජයග්‍රහණය ස්ථිර වනු ඇත. දණහිස උරහිස ආශ්‍රිත උවදුරු හදිසි අනතුරු එළඹීමට ඉඩ ඇත.

 

වෘෂභ

යහපත් මානසික සුවය

වෘෂභ ලග්නය හිමි ඔබට මෙම සතිය ඉතා යහපත් මානසික තත්ත්වයකින් යුතුව කටයුතු කිරීමට අවස්ථාව උදා වෙයි. කරදර කම්කටොලු රැසකින් නිදහස් වීමට පුළුවන් වන අතර හිතවත් ඥාති සබඳතා වැඩි දියුණුවන සතියක් ද වෙයි. චන්ද්‍රයා 01 - 02 - 03 - 04 යන ස්ථාන වල ගමන් කිරීම නිසා බලා‍පොරොත්තු රැසක් ජය ගැනීමට හැකිවනු ඇත. රාත්‍රි කාලයේ නින්ද සීමා වන නමුත් විශාල වැඩ කොටසකට සිත යොමු කිරීමට ඉන් අවස්ථාව සැ‍ලසෙනු ඇත.

 

මිථුන

හදිසි ධන හානියක්

මිථුන ලග්නයට අනුව ඔබට සතිය ආරම්භය පිටස්තර අයකු නිසා ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන නමුත් සතිය මැද භාගයේ සිට යහපත් මානසිකත්වයෙන් කටයුතු කිරීමට හැකිවේ. ඔබ මෙතෙක් කරගෙන ආ ආදායම් ඉපයීමේ ක්‍රියා මාර්ගයක් අතරමග නවතාලීමට සිදු වුවද එම ආයෝජන ක්‍රියා මාර්ගවල නිරතවීමට අවස්ථාව උදා වේ. හදිසි මුදල් වියදමක් නිසා සිත් තැවුලකට පත්වීමට සිදු වුවද සතිය අවසාන භාගයේ යළි ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට ඔබට හැකිය. චන්ද්‍රයා මේ සතියේ ගමන් කරනුයේ 12 - 01 - 02 - 03 යන ස්ථානවලයි.

 

කටක

වාසනාවන්ත දරු සම්පත්

කටක ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මෙම සතිය දරු සම්පත් අපේක්ෂා කරන අයට වාසනාවන්ත දරු සම්පත් ද ඥාති හිත මිත්‍රාදීන්ගෙන් ඇප උපකාර ද ලැබෙන සතියකි. විවාහ ස්ථානගත කිසියම් සිත් තැවුලක් නිසා කණස්සලු ස්වභාවයෙන් ගත කිරීමට සිදු වුවද සතිය අවසන් වීමත් සමඟ එම තත්ත්වයන් සමනය කර ගැනීමට ඔබට හැකිවෙයි. චන්ද්‍රයා මෙම සතියේ 11 - 12 - 01 - 02 යන ස්ථානවල ගමන් කිරීම නිසා මෙම ස්වභාවයට හේතු වන අතර අනාගතය වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග රැසක් නිසා ඉදිරියට සුබවාදි වෙයි.

 

සිංහ

රැකියා අභිවෘද්ධිය

සිංහ ලග්නයට අනුව මෙම සතිය රැකියාගත අභිවෘද්ධිය සැලසෙනු ඇත. කිසියම් සතුරු බලවේගයක් හේතු කොටගෙන ආර්ථික පාඩුවකට හේතු විය හැකිය. තම වාසස්ථානගත මට්ටමේ සතුරු බාධා මෙන්ම ඉඩකඩම් අයිතීන් පිළිබඳ බාහිර පුද්ගලයන්ගේ මැදිහත්වීම් නිසා මෙම සතිය ඔබට කාර්ය බහුල එකක් වනු ඇත. තම සිතැඟි පරිදි කටයුතු කිරීම තමාට අවාසි සහගත නිසා තම හිතෛෂී පුද්ගලයන්ගේ අදහස් වලට කන්දී කටයුතු කිරීම වඩාත් නුවණට හුරු වෙයි.

 

කන්‍යා

කාර්ය බහුල සතියකි

කන්‍යා ලග්නයට අනුව චන්ද්‍රයා 09 - 10 - 11 - 12 යන ස්ථානවල ගමන් කිරීම නිසා ඔබ ගන්නා බොහෝ තීන්දු තීරණ අනාගත අභිවෘද්ධිය සඳහා හේතු වෙයි. නමුත් බොහෝ වෙහෙසවී කටයුතු කිරීමට සිදුවන අතර ඒවායේ ප්‍රතිඵල ඉතා ඉක්මණින් භුක්ති විඳීමට ඔබට හැකි වෙයි. ඔබ කිසියම් ආදර සම්බන්ධතාවක් නිසා සිත් තැවුලකට බඳුන් වීමට හේතු වේ. එහෙත් තම ආත්ම ශක්තිය දැඩි කරගෙන ඒවාට මුහුණ දීමෙන් සැනසීම උදාකර ගත හැකිය. තවද දරුවකුගේ බාහිර කටයුතු රැසක් නිසා කාර්ය බහුල වීමට හේතු වෙයි.

 

තුලා

පිටස්තර බලපෑම්

තුලා ලග්නය හිමි ඔබට මෙම සතිය ආරම්භයේදී කිසියම් බාධක තත්ත්වයක් උදාවේ. එහෙත් සතිය මැද භා‍ගයේ සිට යහපත්. ඒ බාධක තත්ත්වය මත හදිසි අනතුරු ස්වභාවයක් පෙන්වන අතර ඒ නිසාම මුදල් වැය වීමකටද හේතු වේ. තුනටිය උගුර ආශ්‍රිත මෙන්ම පපුවේ හතිය සෙම අධික වීම නිසා එළඹෙන රෝගවලට හේතුයි. නමුත් චන්ද්‍රයා 08 - 09 - 10 - 11 යන ස්ථාන පසු කරන නිසා විශේෂයෙන් පෙර කළ පින් මහිමයක් හේතුකොටගෙන සතුටුදායක ලැබීමකට ද හේතු වෙයි. තම විශ්වාසවන්ත අයකු සමඟ මිස වෙන පිටස්තර අයකු සමඟ කරන සාමූහික ව්‍යාපාර සුබ නැත.

 

වෘශ්චික

සවිමත් තීන්දු තීරණ රැසක්

වෘශ්චික ලග්නය හිමි ඔබට මෙම සතිය ආරම්භය සතුටුදායක වන අතර පිටස්තර ස්ථානයකදි හමුවන අයකු සමඟ පෙමින් බැඳීම නිසා සතිය මැද වන විට තම මානසික සුවය අවුල් කරන ස්වභාවයක් උසුලනු ඇත. එහෙත් ආර්ථික අතින් යහපත් සතියකි. චන්ද්‍රයා 07 - 08 - 09 - 10 යන ස්ථානවල ගමන් කිරීම නිසා ජීවිතයේ ඉතා සවිමත් තීන්දු තීරණ කීපයක් ගන්නා වකවානුවකි. ඉඩම් ප්‍රතිලාභයකට හේතු වුවද එය පවතින නීතිමය ගැටලුවක් නිසා නිකරුණේ රස්තියාදු වීම් හා මිල මුදල් වැය කිරීම් ද පෙන්වනු ඇත.

 

ධනු

ආදායමට වඩා වියදම

ධනු ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 06 - 07 - 08 - 09 යන ස්ථානවල ගමන් කිරීම නිසා සතිය පුරාවටම තම වාසස්ථානයෙන් දුර බැහැර යාමට හා ඒ ඔස්සේ කාර්ය බහුලතාවට පත්වීමට සිදුවනු ඇත. තම ආදායමට වඩා වියදම වැඩි වන නිසා ගැටලු කීපයකට මුහුණ දීමට සිදු වේ. තමා ගන්නා ආහාරයක් අගුණ වීමට පුළුවන. එහෙත් සතිය ඉක්ම යාමත් සමඟ බොහෝ සතුටුදායක අවස්ථා කීපයකට මුහුණ දීමට ද ආර්ථික ප්‍රතිලාභ රැසක් හිමි කර ගැනීමට ද ඔබට අවස්ථාව උදා වේ.

 

මකර

වාහන නිවාස ඉඩම් ලාභ

මකර ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව වාසනාවන්ත සතියකි. චන්ද්‍රයා මේ සතියේ 05 - 06 - 07 - 08 යන ස්ථාන පසුකර යාම නිසා වාහන නිවාස ඉඩකඩම් ලාභ හිමිකර දෙනු ඇත. තමාට ආයෝජන කීපයක් නිසා වාසි උදාවනු ඇත. කුස ආශ්‍රිත අජීර්ණ හා හිස ආශ්‍රිත සෙම් රෝග නිසා පීඩා විඳීමට සිදු වුවද ප්‍රවේශම් සහගත වුවහොත් එම තත්ත්වය මඟ හරවා ගැනීමට හැකිවේ. තමාට තම අසල්වැසි හිතවතුන් නිසා දියුණුවට හේතුවිය හැකි ව්‍යාපාරයකට අත පෙවීමට ඔබට අවස්ථාව උදා වේ.

 

කුම්භ

නිවැරදි තීරණ නිසා යහපත

කුම්භ ලග්නය හිමි ඔබට මෙම සතිය දරුවකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසී කැපවීමට සිදුවේ. එය සතුටුදායක කැපවීමක් වන අතර සමාජයේ බොහෝ කැපී පෙනීමට අවස්ථාව උදාවනු ඇත. චන්ද්‍රයා මෙම සතියේ 04 - 05 - 06 - 07 යන ස්ථානවල ගමන් කිරීම නිසා ආදායම් තත්ත්වය ද සුබවාදී වෙයි. තම සිතැඟි අනුව ගන්නා හදිසි තීන්දු තීරණ අවැඩ සහගත වුවත් ඉතා හොඳ සිහිකල්පනාවෙන් යුතුව ගන්නා නිවැරදි තීරණ කීපයක් නිසා ඉදිරියට යහපත් වෙයි. පපුව හා පාදයේ වළලුකරට අගුණ පළවන සතියකි.

 

මීන

දේපළක උරුමය

මීන ලග්නය හිමි ඔබට මෙම සතිය ආරම්භයේදීම තම මවු පාර්ශ්වයට අයත් දේපළක උරුමයක් පෙන්වයි. චන්ද්‍රයා මේ සතියේ 03 - 04 - 05 - 06 යන ස්ථානවල ගමන් කිරීම නිසා සතිය මුල් අවදිය සතුටුදායක වෙයි. සතියේ අවසන් දින දෙක තුන ඉතා ප්‍රවේශම් විය යුතුවෙයි. සොරසතුරු බිය හා ඒ සම්බන්ධව සෙවල්ලෙන් සිටීමට සිදුවේ. කෙසේ නමුදු තමාට කලක් තිස්සේ පැවති නීති ගැටලුවක් හෝ කලක් පවත්වාගෙන ආ නඩුවක් වැනි දෙයකින් නිදහස් වීමට හැකිවනු ඇත. යටිබඩ ආශ්‍රිත රෝගයක් මතුවීමට ඉඩ තිබේ.

Comments