රට පාලනයෙන් ලාභ ලබා ව්‍යාපාරිකයන් පැරදවූ රාජ්‍ය නායකයෝ | සිළුමිණ

රට පාලනයෙන් ලාභ ලබා ව්‍යාපාරිකයන් පැරදවූ රාජ්‍ය නායකයෝ

දේශපාලකයා සහ ව්‍යාපාරිකයා යනු එකම කාසියක දෙපැත්ත මෙනි. මේ වන විට එක් අතෙකින් දේශපාලනය යනු ව්‍යාපාරයක් වනවා මෙන්ම, ව්‍යාපාරවල නිරතවීමේදී දේශපාලනයෙන් ව්‍යුක්ත වීමද කළ නොහැකි තරම්ය. පසුගිය අවස්ථාවක අපි ලෝකයේ ධනවත්ම ව්‍යාපාරිකයන් සම්බන්ධව කතා බහ කළෙමු. අද අපි ඔබ වෙත ගෙන එන්නේ ලෝකයේ ධනවත්ම රාජ්‍ය නායකයන් පිළිබඳ තොරුතුරු කිහිපයකි.

මේ රාජ්‍ය නායකයන් අතරින් බොහෝ දෙනා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රටරටවල බලයට පැමිණි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝය. එහෙත් ඔවුන් අතරින් බොහෝ දෙනා බලයෙන් ඉවත් වන විට හෝ පහ කර දමන විට ලොව ධනවත් පුද්ගලයන් බවට පත්වී අවසන්ය. ධනවත් ව්‍යාපාරිකයන් ද දේශපාලනයට පිවිසි අවස්ථා ද නැතුවාම නොවේ. එබැවින් සියලු දෙනා එකම තරාදියේ ලා මැන බැලීම නොවටින්නේය.

දැනට ලෝකයේ රටවල් පාලනය කළ රාජ්‍ය නායකයන් අතරින් වැඩිම වත්කමක් හිමි පුද්ගලයා ලෙසින් ඉතිහාසයට එක්ව සිටින්නේ ලිබියාවේ හිටපු පාලක මුවම්මර් ගඩාෆිය. ප්‍රකාශ වී ඇති අන්දමට ඔහු සතුව පැවති වත්කම ඩොලර් බිලියන 200කි.

රටේ පැවති තෙල් නිධිවලින් මේ මුදල් උපයන්නට ඇති බව බටහිර මාධ්‍යවල පළවන අදහස් අනුව අනුමාන කළ හැකි අතර, ඔහුගේ වත්කම්වලින් වැඩි ප්‍රමාණයක් අදෘශ්‍යමාන බැංකු ගිණුම්වල තැන්පත් කර තිබූ බවට සැක පළ කෙරේ. 2011 වසරේදී ඇමරිකානු සහය සහිතව ගඩාෆි බලයෙන් පහ කළ අතර ලිබියාව මේ වන විටද පවතින්නේ අරාජික තත්ත්වයෙනි.

එතෙක් මෙතෙක් ලොව රටක් පාලනය කළ දෙවැනි ධනපතියා ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ගේ නම සඳහන්ය.

මේ වත්කම් හෙළිදරව් නොකරන බවද බටහිර මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දේ. කෙසේ වුවද ඇතැම් නිල ප්‍රවෘත්ති වාර්තාවල සඳහන් වන්නේ 2018 වන විට රුසියානු ජනාධිපතිවරයාගේ වැටුප පමණක් රූබල් මිලියන 8.6ක් වූ බවයි.

ලොව තෙවැනි ධනවත්ම පාලකයා බවට පත්ව ඇත්තේ 2011දී ගඩාෆිට සමගාමීව බලයෙන් පහකළ ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක්ය. එම වසරේදී බලයෙන් පහ කරන විට මුබාරක් වසර 30ක් ඊජිප්තුවේ නායකයා ලෙස කටයුතු කර තිබිණි. ඔහු බලයෙන් පහ වන විට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 70ක් ලෙස සඳහන් විය.

1990 සිට 2012 දක්වා යේමනය පාලනය කළ අබ්දුල්ලා සලාහ් ද ලොව ධනවත්ම රාජ්‍ය නායකයන්ගේ ලැයිස්තුවේ සිවුවැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව සිටින්නේය. අරාබි වසන්තය යටකේ සිදුවූ උද්ඝෝෂණ හේතුවෙන් ඔහුටද 2011 වසරේදී බලයෙන් ඉවත් වීමට සිදුවූ අතර 2015 වසරේදී එක්සත් ජාතීන්ගෙ ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශයට පත් කර සිටියේ ඔහුගේ සම්පූර්ණ වත්කම ඩොලර් බිලියන 64ක් බවයි.

වසර 31ක් පුරා ඉන්දුනීසියාව පාලනය කර 1998දී බලයෙන් ඉවත්වූ සුහර්තෝද බිලියනපතියෙකි. ඔහුගේ සම්පූර්ණ වත්කම ඩොලර් බිලියන 55ක් ලෙස සඳහන් වේ.

ලෝක ප්‍රකට ජනාධිපති ආර්යා ඉමෙල්ඩා මාකොස්ගේ ජනාධිපති සැමියා වන ෆර්ඩිනන්ඩ් මාකෝස් ලොව සය වැනි ධනවත් රාජ්‍ය නායකයාගෙ ස්ථානය හිමි කරගෙන සිටින්නේය.

1972 සිට 1986දක්වා පිලිපීනය පාලනය කළ මාකොස්ගෙ වත්කම ඩොලර් බිලියන 53.5ක් ලෙස ප්‍රකාශයට පත්ව ඇත. ඔහු බලයෙන් පහවීමෙන් පසුව මේ මුදල් අස්ථාන ගතවී ඇති බවද වාර්තා වේ.

ආසියාවේ කීර්තිමත් රාජ්‍ය නායකයකු ලෙස ප්‍රසිද්ධියක් උසුලා සිටින මැලේසියාවේ මහතීර් මොහොමඩ්ද ධනවත් රාජ්‍ය නායකයන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටීමට හැකියාව ලබා සිටින්නේය.

ප්‍රථම වරට 1981 සිට 2003 දක්වාත්, දෙවැනි වර 2018 සිට 2020 මාර්තු දක්වාත් මැලේසියාව පාලනය කළ මහතීර් මොහොමඩ්ගේ වත්කම ඩොලර් බිලියන 45ක් ලෙස සඳහන්ය. මේ වන විට 95වැනි වියේ පසුවන මහතීර් ඔහුගේ මුදල් ලොව පුරා බැංකු 50ක ආයෝජනය කර ඇති බවද වාර්තා වේ.

නයිජීරියාවේ හිටපු රාජ්‍ය නායකයකු වන ඊබ්‍රාහීම් බබන්ගිදා ද ඩොලර් මිලියන 22.7ක වත්කමකට හිමිකම් කීවේය. ඇන්ගෝලාවේ හිටපු ජනාධිපති ජෝසේ එඩුවාර්ඩෝ දොන් සැන්චෝස්ගේ වත්කම ඩොලර් බිලියන 20ක් විය. මොබුටු සෙසේ සෙකෝ ඉතා දුගී රාජ්‍යයක් වන සයරේහි රාජ්‍ය නායකයා ලෙස කලක් සේවය කළ අතර ඔහුගේ වත්කම ඩොලර් බිලියන 12ක් විය.

එහෙත් ව්‍යාපාරික පවුලක ඉපිද දක්ෂ ව්‍යාපාරිකයකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ හිටපු ඉතාලි නායක සිල්වියෝ බර්ලුස්කෝනිගේ නමද ලෝකයේ ධනවත් රාජ්‍ය නායකයන් අතරට එක්ව තිබෙන බව කිව යුතුය. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 9කි. මේ අතරින් අති බහුතරය ඔහු දේශපාලනයට පිවිසීමට පෙර සිටම උපයා තිබූ බව සඳහන් කළ යුතුය.

2014 වසරේදී නිකුත් වූ වාර්තා චිත්‍රපටයකදී ප්‍රකාශ වූයේ මීට සියවසකට පෙර මියගිය ජර්මන් නායක ඇඩොල්ෆ් හිට්ලර් සතුව වත්කම් රැසක් පැවති බවත්, එය අද වටිනාකම අනුව තක්සේරු කළහොත් ඩොලර් බිලිය න6.5ක් පමණ වනු ඇති බවත්ය.

ධනවත් රාජ්‍ය නායකයන්ගේ ලැයිස්තුවට දෙවැනි වරටත් නයිජීරියාවේ නම එක් කරන්නේ එරට හිටපු නායක සානි අබාචාය. ඔහුගේ වත්කම ඩොලර් 6.3කි. උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් සතුව ඩොලර් බිලියන 5ක වත්කම් පවතින බව ප්‍රකාශ වන අතර පසුගියදා බලයෙන් ඉවත් වූ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ වත්කම ඩොලර් බිලියන 4.5කි. ඔහුද මේ වත්කම් දේශපාලනයට ප්‍රවිෂ්ට වීමට පෙර සිටම උපයා තිබූ බව සඳහන් කළ යුතුය.

ඉන්පසුව උතුරු කොරියාවේ හිටපු නායක කිම් ජොන්ග් ඉල්ගේ නම සඳහන් වන්නේ ඩොලර් බිලියන 4ක වත්කමක්ද සමඟිනි.

ස්පාඤ්ඤයේ හිටපු නායක ෆ්රැන්සිස්කෝ ෆ්රැන්කෝ සතුව ඩොලර් බිලියන 3.8ක වත්කම් තිබූ බව වාර්තා වන අතර, අසර්බයිජානයේ හිටපු නායකයා සතුව ඩොලර් මිලියන 3ක වත්කම් විය.

කෙන්යාවේ හිටපු ජනාධිපතිවරයකු වන ඩැනියෙල් අරිප් මොයිද ඔහු හා සමව සිටින්නේ ඩොලර් බිලියන තුනක වත්කම් සමගිනි. ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන් සතුව ඩොලර් බිලියන 2.8ක වත්කම් තිබූ බව බටහිර මාධ්‍ය ප්‍රකාශ කර තිබේ. ඔහු සමඟ සමවන්නේ චිලියේ හිටපු පාලක සෙබස්තියන් පිනේරාය.

2003 සිට 2013 දක්වා චීනය පාලනය කළ වෙන් ජියාබාඔද ධනවත් රාජ්‍ය නායකයන්ගේ ගොඩට අයත්ය. 2012 වසරේදී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ලිපියක් මගින් ප්‍රකාශ කර සිටියේ ඔහුගේ වත්කම ඩොලර් බිලියන 2.7ක් වන බවය.

සිරියාවේ හිටපු නායක බෂිර් අල් අසාද්, සිම්බාබ්වේ හිටපු නායක රොබට් මුගාබේ, ඉරානයේ හිටපු නායක අක්බාර් හෂේමි රෆ්සන්ජානි, යන හිටපු රාජ්‍ය නායකයෝද ඩොලර් බිලියන 2කට වඩා වත්කම් සහිත බව ප්‍රකාශිතය.

අවසානයේ ලියා තැබිය යුත්තේ බොහෝ දෙනා මීයක් කඩන්නේ අත ලෙවකෑමට නොවන බවය.

 

• ටිරෝනි වෑවලගේ

 

Comments