පළමු තෘණ­මය ගව ආහාර නිෂ්පා­ද­නය ව්‍යාපෘ­ති­ය­කට නෙස්ලේ අත දෙයි | Page 2 | සිළුමිණ

පළමු තෘණ­මය ගව ආහාර නිෂ්පා­ද­නය ව්‍යාපෘ­ති­ය­කට නෙස්ලේ අත දෙයි

නෙස්ලේ සමාගම වයඹ පළාතේ පළමු වාණිජ තෘණමය ගව ආහාර ව්‍යාපාරය සඳහා පහසුකම් සලසමින්, දේශීය කිරි ගොවීන්ට ඉහළ ගුණාත්මක කිරි අස්වැන්නක් වෙනුවෙන් උසස් තත්ත්වයේ සත්ත්ව ආහාර හා ශීතකරණ පහසුකම් සලසා දෙයි.

කිරි ගොවීන්ට උසස් තත්ත්වයේ ගව ආහාර (තෘණ) අඛණ්ඩව ලබාගැනීමේ සහ දේශීය කිරි නිෂ්පාදනයේ ගුණාත්මක භාවය හා සැපයුම් වර්ධනය කිරීමේ පියවරක් වශයෙන්, වයඹ පළාත තුළ පළමු තෘණමය ගව ආහාර නිෂ්පාදනය කිරීමේ වාණිජ ව්‍යාපෘතියකට නෙස්ලේ සමාගම පසුගියදා පහසුකම් සැලසුවේය. ඒ අනුව එම ප්‍රදේශයේ ජීවත්වන ගොවි මහතකු හා ව්‍යවසායකයකු වන ආර්.එම්. පද්මසිරිට මාසිකව කිලෝ ග්‍රෑම් ලක්ෂයකට අධික තෘණමය ගව ආහාර නිපදවීම සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික පුහුණුව නෙස්ලේ සමාගම පිරිනමයි. බොහෝ ශ්‍රී ලාංකික කිරි ගොවීන්ට වසර පුරා ප්‍රමාණවත් ගව ආහාර සොයා ගැනීමේ විශාල දුෂ්කරතාවක් පවතී. එවන් පසුබිමක පද්මසිරිගේ නව ව්‍යාපාරය තුළින් ප්‍රදේශවාසී නෙස්ලේ කිරි ගොවීන්ට දැරිය හැකි මිලකට, උසස් තත්ත්වයේ ගව ආහාර අඛණ්ඩව ලබාගැනීමේ හැකියාව උදා වී තිබේ. Market-Oriented Dairy (MOD) ව්‍යාපෘතිය මගින් මෙම වැඩසටහනට අවශ්‍ය තාක්ෂණික උපදෙස් හිමි වේ.

මෙම ව්‍යාපෘතිය එළිදැක්වීමේ අවස්ථාවේදී කිරි ගොවීන්ට කුඩා ශීතකරණ (mini coolers) පිරිනැමීමට ද නෙස්ලේ සමාගම ක්‍රියා කළේය. වෙළෙඳපොළේ පවතින වඩාත් සැහැල්ලු‍, ජංගම සහ වැඩි ම බලශක්ති කාර්යක්ෂමතාවකින් යුත් මෙම කුඩා ශීතකරණවලට වැය වන්නේ ඉතා ම අඩු විදුලි ප්‍රමාණයකි. එම නිසා කිරි ගොවීන්ට තම කිරි නිෂ්පාදනයේ ගුණාත්මක භාවය මෙන්ම දවසට දෙවරක්, උදේ සහ සවස කිරි ලබාගැනීමෙන් කිරි නිෂ්පාදනය වැඩි කිරීමටත්, සවස රැස් කරන කිරි පසුදින උදෑසන නෙස්ලේ මගින් ලබාගන්නා තෙක් සෙල්සියස් අංශක 4ක ප්‍රශස්ත උෂ්ණත්වයේ තබාගැනීමටත්, මෙම කුඩා ශීතකරණවලින් ලැබෙන්නේ විශාල සහායකි. එසේ දවසට දෙවරක් කිරි ලබාගැනීමට හැකිවීමෙන් කිරි ගොවීන්ගේ ආදායම ද දියුණු වේ.

නෙස්ලේ, වටිනා උපකරණ හා ඖෂධ පිරිනමන අතර කිරි ගොවීන්ගේ සංවර්ධනය වෙනුවෙන් මූල්‍යාධාර ද රජයේ සහයෝගයෙන් නොමිලේ ජංගම පශු වෛද්‍ය සායන ද සංවිධානය කෙරේ.

Comments