විවිධ රසට මාළු හදමු | සිළුමිණ

විවිධ රසට මාළු හදමු

බේක්ඩ් ෆිෂ්

අවශ්‍ය ද්‍රව්‍ය

සෝදා පිරිසුදු කර ගත් තිලාපියා හෝ

ගල් මාළු වර්ගයක්

දියකර ගත් බටර් මේස හැඳි 5ක්

දෙහි යුෂ මේස හැඳි 3ක්

හොඳින් තලා ගත් සුදු ලූනූ බික් හතරක්

සීනි තේ හැඳි 2ක්

ගම්මිරිස් තේ හැන්දක්

චොප් කරගත් පාස්ලි මේස හැඳි 2ක්

ලුණු

පාන් කුඩු කෝප්පයක්

 

බඳුනකට බටර්, සීනි, සුදු ලූනූ, ගම්මිරිස්, දෙහි සහ ලුණු මිශ්‍ර කර එයටම පාස්ලි කලවම් කරගන්න. මාළුවා තැනින් තැන දෙපැත්තේම පිහියෙන් වෙන් නොවන සේ ඉරි කපා සාදාගත් මිශ්‍රණය ගෙන මාළු මත හොඳින් තවරා විනාඩි 30ක් පසෙකින් තබාගන්න. පසුව මාළු පාන් කුඩුවල හොඳින් දවටා, තෙල් තැවැරු ට්‍රේ එකක අතුරා සෙල්සියස් 200ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 10-15ක් බේක් කරන්න.

 

 

ෆිෂ් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බා පොඩිකර ගත් තලපත් හෝ තෝර මාළු ග්‍රෑම් 350ක්

තම්බා පොඩිකර ගත් ලොකු අල ගෙඩියක්

චොප් කරගත් පාස්ලි මේස හැන්දක්

බටර් මේස හැන්දක්

බිත්තරයක්

තලා ගත් පොඩි ලූනු ගෙඩියක්

ලුණු

ගම්මිරිස්

තෙල් ස්වල්පයක්

 

බඳුනකට මාළු සහ අල සමඟ අනෙකුත් සියලු ද්‍රව්‍ය එක්කර තලපයක්වන තෙක් හොඳින් මිශ්‍ර කරගන්න. දැන් මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන පැතලි රවුම් හැඩයට සාදා යාන්තමට තෙල් දමා ගත් පෑන් එකක දෙපැත්ත රන්වන් පාට වනතෙක් බැඳගන්න.

 

 

කේරළ මාළු කරිය

අවශ්‍ය ද්‍රව්‍ය

කැමති වර්ගයක මාළු ග්‍රෑම් 500ක්

මිරිස් කුඩු මේස හැන්දක්

කහ තේ හැඳි 1/2ක්

අබ තේ හැඳි 1/2ක්

කොත්තමල්ලි කුඩු මේස හැඳි 1/2ක්

තලා ගත් උළුහාල් ඇට කිහිපයක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4ක්

සියඹලා ඇට හතරක ඉස්ම

ලූනූ ගෙඩි බාගයක්

තලාගත් ඉඟුරු ස්වල්පයක්

තලාගත් සුදු ලූනූ බික් තුනක්

කරපිංචා ඉත්තක්

ලුණු ස්වල්පයක්

වතුර කෝප්ප 1 1/2ක්

තෙල් ස්වල්පයක්

 

මිරිස්, ගම්මිරිස් කුඩු, කහ, උළුහාල්, කොත්තමල්ලි හා වතුර ස්වල්පයක් එක් කර ගුලියක් සාදා තබා ගන්න.

මැටි බඳුනකට තෙල් දමා රත් වූ විට එයට අබ ඇට දමා පුපුරන විට ලූනූ, සුදුලූනූ, ඉඟුරු සහ කරපිංචා එකතු කරන්න. ලූනූ රන්වන් පාට වෙන තෙක් තෙම්පරාදු වූ පසු සාදා ගත් ගුලිය එක් කර මඳ ගින්නේ විනාඩි කිහිපයක් හොඳින් මිශ්‍ර කරගන්න. වතුර එකතු කර එයටම සියඹලා සහ රස අනුව ලුණු එක් කරගන්න. දැන් මඳ ගින්දරෙන් උතුරන විට මාළු කැබලි දමා හොඳින් මිශ්‍ර කර පියනකින් වසා පිසෙන්න හරින්න. මාළු කැබැලි තැම්බුණු පසු පියන හැර කරිය උකු වන තෙක් හිඳගන්න.

 

 

ෆිෂ් ටික්කා මසාලා

අවශ්‍ය ද්‍රව්‍ය

කෑලි කැපූ මාළු ග්‍රෑම් 400ක්

මිරිස්කුඩු තේ හැඳි 1/2ක්

කහකුඩු තේ හැඳි 1/4ක්

කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2ක්

ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2ක්

කොත්තමල්ලි ඇට තේ හැන්දක්

සූදුරු තේ හැඳි 1/2ක්

සිහින්ව කැපූ ලූනූ ගෙඩියක්

කපාගත් තක්කාලි ගෙඩි 3ක්

පොල් තෙල් ස්වල්පයක්

තල තෙල් මේස හැන්දක්

කරදමුංගු ඇට 2ක්

කුරුඳු කොළයක්

ඉඟුරු සුදු ලූනූ පේස්ට් තේ හැන්දක්

මිරිස්කුඩු තේ හැන්දක්

මිටිකිරි කෝප්ප 1/4ක්

ලුණු

දෙහි යුෂ ස්වල්පයක්

වතුර කෝප්ප 1/2ක්

 

මාළුවලට ලුණු, ගම්මිරිස්, මිරිස්, කහ, කොත්තමල්ලි හා දෙහි යුෂ දමා පැයක් පමණ තබන්න. දැන් තෙල් දමා රත් වූ පෑන් එකක මාළු බැද කරගන්න. බැදුණු මාළු වෙනත් බඳුනකට ඉවත් කර පෙර පෑන් එකටම කොත්තමල්ලි, සූදුරු, ලූනූ දමා තෙම්පරාදු කරගන්න. රස අනුව ලුණු හා තක්කාලි එක් කර තක්කාලි තැම්බෙන විට ලිපෙන් බා නිවුණු පසු ග්‍රයින්ඩ් කරගන්න. පෑන් එකකට පොල්තෙල් හා තලතෙල් එක්කර කරදමුංගු, කුරුඳු, ඉඟුරු සුදු ලූනූ දමාටිකකින් මිරිස්කුඩු එකතු කරන්න. මඳ වේලාවකින් කලින් සාදා ගත් පේස්ට් එක දමා වතුර එකතු කරන්න. දැන් බැදගත් මාළු එක් කර මිටිකිරි දමා උතුරවගන්න

 

Comments