මේ ආපු ට්‍රැක් එක බිඳින්න ඕනේ | සිළුමිණ

මේ ආපු ට්‍රැක් එක බිඳින්න ඕනේ

නිර්මාණකරුවොත් මට ඒ අභියෝගය දෙන්න ඕනේ

උත්සාහ කළොත් කොටු වෙන්නේ නැතිව බේරෙන්න පුළුවන්

 

මෞලි දුෂ්මන්ත ෆර්ඩිනෑන්ඩු රංගනයට එකතු වන්නේ ළමා නළුවෙක් ලෙසයි. දායක වූ නිර්මාණ කිහිපයෙන්ම රංගනයේ සුවිශේෂි ලකුණු තබන්න ඔහු සමත් වුණේ සම්මානනීය වූ රංගන ශිල්පියෙක් ලෙසයි. කාලෙකට සැරයක් මතක හිටින රංගනයකින් මුණගැහෙන මෞලි මේ දිනවල යළි ‘මහපොළොව‘ ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂකයන් අතරට එනවා.

 

මෞලි නව නිර්මාණයේ ඔබේ වෙනස ගැන කතා කරමු නේද ?

සුමිත් රත්නායක අධ්‍යක්ෂණය කරන ‘මහපොළොව‘ නාට්‍යයේ ප්‍රධාන චරිතයකට එකතු වෙන්න මට අවස්ථාව ලැබුණා. ‘ජයසේන‘ කියන ඒ චරිතය කතාවේ මුල සිට අවසානය දක්වා අවධි තුනක් යටතේ දිග හැරෙනවා. මට මෙතෙක් ලැබුණු චරිත එක්ක මේ චරිතය විශේෂයි. එය තරමක අභියෝගයක්.

මොනවද ඒ චරිතය තුළ ඔබට අත්විඳින්නට සිදු වූ අභියෝග ?

අපිට සාමාන්‍යයෙන් දෙබසක් විවිධාකාරයෙන් කියන්න පුළුවන්. නමුත් ‘මහපොළොව‘ නාට්‍යයේ ජයසේනගේ චරිතයට බලපාන කාරණා අනුව එයින් පිට පනින්න බැහැ. දෙබස් ව්‍යවහාරය වෙනස්. දෙබස් පාඩම් කරලා ඒ චරිතයට අවශ්‍ය හැඟීම දීම ලොකු අභියෝගයක්. මේ නාට්‍යයේ වැඩ කරන්න එකතු වුණු හැමෝගේම සහාය ඇතිව ඒ චරිතයට සාධාරණයක් කරන්න මම උත්සාහ කළා.

මෞලි කාලෙකට පසුවයි ප්‍රධාන තලයේ නිර්මාණයකට දායක වෙන්නේ?

‘තාත්තා‘ ටෙලි නාට්‍යයෙන් පස්සේ මම ලලිත් රෝහිත අයියා අධ්‍යක්ෂණය කළ ‘තට්ටු දෙකේ ඉස්කෝලේ‘ චිත්‍රපටයට සම්බන්ධ වුණා. එය මේ වසරේ අගෝස්තු මාසෙදි ප්‍රේක්ෂකයන් අතරට ගේන්න නියමිතයි. මෙය පුංචි තිරයේ කාලෙකට පස්සේ තවත් එක් මුණගැසීමක්.

ඔබව නැවත පුංචි තිරයෙ දකිද්දි ප්‍රේක්ෂකයෝ කොහොමද භාරගත්තේ ?

උණුසුම් ප්‍රතිචාර ලැබුණා. ආයෙත් හොඳ නිර්මාණයකින් දැකීම සතුටක් වගේම ගමේ චරිතම නොකර අනෙක් චරිතවලටත් එන්න, හැඟීම්බර චරිත හැර වෙන චරිතත් කරන්නකො යැයි කියපු අයත් හිටියා.

ඒ කිව්වා වගේ මෞලි බොහෝ වෙලාවට දකින්න ලැබෙන්නේ හැඟීම්බර චරිත ඔස්සේ ?

භාව ප්‍රකාශනය වැඩි චරිතවලටයි වැඩි අවස්ථාව ලැබුණේ. නිර්මාණයක් තෝරා ගනිද්දි එහි ගුණාත්මක භාවය ගැන මම සැලකිලිමත් වෙනවා. වාණිජ හෝ කලාත්මක කියලා බේදීමක් මගේ නැහැ. හැබැයි ඉමක් කොනක් නැති මෙගාවලට සම්බන්ධ වෙන්න නම් කැමැත්තක් නැහැ. නමුත් මට මේ ආපු ට්‍රැක් එක බිඳින්න ඕනේ. වෙනස් චරිත කරන්න මම කැමැතියි. ටෙලි චිත්‍රපට දෙක තුනක එවැනි චරිත ලැබුණා.

ඒ රාමුවෙන් පිට යන්න පහසු වෙයිද?

මටත් රාමුවෙන් පිටට යන්න අවශ්‍ය නිසා මම උත්සාහ කළොත් කොටු වෙන්නේ නැතිව බේරෙන්න පුළුවන්. හැබැයි එය අභියෝගයක්. නිර්මාණයක ගුණාත්මක බව ඉහළින්ම නොතිබ්බත් ලැබෙන චරිතවලින් මගේ හැකියාව පෙන්වා මට එවැනි චරිතත් කරන්න පුළුවන් යන්න ඔප්පු කරන්න මට අවශ්‍යයි. ඒකට නිර්මාණකරුවොත් මට ඒ අභියෝගය දෙන්න ඕනේ.

නිර්මාණකරුවෝ ඒ අභියෝගය බාර ගනීවිද ?

‘පැරීසියට යන පාර‘ නිර්මාණයේ මට එවැනි වෙනස් චරිතයක් ලැබුණා. නමුත් මගදි එය නතර වුණු නිසා මට ඒ චරිතය මගහැරුණා. පසුව අධ්‍යාපන කටයුතු නිසා නිර්මාණ මගහැරුණා.

මෞලි දැන් නීතිඥවරයෙක් නිසාම තෝරා ගැනීම්වලට වාරණ වැඩි ඇති?

වෘත්තීමය ජීවිතයට හානියක් නොවන නිර්මාණ තෝරා ගන්න මට සිදු වේවි.

කලාව හා නීතිය කියන්නේ අන්ත දෙකක් වගේ ?

ඔය දෙකම එක වගේ තිබ්බා නම් මෙලෝ රහක් නැහැ. දැන් මට ඒ රහ දැනෙනවා. දෙයක් ඒකාකාරි ලෙස දැනෙද්දි අනෙක් කොටස මට හරි ප්‍රයෝජනවත්. මම නළුවෙක් වුණේ නිතරගයකින් ගෙදර තිබ්බ වටපිටාව එක්ක. නීතී ක්ෂේත්‍රය නම් මගේ තෝරා ගැනීම.

කලාව වෘත්තිය ලෙස තෝරා නොගන්න බලපෑ හේතු තිබුණද ?

මගේ වෘත්තිය ලෙස නීතිඥ වෘත්තිය තෝරා ගෙන තිබෙනවා. කලාව මගේ විනෝදාංශයක්, මාව සන්සුන් කරන මාධ්‍යක්. මම වෘත්තීමය නළුවෙක් වුණා නම් කාලා ඇදලා මේ සමාජයේ නළුවෙක් ලෙස නඩත්තු වෙන්න ලොකු වෙහෙසක් දැරිය යුතුයි. වෘත්තිමය නළුවෙක් වුණා නම් මට ප්‍රතිපත්තිමය කාරණා පැත්තක තියන්න වෙනවා.

කලාව තුළ ඔබට වෙනත් අරමුණු නැහැ කියලද කියන්නේ ?

මම කලාවේ මේ තැනට යන්න ඕනේ කියන අරමුණු තිබුණු කෙනෙක් නෙවෙයි. නමුත් කරන දේ හරියට කරන්න උත්සාහ කළා. ඒ වෙනුවෙන් සම්මාන ලැබුණා. ඒ ගැන සතුටුයි. මේ මොහොතේ සතුටින් ජීවත් වෙන්න තිබ්බොත් ඇති. ඔය අතරේ අධ්‍යක්ෂණයටත් හීනයක් තියෙනවා. ඒ වෙනුවෙන් පිටපතකුත් ලියමින් ඉන්නේ.

මෞලි ඒ හීන අතර විවාහය ගැන හීනයක් නැතිද?

විවාහයට දැන් මගේ කල වයස හරි කියලා මවුපියන් කිව්වත් ඔවුන් මගේ ජිවිතේ කිසිම දේකට බලපෑම් කරලා නැහැ. මම පෙම්වතෙක් නෙමෙයි. අවශ්‍ය හරි කෙනා එනකල් මම ඉන්නවා.

Comments