මම කිසිම දෙයකින් උඩ යන කෙනෙක් නෙමෙයි | Page 2 | සිළුමිණ

මම කිසිම දෙයකින් උඩ යන කෙනෙක් නෙමෙයි

ඕනවට වඩා අපේ සාර්ථකත්වය ඔළුවට දාගත්තොත් ඒක අපිටම නරකට හිටින්න පුළුවන්

 

මට ඉස්සර හරි උණක් තිබ්බා ස්වාධීන වෙන්න. දැන් ඒ ස්වාධීනත්වය ඉබේම ලැබිලා

ෆොන්සේකා පවුලේ පුරුකක් වුණු සෙනාලි ෆොන්සේකා සිනමාවෙන් කලඑළි බැහැලා ජනාදරය දිනාගත්තා වගේම පසුකාලීනව පුංචි තිරයටත් පෑහුණා. ඇයව සිනමාවෙන් අන්තිමට මුණ ගැහුණේ ‘විජයබා කොල්ලය‘ චිත්‍රපටයෙන්. ඇගේ ජීවිතයේ ශක්තිය වූ ආදරණීය පියාණන්ගේ නොහිතපු නික්ම යාම නිසා සෙනාලි කලා කටයුතුවලට පුංචි විරාමයක් තිබ්බා. නමුත් ඒ තැබූ විරාමය අවසන් කරමින් සෙනාලි යළි ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්.

 

සෙනාලි ‘නාඩගම්කාරයෝ‘ එක්ක පටන් ගත්ත ඇයි හොඳයිය මොකක්ද කියලා මුලින්ම කියමු?

‘හාරකෝටිය‘ ටෙලි නාට්‍යයෙන් පස්සේ මම සම්බන්ධ වෙන අලුත්ම නාට්‍ය තමයි ‘නාඩගම්කාරයෝ‘ කියන්නේ. පුංචි තිරයේ වැඩවලින් මම ටික කාලයක් නිහඬ වෙලයි හිටියේ. දැන් ඒ නිහඬතාව බිඳලා ‘නාඩගම්කාරයෝ‘ ටෙලි නාට්‍යයේ පාඨලිගේ චරිතයෙන් ආයෙත් ප්‍රේක්ෂකයන් අතරට එනවා.

 

කොහොමද ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර?

දැනට චරිතයේ දැකපු දේවල් එක්ක ප්‍රේක්ෂකයන්ගේ ආදරණීය ප්‍රතිචාර තියෙනවා. චරිතය දිග හැරෙන විදිහත් එක්ක ඉදිරියට තව ප්‍රතිචාර වැඩි වේවි යැයි හිතනවා.

 

සෙනාලි නිර්මාණවල අඩුවෙන් දකින්නේ තේරීම් වැඩි නිසාද?

හැම තිස්සෙම නිර්මාණවල දකින්න නැති වුණත් මම කාර් ‍යබහුලයි. මම හැම වෙලාවෙම කැමැතියි මතක හිටින හොඳ චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්න. වෙනස් චරිත සෙවීමේ උත්සාහය එක්ක එන තෝරාගැනීම නිසයි බොහෝ වෙලාවට නිතරම නොදකින්න විශේෂම හේතුව.

 

එහෙම නැතුව සෙනාලිට ලැබෙන ආරාධනාවල මදි පාඩුවක් නෙමෙයි නේද?

මම එංගලන්තයේ ඉන්නේ කියලා හිතපු සමහර අවස්ථාවල නිර්මාණ මගහැරිලත් තියෙනවා. එක චරිතයක් වෙනුවෙන් අවුරුදු ගාණක් කොටු වෙන්නත් මම ආස නැහැ.‘නාඩගම්කාරයෝ‘ කියන්නෙත් මම සම්බන්ධ වෙන දෙවැනි මෙගා නාට්‍ය.

 

සිනමාවේ අලුත් වැඩකට සම්බන්ධ වුණේ නැද්ද?

කොරෝනා ප්‍රශ්නය නිසා සිනමාවේ අලුත් වැඩවලට සම්බන්ධ වුණේ නැහැ. කරන්න හිටපු නිර්මාණත් කල් ගියා. මම සම්බන්ධ වුණු ‘ප‍රෙස්සමෙන් ඉන්න‘, ‘කබඩි‘,‘එකගෙයි සොකරි‘,‘යාත්‍රා‘ කියන චිත්‍රපට මේ අවුරුද්දේ බොහෝ වෙලාවට ප්‍රේක්ෂකයන් අතරට ගෙනෙයි.

 

රංගන ශිල්පිනියක් විදිහට තිබෙන ඉල්ලුම හා වටිනාකම ගැන සෙනාලි සතුටු වෙනවද?

ලැබෙන වටිනාකම ගැන නම් සතුටුයි. ලැබෙන ආරාධනා ප්‍රමාණය ගැන නම් සතුටු වෙන්න බැහැ. මම ගොඩක් කැමැතියි අභියෝග ලැබෙනවට. පෞද්ගලික ජීවිතේදීත් හැම තිස්සෙම බලන්නේ ඊයේට වඩා අද පියවරක් හරි ඉදිරියට යන්න. මම සාමාන්‍යයෙන් යථාර්ථය එක්ක ජීවත් වෙන කෙනෙක්. ඕනවට වඩා අපේ සාර්ථකත්වය ඔළුවට දාගත්තොත් ඒක අපිට නරකට හිටින්නත් පුළුවන්. මගේ තාත්තා මට හැම වෙලාවෙම පුරුදු කළේ කොච්චර දේවල් ලැබුණත් පොළොවේ පය ගහලා ජීවත් වෙන්න. ඉතින් හැම මොහොතේම ජීවිතේට යමක් ඉගෙන ගනිමිනුයි ජීවත් වෙන්නේ.

ඔබට නිළිකම ආභරණයක් නෙවෙයිද?

මම නිළිකම ආභරණයක් කරගෙන නැහැ. කිසිම දෙයකින් උඩ යන කෙනෙක් නෙමෙයි මම. එංගලන්තයේ හැදී වැඩුණු හුරුව ඇවිත් ඇති. නිළිකම ඔළුවට දාගන්නේ නැතිව ජීවත් වෙන්න පුළුවන් වුණේ මගේ තාත්තා මට පුරුදු කළ දේවල් එක්ක. සාමාන්‍ය ජීවිතයේ දී නැන්දලාට මම කෝෂිලා. නැත්නම් සෙනාලි. අදටත් දවල් වෙනකල් නිදාගත්තොත් අම්මගෙන් ගුටියක් කනවා. අම්මා මට කියන්නේ නිළියක් වුණාට ඔයාගේ දේවල් තනියම කරගන්න පුරුදු වෙන්න කියලා.

 

සෙනාලි දැන් ජීවිතය අලුතින් දකින කෙනෙක්?

මගේ තාත්තා ඉස්සර ඉඳන් මට කතා කළේ පුතා කියලා. “අපේ ගෙදර දුවත් ඔයා පුතත් ඔයා“ කියලයි තාත්තා කිව්වේ. තාත්තා අසනීප වෙලා රෝහල්ගත කරලා අන්තිමට ගත්තු දුරකථන ඇමතුමෙන් කිව්වේ අම්මව බලාගන්න කියලා. සාමාන්‍යයෙන් අම්මටනේ දුවව බලාගන්න කියන්නේ. හැබැයි තාත්තා මට ඒ වගකීමක් දුන්නා.

ඒ වගකීම නිසා මට දැන් වැටෙන්න බැහැ. මම මගේ අම්මව බලාගන්න ඕනේ. මමත් ආයේ හිටපු මම වෙන්න ඕන.

 

ඔබට ඔබම වෙන්න සෙනාලිට යම් කාලයක් ගියා?

තාත්තා නැති වුණාට පස්සේ මං ජීවිතේ පවා නැති කරගන්න ගාණට ඇවිත් තිබුණේ. මේ පොඩි වයසට මං කොහොමද මෙච්චර වගකීමක් දරන්නේ කියලා හිතුණා. මගේ යාළුවෝ තමයි ශක්තිමත් වෙන්න, සතුටින් ඉන්න කියලා මතක් කළේ. මගේ සතුට වෙනුවෙන් එයාලාට ඕන වුණා මගේ උපන්දිනය සමරන්න.

තාත්තා නැති වෙලා මාස හතරක් යන්න කලින් උපන්දිනය සැමරුවා කියලා සමහරු නොයෙක් දේවල් කියලත් තිබුණා. මිනිස්සු හිතන්නේ හිනා වෙලා ඉන්න ජීවිතවල ප්‍රශ්න නැහැ කියලා. නමුත් අපි හීනෙන්වත් නොහිතන ප්‍රශ්න ඔවුන්ට තියෙන්න පුළුවන්. මම වැටෙන තැනින් නැගිටිනවා. අම්මව බලාගන්නවා. තාත්තගේ හීන හැබෑ කරනවා. මට ඉස්සර හරි උණක් තිබ්බා ස්වාධීන වෙන්න. දැන් ඒ ස්වාධීනත්වය ඉබේම ලැබිලා.

 

ජීවිතයට තව කෙනෙක්ගේ හයියක් තිබුණොත් හොඳයි කියලා දැනිලා නැද්ද?

කොල්ලෙක් හොයාගන්න ඕනේ කියලා හරි හයියක් ඕනේ කියලා හරි මම කා එක්කවත් සම්බන්ධයක් ඇති කරගන්නේ නැහැ. මම හොයා ගෙන යන්නෙත් නැහැ. ජීවිතවලට එන යන පුද්ගලයෝ ඉන්නවානේ. අපිට කියන්න බෑ කවුරු කොහොම නතර වෙයිද කියලා.

Comments