මඟහැරුණු තැනින් නිර්මාණ ජීවිතය යළි පටන් ගන්නවා | සිළුමිණ

මඟහැරුණු තැනින් නිර්මාණ ජීවිතය යළි පටන් ගන්නවා

'උත්තමාවි' නාට්‍යයේදි මාව දැකපු මාස්ටර් ඇහුව මෙච්චර කල් කොහෙද හිටියෙ කියලා

රංගන ශිල්පිනියක්, රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදිකාවක් විදිහට කටයුතු කළා

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සූරීහූ සිංහල සංගීතයේ පෙර නොවූ විරූ වෙනසක් කළහ. එම වෙනස කිරීම සඳහා එතුමා හඬ පෞරුෂ රාශියක් සොයා ගත්තේය. එවැනි එක හඬ පෞරුෂයක් සොයා පසුගියදා අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අසල ඇති රූපලාවණ්‍යාගාරයක් වෙත ගියෙමු. ඇය නමින් මනීෂා විජේසිංහය.

 

අපේ කාලයේ සම්භාව්‍ය කලාව පිළිබඳ බලාපොරොත්තු සහගත ආලෝකයක් දැල්වූ මනීෂා විජේසිංහ මේ වනවිට මුළුමනින්ම කලා කටයුතුවලින් ඈත් වී සිටින්නීය. ඇය සිය ජීවන වෘත්තිය රූපලාවණ්‍යාගාරය ඇසුරෙන් ගොඩනඟාගෙන ඇත. එහෙත් ඇය සිටින්නේ නැවත සක්‍රීයව නිර්මාණකරණයට එක්වීමේ අභිලාෂයෙනි. අප හා කෙටි පිළිසඳරකින් අනතුරුව ඇය වත්මන් ජීවිත ප්‍රවෘත්තිය අප හමුවේ තැබුවාය.

“ මේ දවස්වල රූපලාවණ්‍යාගාරයේ වැඩකටයුතුවලට තමයි ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම අනුගමනය කරන්න වග බලා ගන්නවා. මම කලා කටයුතුවලින් සම්පූර්ණයෙන්ම අයින් වුණේ පුතාට වයස අවුරුදු දෙකහමාරේදී. දැන් ආපහු කලා කටයුතුවලට සක්‍රීයව දායක වෙන්න හිතුවත් මේ වසංගතය නිසා ඒ කටයුතු ටිකක් විතර අඩාළ වුණා.“

“දැන් පුතාගේ වයස කීයද?.“ අප එසේ ඇසූ විට ඇය මහ හඬින් සිනාසුණාය.

“හම්මෝ,... දැන් පුතා අවුරුදු 21ක ලොකු ඉලන්දාරියෙක්. නම රුසිරු විජේතිලක. තොරතුරු තාක්ෂණ අංශයෙන් උපාධියක් හදාරනවා. මගේ සැමියා සනත් විජේතිලක. ඔහු වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවරයෙක්.“

“නිර්මාණවලට සම්බන්ධ වෙන්න පසුබිම හැදෙන්නෙ කොහොම ද? “ මේ විමසීමත් සමඟ ඇය ආවර්ජණය කරන්නේ දශක තුනකට පෙර ප්‍රවේශ වුණු ඒ මිහිරිම මතකයන්ය.

“ මගේ කලා ජීවිතයේ ආරම්භය මගේ ගෙදර. පවුලේ සියලුම ඥාතීන් කලාවට ළැදි පිරිසක්. මගේ තාත්තා අමරසිරි විජේසිංහ, චිත්‍ර ශිල්පියෙක්. අම්මා ජයම්පති මැණිකේ නවරත්න, සංගීත ගුරුවරියක් සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරියක්. පොඩි කාලේ ඉඳන්ම සෞන්දර්ය ඥානය මම අම්මගෙන් ලබාගත්තා, හැබැයි රසවින්ඳනය කියනදේ මම හරියටම ඉගෙන ගත්තේ තාත්තාගෙන්. ගහකොළට, පරිසරයට ආදරය කරන හැටි තාත්තා කියලා දුන්නා.

“සිය මවුපියන් ගුරුවරුන් වීම නිසා මනීෂා විජේසිංහ ලංකාව පුරාම පාසල් ගණනාවකටම සිප්සතර හැදෑරීමට ගියාය. අවසානයේ දී මව නුගේගොඩ අනුලා විද්‍යාලයේ සංගීත ගුරුවරිය ලෙස පත්වීම ලැබීමත් සමඟ මනීෂා එම විදුහලේම සිසුවියක් බවට පත්වූවාය.“

“ඒ කාලේ අපේ ඉස්කෝලේ නාට්‍ය හා රංග කලාව ඉගැන්වුවේ නෑ. ඒත් මම ඒ විෂයට අතිශයින් උනන්දුයි කියලා දැන ගත්ත පණ්ඩිතරත්න කියන ගුරුතුමිය මට තවත් ළමයි කීප දෙනෙක් එකතු කරගන්න කියලා ඒ විෂය අපේ ඉස්කෝලේ උගන්වන්න පටන් ගත්තා. හැබැයි න්‍යායාත්මක කොටස් විතරයි. ඒ විෂය ප්‍රායෝගිකව ඉගෙන ගන්න මම ආචාර්ය සලමොන් ෆොන්සේකාගේ වැඩමුළු සඳහා සහභාගි වුණා.“

“ඒ හරහාද රංගනයට පිවිසුණේ?“

නෑ.. ඒක වුණේ අහම්බෙන්. මගේ පුංචි, කුමාරි නවරත්න. ධම්ම ජාගොඩ මහතාගේ ‘මිහිකතගේ දරුවෝ‘ ටෙලි නාට්‍යයේ ඇය චරිතයක් නිරූපණය කළා. ඇයව රූගත කිරීමවලට එක්ක යන්න ආපූ වෙලාවක ධම්ම ජාගොඩ මහත්තයා මාව දැකලා ටෙලිනාට්‍යයේ සුළු චරිතයකට සම්බන්ධ කරගත්තා.“

“ඊට පස්සේ බන්දුල විතානගේ මහත්තයාගේ ‘අත්ත බිඳෙයි‘ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමි වුණා. ඒ මතාගේ ‘බුමුතුරුණු‘ ටෙලි නාට්‍යයේ දෙවෙනිගේ චරිතය මට විශේෂයි. ‘බෝඩිම‘, ‘මැණික් නදිය ගලා බසියි‘ ටෙලි නාට්‍යවල මම නිරූපණය කළ චරිත ප්‍රේක්ෂකයන්ට තවමත් මතකයි... මනීෂා චිත්‍රපට රංගනයට ද එක් වූවාය. ඒ ‘අයෝමා‘ චිත්‍රපටයෙනි.

“මට ඕනකම තිබ්බේ කලාත්මක එක හරි චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න. ‘අයෝමා‘ චිත්‍රපටයෙ අයෝමාගේ නංගීගේ චරිතය නිරූපණය කළා. ඉතින් ඒ ආසාව සම්පුර්ණ වුණා.“

මනීෂාගේ නිර්මාණ ප්‍රභාව වඩාත් ඉස්මතු වන්නේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ හමුවෙනි. ඒ හමුවී සිදුවන්නේ ඇය වේදිකා නාට්‍ය ශිල්පිනියක් ලෙස වේදිකාව ඇසුරු කරන සමයේය.

“ මම මුලින්ම රඟපෑවේ බන්ධුල සර්ගේම ‘සෙනෙහෙබර ඩොලී‘ වේදිකා නාට්‍යයේ. ඔය අතරතුරේදී පරාක්‍රම නිරිඇල්ල, ඩග්ලස් සිරිවර්ධන වගේ ප්‍රවීණයෝ එකතු වෙලා දවස් දහයක වැඩමුළුවක් තියලා අවසානේදි ‘උත්තමාවී‘ වේදිකා නාට්‍යය ජනගත කළා. මේ වේදිකා නාට්‍යයේ සංගීතය සැපයුවේ කේමදාස මාස්ටර්. මාස්ටර් මගෙන් ඇහුවා මෙච්චර කල් කොහෙද හිටියේ කියලා.“

“මාස්ටර්ගෙන් ඉගෙන ගත්ත කාලේ කොහොමද?“ ඒ ගැන කියන්න වචන නෑ. ලංකාවටම මාස්ටර්ලා එක්කෙනයි. මම හිතන්නේ එතුමා වගේ අය මේ ලෝකෙට එන්නේ මේ ලෝකේට තමන් වගේ කෙනෙක්ට විතරක් දෙන්න පුළුවන් දේවල් දෙන්න. ‘මානස විලේ‘ මට තිත්තයාගේ චරිතෙයි ලැබුණේ... ඉන්ද්‍රචාපා බුලත්සිංහල විදේශගත වීමත් එක්ක රන් මාළුවාගේ චරිතය ලැබුණා... නමුත් ඒක අභියෝගයක්. ඊට අමතරව ‘පිරිනිවන් මංගල්‍යය, ‘යශෝධරා වැලපිල්ල‘, ‘හඳුනාගත්තොත් ඔබ මා‘ වගේ මාස්ටර්ගේ බොහෝ නිර්මාණවලට සම්බන්ධ වෙන්න මට වාසනාව ලැබුණා.“

මනීෂා අනතුරුව නිවේදිකාවක් ලෙස රූපවාහිනී ආයතනයකට එක් වනවිටත් ඇය සරසවියේ අවසන් වසරේය.

“ මම ටී.එන්.එල් ආයතනයේ සේවයට එකතු වුණා. ඉන් පස්සෙ සිරස රේඩියෝව පටන් ගනිද්දි සම්බන්ධ කරගත්ත අට දෙනාට මම තේරුණා. අනතුරව නාළිකා කීපයකම සේවය කරලා පුතා ලැබුණට පස්සේ ඒ සියල්ලටම සමුදුන්නා.“

“ඔබ කලා ක්ෂේත්‍රයේ බොහෝ ඉසව්වල දක්ෂතා පෙන්වා තියෙනවා. ඒ දේවල්වලින් සමුගැනීම ගැන ආපහු හැරිලා බලද්දී දුකක් නැද්ද?“ අවසාන වශයෙන් අපි විමසීමු. “දුකයි. හැබැයි දැන් මම ආපහු කලා කටයුතුවලට කෙමෙන් කෙමෙන් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මාස්ටර්ගේ ගෝලයක් වුණු සාගර විජේසිංහගේ සංගීත පර්යේෂණ කටයුතු සඳහා දැන් වසර කිහිපයක ඉඳන් දායක වෙලා ඉන්නවා.“

කලා ක්ෂේත්‍රයේ ඉලක්කගත ගමනක් යනවාට වඩා කලාව වින්දනය කරමින් එය පෝෂණය කළ මනීෂා විජේසිංහ වැනි නිර්මාණ කරුවන් වඩාත් ඇවැසි වකවානුවක් ගතවෙමින් තිබේ.

Comments