දෙමළ කතා කරන ලාංකේය රසිකයන් හොඳ දේ තෝරා ගනීවි | සිළුමිණ

දෙමළ කතා කරන ලාංකේය රසිකයන් හොඳ දේ තෝරා ගනීවි

අපි නිර්මාණ කරන්නෙ ඉන්දියානු සිනමාව ඇසුරු කරන ප්‍රේක්ෂක පිරිසකට

 

ශ්‍රී ලාංකේය දෙමළ බස කතා කරන රසිකයන්ගේ සිත පැහැරගත් කතා මාලාවක් මේවන විට අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇත. එම කතා මාලාව ‘SUNDAY‘ ය. ‘SUNDAY‘ කතා මාලාව මේ වනවිට එය ප්‍රචාරය කරන යෙදවුමේ මුල් තැනට පැමිණ තිබේ. දෙමළ බස කතා කරන ලාංකේය සහෘද පිරිසක් දෙමළ බසින් කරන ලාංකේය නිර්මාණ වැළඳ ගන්නා අයුරු කියන්නට මීට වඩා අවස්ථාවක් නැත.

 

‘SUNDAY‘ කතා මාලාව ත්‍රාසජනක කතා ප්‍රවාහය ඔස්සේ ගලා යන්නකි. කතාව විකාශනය වන්නේ ආරක්ෂක නිලධාරිනියක වන කාංචනා රාගවන්ගේ චරිතය මුල් කරගනිමිනි. කසළ ගොඩක තිබී පිලිස්සුණු මළ සිරුරක් හමුවීම, එම මරණය සම්බන්ධ තොරතුරු සොයා යෑම, ඊට පාතාලය හා ඇති සම්බන්ධය සමඟ නිර්මාණයවන ගැටුම ‘SUNDAY‘ කතා තේමාව නිර්මාණය කරවයි.

මෙම නිර්මාණය තිර රචනය කර, අධ්‍යක්ෂණය කර අනතුරුව සංස්කරණයෙන් එළි දක්වන්නේ වරෙක අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලද ප්‍රභාමත් තරුණ ශිල්පයෙකි. ඔහු මාධවන් ගනේෂන්ය. රසඳුන හා සංවාදයකට මාධවන් එක් වන්නේ ඔහුගේ නිර්මාණ අපේ සහෝදර දෙමළ බස වහරන රසිකයන් උනන්දු සහගතව රස විඳින වකවානුවකය.

“මම අධ්‍යාපනය ලබන්නේ බම්බලපිටිය හින්දු විද්‍යාලයෙන්. උසස් පෙළට නාට්‍ය හා රංග කලාව විෂයක් විදිහට හැදෑරුවා. පාසලේදිම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. අන්තර් පාඨශාලීය තරගවල දි ඇගයීමට ලක් වුණා... මේ ක්ෂේත්‍රයට පැමිණෙන්න මූලික අඩිතාලම වැටුණේ පාසලෙන්... මාධවන් සංවාදය ඇරඹුවේය.

මාධවන් ගේ මුල්ම කෙටි චිත්‍රපටය APPAAL "අප්පාල්" ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළේ සම්මාන තුනක් සහිතව සම්මාන ඇගයීමට ලක් වුණේය. එයින් පසු ඔහු නිර්මාණය කළ "BLOOD" කෙටි චිත්‍රපටය එම අවුරුද්දෙ ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළේ ජූරියේ සම්මානයක් හිමි කර ගත්තේය. ඉන් අනතුරුව නිර්මාණය කළ ‘INSIDE ME‘ කෙටි චිත්‍රපටය රාජ්‍ය රූපවාහිනී සම්මාන උලෙළේ කෙටි චිත්‍රපට අංශයේ සම්මාන ද, 2018 වසරේ ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළ සහ විදෙස් සිනමා උලෙළ කීපයකින් ඇගයීම් සම්මාන ද ලැබිණි.

මාධවන් ගනේෂන් කෙටි චිත්‍රපට කලාවෙන් එළියට පැමිණ වෘතාන්ත චිත්‍රපටයක් නිර්මාණය කරන්නට උත්සාහ ගන්නේ ඉන් පසුවය. “සුප්පන සුන්දර් "DREAM GIRL"චිත්‍රපටය මා අතින් නිර්මාණය වන්නේ හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් විදිහට. මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ නිරංජනී ශන්මුගරාජා සහ පර්ලිජා ජෙයරාජ්. චිත්‍රපටයේ සියලුම වැඩ අවසන් කරල තියෙනවා. ලංකාවේ ප්‍රදර්ශනය කරන්න ඉදිරියේදි බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ තරුණ ශිල්පියාට සිනමාකරණය පිළිබඳ හදාරන්නේ ස්වයං අධ්‍යයනයක නිරත වෙමිනි. ඔහුගේ නිර්මාණවල තිර රචනය, කැමරාකරණය, සංස්කරණය සේම අධ්‍යක්ෂණයත් ඔහුගේය. ‘SUNDAY‘ වෙබ් කතා මාලාව මෙම නිර්මාණ ශිල්පියාගේ පැතිරුණු හැකියාව සාධනය කරන්නකි.

අවසාන වශයෙන් මෙම වෙබ් කතා මාලාව නිර්මාණයට ඔහුව පෙලඹ වූ හේතුව විමසා සිටියෙමු.

“මගේ කෙටි චිත්‍රපට නිර්මාණය කරගත්තේ පෞද්ගලික වියදමින්. චිත්‍රපටය නිර්මාණය කර ගන්න මගේ යාළුවෝ හතර දෙනෙක් එකතු වුණා. එය ඉවර කරන්න අපිට අවුරුදු දෙකක් ගියා. චිත්‍රපටයේ වැඩ කටයුතු සියල්ලම අපි අතින් සිද්ධ වුණේ. ඒ නිසා නිර්මාණයක පසුබිම හොඳට අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබුණා.“

“වෙබ් කතාංගය නිර්මාණය වන්නේ ඩයලොග් ආයතනයේ අනුග්‍රහකත්වයෙන්. එය තමයි අපේ නිර්මාණයක් සඳහා අනුග්‍රහය දක්වන පළමු අවස්ථාව. මෙම නිර්මාණය සඳහා දෙමළ සිංහල හැම කොටසකම උදවු මට ලැබුණා. ඔවුන් මගෙ නිර්මාණය තුළත් වැඩ කරනවා. කැමරා අධ්‍යක්ෂකවරයා සිංහල. ඔහු චාමල් වික්‍රමසිංහ. ඒ වගේම තිලක්ෂණි මගේ හොඳ යාළුවෙක්. පර්ල්ජා, රවී, ජොලී, නරේෂ්, තනුෂන්, වරුන්, විනෝදන්, කෞෂල්‍යා, සෝබා තමයි අනෙකුත් නළු නිළියන්“.

ඉන්දියානු චිත්‍රපට ඇසුරු කරන ලාංකේය රසික පිරිසක් වෙනුවෙන් ප්‍රමිතියෙන් ඉහළ නිර්මාණ කිරීමේ අභියෝගය සහිතව මාධවන් ගනේෂන්ලා නිර්මාණ කරති. එම නිර්මාණ රටේ අනාගත සිනමා අපේක්ෂාවන් සඵල කරවනු දැනේ.

 
 

Comments