දන් දෙන්න කැමැති අයට ජනිත්ගෙන් ආරාධනයක් | සිළුමිණ

දන් දෙන්න කැමැති අයට ජනිත්ගෙන් ආරාධනයක්

මම පාටි දාලා උපන්දින සමරන්න කැමැති කෙනෙක් නෙමෙයි. හරිම යාළු මිත්‍රයෝ කවුද කියලත් මේ වගේ වැඩවලදි හඳුනාගන්න පුළුවන්

 

‘ජනු 29’ ලේ දන්දීමේ පින්කම සෞඛ්‍ය නීති රීතිවලට අනුව ජනවාරි 30 වැනිදා නාරාහේන්පිට ජාතික ලේ බැංකුවේදී පවත්වන්නයි සූදානම්

 

 

ආනන්ද වික්‍රමගේ මානෙල් වානගුරු දෙපළගේ දෙටු පුත් ජනිත් වික්‍රමගේ සහෘද කලාකරුවන්ගේත් රසික ජනතාවගෙත් ආදරය දිනූ රංගන ශිල්පියෙක්. දැන් වසර දහයක සිට ජනිත් උපන්දිනය සමරන්නේ වෙනස්ම ආකාරයට. එය සමාජ සත්කාරයක් සේම පුණ්‍ය කටයුත්තක් කිව්වත් නිවැරදියි. මෙදා සැරෙත් මේ වගේ කාලෙක ජනිත් ඒ වැඩ කටයුත්ත සැලසුම් කිරීම හැමෝටම එක්තරා ආදර්ශයක්.

 

‘ජනු 29‘ මෙදා පාර සැලසුම් වෙන්නේ කොහොමද?

මගේ උපන්දිනය යෙදිලා තියෙන්නේ ජනවාරි 29 දා. ඒ වෙනුවෙන් ‘ජනු 29‘ ලෙස නම් කරපු ලේ දන්දීමේ පිංකම මේ මාසේ 30 වැනිදා නාරාහේන්පිට ජාතික ලේ බැංකුවේදී උදේ 9 ඉඳන් හවස 1 වෙනකල් පවත්වන්න සූදානම් කරලා තියෙන්නේ. හැමෝටම ආරාධනා කරනවා එයට සහභාගි වෙන්නෙ කියලා.

 

වසර ගණනාවක් තිස්සේ මේ වගේ දෙයක් නොකඩවා කරගෙන එන්න හිතුවේ ඇයි?

ගොඩක් අය හිතන්නේ කලාකරුවෝ හොඳ දේවල් කරන්නෙ නැහැ කියලා. එහි කිසිම සත්‍යතාවක් නැහැ කියන්න හොඳම උදාහරණයක්. කලාකරුවෝ ලෙස අපි කරන දේවල්වලින් සමාජයට යම් උත්තේජනයන් ලැබෙනවා. ඒ නිසා වැඩදායී දේකින් සමාජයට ඒ උත්තේජනය ලබා දෙන්න මම කැමැතියි. මෙවැනි කර්තව්‍යයක් ඇතුළේ මට ලැබෙන ආධ්‍යාත්මික සුවය කියලා නිම කරන්න බැහැ. බොහෝ අය දන්නේ නැහැ අපි පරිත්‍යාග කරන ලේ පයින්ට් එකකින් ජීවිත හතරක් බේරගන්න පුළුවන් බව.

 

ජනිත් පාටි දාලා උපන්දින සමරන්නෙම නැද්ද?

උපන්දිනයට වෙන්නේ මේ කාර්ය විතරයි. මම පාටි දාලා උපන්දින සමරන්න කැමැති කෙනෙක් නෙමෙයි. පාටියකට එන්න කිව්වම ඕන තරම් අය එනවා. මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්නේ කීයෙන් කී දෙනාද. අපේ ජීවිතවල වැදගත් අය මේ වගේ වැදගත් දේවල්වලදි එකතු වෙනවා. හරිම යාළු මිත්‍රයෝ කවුද කියලත් මේ වගේ වැඩවලදි හඳුනාගන්න පුළුවන්. මට එහෙම සහයෝගය දෙන විශාල පිරිසක් කලා ක්ෂේත්‍රය ඇතුළේ සිටීම ගැන සතුටුයි.

 

මේ වසරේ මෙවැනි දෙයක් කිරීම අභියෝගයක් නේද?

යම් අභියෝගයක් තියෙනවා. නමුත් මේ වැඩේදී කවුරුවත් බය වෙන්න එපා. ජාතික ලේ බැංකුව සෞඛ්‍ය නීති රීති අනුවයි මේ වැඩ කටයුත්ත හැමදාම කරන්නේ. කලාකරුවනුත් වෙනදා වගේම සහභාගි වෙනවා. ඕනෑම කෙනෙක්ට මේ වෙනුවෙන් සහභාගි වෙලා රුධිරය පරිත්‍යාගය කරන්න පුළුවන්. සෞඛ්‍ය නීති රීතිවලට අනුවයි සියල්ල වෙන්නේ.

කලා කටයුතු පැත්තෙන් මේ කාලේ මොනවද සිද්ධ වෙන්නේ?

සියත නාළිකාවේ star wars වැඩසටහන ඉදිරිපත් කරනවා. මම සම්බන්ධ වුණු ‘ද ගේම්‘ චිත්‍රපටය අප්‍රේල් මාසෙ වගේ රිලිස් වේවි. මේ වසංගත තත්ත්වය නිසා කල් ගිය වැඩ කිහිපයක්ම නැවත ඇරඹෙනවා.

 

ජනිත් පෙනුම වෙනස් කරගෙන තියෙන්නෙත් අලුත් වැඩකට වෙන්න ඇති?

රැවුල වවාගෙන ඉන්නේ ඇයි කියලා බොහෝ අය අහනවා. අලුත් චිත්‍රපටයක් වෙනුවෙන් තමයි මේ සූදානම. එහි රූගත කිරීම් ඉදිරියෙදි ඇරඹෙයි.

දැන් වැඩි බර තියෙන්නෙ සිනමාවට වගේ?

සිනමාවට වැඩි බරක් දෙන්න මම කැමැතියි. එහෙම ඉන්න එක ආර්ථිකය පැත්තෙන් අමාරු වැඩක්. නමුත් සිනමාව කියන්නේ මගේ ජීවිතේ ඉලක්කගත අරමුණක්. නිතර පෙනුණොත් ප්‍රේක්ෂකයන්ට ටිකට් එකක් අරගෙන අපිව බලන්න සිනමා ශාලාවකට එන්න හේතුවක් නැති වෙනවා. ඒ නිසා ටෙලි තිරයේ නිතර පේන්න කැමැත්තක් නැහැ. දැන් නාට්‍ය කෙරෙන විදිහ ගැන ලොකු පැහැදීමකුත් නැහැ. නිර්මාණයක් කරලා ආත්ම තෘප්තියක් ලබන, හොඳ විදින්න පුළුවන් දෙයකට සම්බන්ධ වෙන්න මම කැමැතියි. මගේ නිෂ්පාදනයකින් ගුණාත්මක ටෙලි නිර්මාණයක් කරන්නත් සැලසුමක් තියෙනවා.

 

ඔහොම තෝරලා බේරලා වැඩ කරලා ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන්?

කලාවෙන් ජීවත් වෙන්න බෑ කියලා මම කියන්නේ නැහැ. අනෙක් අය මාසයකින් හම්බ කරන මුදල අපිට විනාඩි ගාණකින් හොයන්න පුළුවන්. නමුත් ඒ ලැබෙන දේවල් පාලනය කරගන්න බැරි වීම තමයි කලාකරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නය. මම හම්බ කරන මුදල් ව්‍යාපාර කටයුතුවලට යොදවනවා. මට හැමදේම ලැබුණේ නළුකම නිසා. අපේ පවුලම මේ තැන ඉන්නේ රංගනයෙන් උපයපු දේවල්වලින්. ලැබෙන දේවල් කළමනාකරණය කළොත් ප්‍රශ්නයක් නැහැ.

 

මේතාක් ක්ෂේත්‍රයේ කරන්න ලැබුණු දේවල් ගැන ජනිත් සතුටු වෙනවද?

මට සතුටුයි. අපි මේ ක්ෂේත්‍රය තුළ හදාගත්ත දේවල් ටිකක් තියෙනවා. අපිට හැමදේම මල් වට්ටියක දාලා ගෙනත් දෙන්නේ නැහැ. මම මහන්සි වෙනවා වගේම මට අවස්ථා ලැබෙනවා. තමන්ගේ වෘත්තීමය මට්ටම රැකගැනීම පහසු දෙයක් නෙමෙයි. මේ තාක් වුණු මහන්සියේ ප්‍රතිඵල මට ලැබිලා තියෙනවා. මේ කාලය පුරාවට ලැබුණ ප්‍රේක්ෂක ආදරය හා ගෞරවයටත් හැමදාම මමත් ගෞරව කරනවා.

 

රංගනයේදි ඔබව කොටු වුණා කියලා හිතෙන්නේ නැද්ද?

සරල හාස්‍යජනක චරිතවලට මාව වැඩිපුර යොදා ගන්නවා. නමුත් එය මට ආභරණයක්. එවැනි චරිත ඔස්සේ ඉක්මනින් ප්‍රේක්ෂකයන් අතරට යන්න මට හැකි වුණා. හොලිවුඩ්, බොලිවුඩ් ජනප්‍රිය දක්ෂ චරිත පවා මුලින්ම කළේ සරල චරිත. ඔවුන් චරිතාංග මට්ටමට ගියේ ප්‍රේක්ෂකාගාරය හදා ගත්තට පස්සෙ. මේ වෙද්දි මටත් එවැනි යම් ප්‍රේක්ෂකාගාරයක් ඉන්න බව විශ්වාසයි.

 

මේ වැඩ රාජකාරි අතරේ ජනිත් මවුපියන් වෙනුවෙන් වගකීම් පැහැර නොහරින පුතෙක් ?

හැම දරුවෙක්ම තමන්ගේ මවුපියන් ගැන බලන්න ඕනේ. කෙනෙක් මිය ගියාම ගුණ වයලා වැඩක් නැහැ. ඉන්නකල් අවශ්‍ය ගරුත්වය වටිනාකම් නොදී. මොන දේ තිබුණත් මවුපියන් සහ පවුල ජීවිතේ එක විය යුතුයි. මම අම්මා තාත්තා වෙනුවෙන් කාලය වෙන් කරලා තමයි අනෙක් දේවල් ගැන හිතන්නේ.

 

එකලාසයක් වෙන්න කියලා මවුපියන් පෙරැත්ත කරන්නේ නැද්ද ?

විවාහය වෙන්නම ඕනේ කියලා තර්කයක් නැහැ. හොඳ කෙනෙක් ලැබුණොත් මම නොබැඳ ඉන්න එකකුත් නැහැ. අම්මා තාත්තාගෙන් මට කිසිම බල කිරීමක් නැහැ. මම හරිම වෙලාවේ හරි දේවල් කරනවා කියලා එයාලා දන්නවා.

Comments