තේ නිල්ලේ කඳුළු සැඟවූ කැලෑබොක්කේ නැරඹුම් සිරස | සිළුමිණ

තේ නිල්ලේ කඳුළු සැඟවූ කැලෑබොක්කේ නැරඹුම් සිරස

හාත්පස මිහිදුමින් ගැවසීගෙනය. සුළං රොදකින් සැලෙන තේ නිල්ලෙහි ළදලුපත් මත පිණි බිඳිති පතිතව ඇත. තව මොහොතකින් මේ මීදුම් අතරින් රැහැන් සේ රූරා වැටෙන හිරු කිරණ මේ පිණි බිඳිති වියළා දමයි. සොබාදහමේ රීතිය එයය. නොනැසී පවතින්නේ ඒ පරිසරය තුළ ගිලී කිමිදී පැවතිය හැකි ප්‍රපංච පමණි.

 

අපි ගමන් කරමින් හිඳිමු. ඉදිරියෙන් වූ කඳු බිමක ශ්වේත වර්ණයෙන් නමක් සහටන් වී ඇත. කැලෑබොක්ක ලෙස එහි ලියැවී තිබේ. අප්‍රමාණ අස්වැසිල්ලක් සිතට දැනේ. අපි වාහනය නැවැත්වීමු. වාහනයෙන් එළියට පිවිසෙන විට නෙත් මානයේවන්නේ නිල්ල නිලන එකම තේ යායකි. ළදලුපත් සිපගෙන හමා එන සුළං රොදෙහි වූ නැවුම් බව නව ජීවයක් උපදවා ඇත. ඒ මිහිර හැර එන්නට සිත් නොදේ.

එහෙත් කාලය සීමිතය. අපේ ඉලක්ක ගමනාන්තය තව බොහෝ දුරිනි. වාහනයේ සියලු කවුළු හැර දමා හමා එන සිහිල් සුළං රැලි විඳිමින් ගමන ආරම්භ කළෙමු.

කැලෑබොක්කට සේන්දු වන ගමනේ වැදගත්ම සන්ධිස්ථානය තේ කර්මාන්ත ශාලාවය. මේ කඳු පන්ති අතරම ජීවිත සිහින දියකර හරින තරුණ පිරිසක් තේ කර්මාන්ත ශාලාව අසලය. ඔවුහු ස්වකීය ත්‍රි රෝද රථ පෙළගස්වාගෙන මගියෙක් එන තුරු බලා හිඳිති. ත්‍රිරෝද රථයකින් නැරැඹුම් ස්ථානයට යන්නැයි කරන ඔවුන්ගේ ඇවිටිල්ල විටෙක වෙ‍ෙහසක් සේ දැනේ. අප පැමිණ සිටින්නේ මේ මනරම් පරිසරය විඳිමින් පා ගමනින් ඒ ගිරිහිස තරණය කිරීමටය.

ගතවන්නේ මොහොතකි. හාත්පස කාලගුණය අසුරු සැණෙන් වෙනස් වේ. මඩොල්කැලේ කන්දෙනුවර මාර්ගයෙන් (B257) ඔබ්බෙහි වූ අතුරු මාර්ගයෙහි පා ගමනින්ම ඉහළට ගමන් කිරීමට වූ අදහස ඉවත ලෑමට අපට සිදු වී ඇත. වැහි බීරුමකි. කිලෝ මීටර හයක අපගේ පාගමන ඒ පරිසරය විසින් වළක්වා තිබේ. අවසානයේ ඇවිටිලි සහගත ත්‍රි රෝද තරුණයකුගෙන් අයෙක් අපේ ගමන සඳහා තෝරා ගැනීමට සිදුව ඇත. අසල වූ ත්‍රිරෝද රථයකට ගොඩවුණෙමු.

ත්‍රි රෝද රථයේ සිවු දෙනෙකි. ඉහළට ගමන් කරන්නේ බෙහෙවින්ම අබලන් මාර්ගයකය. සොබා දහම අපට පිහිට වූ සෙයකි. මේ මඟේ පා ගමන කිසිසේත්ම සුව පහසු වන්නේ නැති බව පැහැදිලිය.

බොර පැහැති වැසි දිය ත්‍රි රෝද රථයේ අසීරු ගමන තවත් පමා කරවයි. අබලන් මඟ දෙපස දිරාපත් ලයින් කාමර පෙනේ. මේ මිනිසුන් මහා සමාජයේ අපේක්ෂාවන්ගෙන් මොනතරම් දුරස් කර ඇති දැයි සිතන විට අපට අප ගැනම උපදින්නේ කම්පාවකි. මිනිසකු ලෙස සතු විය යුතු සියලු මූලික අයිතිවාසිකම් අහිමි කර අර්ධ මනුෂ්‍යයන් සේ මේ දිරාපත් මඩු තුළ මේ මිනිසුන් සිර කිරීම මොනම මනුෂ්‍ය ධර්මයකටවත් එකඟ වන්නේ නැත.

මහා අලංකාරයක මවා පාන සොබා දහමේ රිද්මයට එකඟ නොවන අධර්මයන් ද සියවස් ගණනාවක් තිස්සේ පැවතෙමින් ඇත. වටහා ගත නොහැක්කේ ඒ පැවැත්මේ ස්වභාවය ය.

අතෝරක් නැති සිතිවිලි අතර හුදෙකලා වී සිටිමි. ත්‍රි රෝද රථය කැලෑබොක්ක ගිරි හිස මත වූ නැරැඹුම් ස්ථානය වෙත ළඟා වි ඇත. ඉහළ කොටස අංශක 360° නරඹුම් ස්ථානයට ටිකට් පතක් මිලදී ගෙන ඇතුළු විය යුතුය. මේ නැරඹුම් ස්ථානයේ උස මුහුදු මට්ටමේ සිට මීටර 1175 කි. වැස්ස ක්‍රමයෙන් තුරන්ව ගොස්ය. හාත්පස පරිසරය පැහැදිලිය. කඳු පෙළ විටෙක මිහිදුම් දහරාවකින් වැසී යයි. දිදුලන හරිත පැහැය මත ශ්වේත වර්ණයෙන් සිතුවමක් කරනුසේ මිහිදුම් කැරලි නැගී මැකී යයි. ඈතින් සෙම්බුවත්ත විල පෙනේ. මහනුවර නගරය කදිමට පෙනෙමින් ඇත. නකල්ස් කඳු පන්තිය පසෙකින් දිස්වේ. ඒ දැකුම මහා උත්කර්ෂණීය හැඟීමක් උපදවයි.

පරිසර හිතකාමී අයුරින් තැනූ කුඩා පැල්පතකුත්, බිම් මල් හැඩැති ආවරණයන් (Summer Hut) කිහිපයකුත් මෙබිමෙහි වේ. ලී දඬු පිදුරු ඒ සඳහා භාවිත කර ඇත. මේ පැසසිය යුතු නිමැවුම් සංචාරකයන්ගේ සිත් පැහැර ගැනීමට බෙහෙවින්ම හේතු වී තිබේ. නුදුරින් මේ පීඩිත මනුෂ්‍යයන්ගේ එකම බලාපොරොත්තු වූ දෙවියන් සඳහා ඉදි කළ කෝවිලකි. ඔවුහු අප්‍රමාණ බැතිබරව ඒ කෝවිල් පරිශ්‍රය නඩත්තු කරන අයුරු දැක ගත හැකිය. කඳවුරු භූමියකට උචිත අයුරින් පරිසරය සකස් වී ඇත. ඒ පිළිබඳ නම් වතු කළමනාකාරිත්වයට ස්තුතිවන්ත විය යුතු බව නම් සිතමි. කැලෑබොක්ක 360° නැරඹුම් ස්ථානයට පිටුපසින් තරමක උසින් වූ කන්දකි. පඳුරු අතරින් ඒ මතට අඩි පාරක් වැටී තිබේ. ඒ මඟක් ඔස්සේ මඳ දුරක් ගිය විට 360° නැරඹුම් ස්ථානය මැනවින් පෙනේ.

මිනිස්සු බොහෝ උස් තැන්වලට පැමිණ මහා පරාසයක් තුළ පැතිරී ඇති දර්ශනය දකිමින් වින්දනය ලබති. උස් තැනකට පැමිණි විට පාමුල පෙනෙන්නේ විශ්මය දනවන සුලු මනරම් ආකාරයෙනි. ජීවිත තුළ ද මේ පැවැත්ම යථාර්ථයක් කරගන්නවා නම් ලෝකය මොන තරම් ලස්සන තැනක් වනු ඇතිදැයි සිතමි.

 

Comments