ආදරවන්තියට මාව දාලා යන්න එපා කියලයි ලිව්වේ | සිළුමිණ

ආදරවන්තියට මාව දාලා යන්න එපා කියලයි ලිව්වේ

ඒක මට සෑහෙන්න ආදරය අවශ්‍ය වෙලා තිබුණු මොහොතක්

තරු පවුල්වලින් සංගීත ක්ෂේත්‍රයට පය තියපු තරු දරුවෝ අතරින් ක්ෂේත්‍රයේ නම රැන්ඳු අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා ‘නුරා වසන්තේ‘ ගීතයෙන් පසුව වසර දෙකකට ආසන්න කාලයක් රැකි නිහඬතාව පසුගිය දාක බිඳ දමන්නේ අලුතෙන් එළි දැක්වූ ‘ආදරියේ‘ ගීතයෙන්. ජීවිතේ අසීරුම මොහොතක නදීමාල් අතින් නිර්මාණය වූ මේ ගීතයේ විශේෂත්වය ගැන නදීමාල් හඬ අවධි කළේ මේ විදිහට.

 

“ආදරියේ ගීතය මට ගොඩක් විශේෂයි. ඒ ගීතය ලියන්නේ, තනු නිර්මාණය කරන්නේ සහ ගායනා කරන්නෙත් මම. පසන් ලියනගේ තමයි ගීතය සංගීතවත් කළේ. මම මීට කලින් ගීත ලියලා නැහැ. මේ ගීතය මම ලිව්වේ ජීවිතේ අසීරුම දවස් ගෙවමින් හිටපු කාලයක. ඒ, මීට අවුරුදු දෙකකට කලින් මට එක්තරා සිදුවීමකට මුහුණ දෙන්න වුණා.

දවස් හතළිස් නවයක්ම වෙනත් රටක අපහසු ජීවිතයක් ගත කරන්න වුණා. කවදාහරි ලංකාවට එන්න පුළුවන් වුණු දාක ගායනා කරන්න ගීතයක් ලියන්න මට ඕන වුණා. මටත් හිතාගන්න බැහැ මම කොහොම ගීතයක් ලිව්වද කියලා. ඒක මට සෑහෙන ආදරය අවශ්‍ය වෙලා තිබ්බ මොහොතක්. ආදරය කරන්න කෙනෙක් නොහිටියත් එහෙම කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන ඒ ආදරවන්තියට මාව දාලා යන්න එපා කියලා තමයි ඒ ගීතයෙන් ලිව්වේ.

මම ගීතය ලියලා මුලින්ම පෙන්නුවේ ඒ වෙනකොට මගේ ළඟින්ම හිටපු තාත්තාට. මගේ පළවෙනි ගීත රචනය වු මේ ගීතය තමයි මම ඊළඟට එළ දක්වන ගෙනෙන ගීතය කියලා හිතාගෙන ලංකාවට ආවට පස්සේ පසන් අයියටයි, සජිත, සනුක වගේ යාළුවන්ටයි පෙන්නුවා. ඒ අයත් වචනවල අඩුපාඩුවක් කිව්වේ නැහැ. පසන් අයියත් කිව්වේ 'මේක මරු අපි කරමු කියලා.“

නිතර දකින ගීත රූප රාමූ රැල්ලෙන් මිදී වෙනස් හැඩයක රූප රාමූ ‘ආදරියේ‘ තුළ දකින්න ලැබීමත් විශේෂත්වයක්...

“මගේ මිත්‍රයා සජිත ඇන්තනිගේ ‘සජ්‘ ක්‍රියේෂන් ප්‍රඩක්ෂන් හවුස් එකෙන් තමයි ගීතයේ රූප රචනය කළේ. වෙනස් ලස්සන දෙයක් කරන්න අපිට අවශ්‍ය වුණා. සජිත උපරිම සහයෝගය දුන්නා. මේ ගීතය මියුසික් වීඩියෝවක් එක්කම එළියට ගේන්න ලැබීම සතුටුයි. විඩියෝවේ සියලු කටයුතු කළේ චන්න දේශප්‍රිය අන්කල්ගේ මැජික් ලැන්ටන් ආයතනය. වැඩේට සහයෝගය දුන් හැමෝටම ස්තූතිවන්ත වෙනවා. රංගනයෙන් එකතු වෙන හර්ෂි රසාංගාගෙනුත් මට ලොකු සහයක් ලැබුණා. මම මීට කලින් රඟපාලා තියෙන කෙනෙක් නෙමෙයි. හර්ෂි ඇතුළු පිරිසගෙන් මට ඒ සහය උපරිමයෙන් ලැබුණා. “

නදීමාල් තමන්ගේ මියුසික් වීඩියෝවට හර්ෂිව සොයා ගන්නෙත් අපූරු සොයා යාමකින්. ඒ සොයා යෑමට නදීමාල්ව යොමු කරන්නේ ඔහුගේ ගජ මිතුරු සජිත ඇන්තනී.

“මියුසික් වීඩීයෝව කරන්න අදහස ආවම සජිත මට වැඩක් පැවරුවා. ඒ විඩියෝවේ රංගනයට ගෑනූ ළමයෙක් හොයන්න. මම එක ගෑනූ ළමයෙක්ට කතා කළා. ඒත් ඇය රඟපාන්න කැමැති වුණේ නැහැ. අහපු පළවැනි කෙනාම බෑ කිව්වම මම හිතුවා සජිතටම වැඩේ භාර දෙන්න. හර්ෂිව සමාජ මාධ්‍යකින් දැක්කට පස්සේ සජිතට කිව්වා කතා කරලා බලන්න කියලා. හර්ෂි ඒ ආරාධනාව භාර ගත්තා.“

තමන් නිහඬව සිටි කාලේදී පවා තමන්ව අමතක නොකළ රසිකයෝ ගැන මතක් කරන්නත් නදීමාල් අමතක කළේ නැහැ.

“ මට ආදරය කරන රසිකයෝ හැමදාම අලුත් ගීතයක් කරන්නේ නැද්ද කිය කිය මගෙන් ඇහුවා. ‘ආදරියේ‘ ගීතය එළියට ආවට පස්සේ ලැබෙන ප්‍රතිචාර නම් හිතා ගන්න බැරි තරම්. ‘නුරා වසන්තේ‘ ගීතය රිලිස් කළාමවත් මට මේ තරම් දුරකථන ඇමතුම් ආවේ නැහැ. මගේ පළවෙනි ගීත රචනයට මේ වගේ ආදරයක් ලැබෙනවා කියන්නේම සතුටට කාරණයක්. මගේ පෙර පිනක් නිසා වෙන්න ඇති මේ වගේ ආදරයක් ලැබෙන්නේ. මගේ රසික රසිකාවන්ට මම හැමදාමත් ණය ගැතියි.

නින්දා ප්‍රශංසා කියන්නේ එකම තරාදියක දෙපැත්ත වගේ. නදීමාල් ද ඒ සත්‍යටත් මුහුණ දුන් තරුණයෙක්.

අපි ගැන හරියට දෙයක් දන්නේ නැති මිනිස්සු කිසිම දෙයක් හොයන්නේ නැතුව අපිව විවේචනය කළා, මඩ ගැහුවා. සමහර මාධ්‍ය බොරු දේවල් කියලා අපිව නැති කරන්න හැදුවා. මුල් කාලේ නම් මට ඒවා දැනුණේ හරිම අවුල් විදිහට. මාව ළඟින්ම ඇසුරු කරන අය දන්නවා මම ජීවත් වෙන විදිහ. ඒ කිව්ව කතා ඇත්ත නම් අපි මෙහෙම එළියේ ඉන්න විදිහක් නැහැ. මම වැරැදි නැති නිසා මිනිස්සු මොනවා කිව්වත් මම දැන් ගණන් ගන්නේ නැහැ. මිනිස්සුන්ගේ ස්වභාවය දැනන් ජීවත් වෙනවා. අපි මිනිස්සුන්ව ගීතයක් කියලා සතුටු කරන්න ඉපදුණූ මිනිස්සු. මේ ක්ෂේත්‍රයේදි අපිට පෙරළා මැනලා මිනිස්සු ආශ්‍රය කරන්න බැහැ. ඉදිරියෙදි මම කල්පනාවෙන් වැඩ කරනවා. සිද්ධ වුණු දේවල් ආයේ වෙන්න නොවෙන්න. ඒ වගේ දේවල්වලට ආයේ මුහුණ දෙන්නත් සිද්ධ වෙන්න එපා.

‘ආදරියේ‘ ගීතයෙන් සිය නිහඬතාව බිඳිමින් යළි කරලියට ආ නදීමාල් මේ වසරේම තවත් ගීත දෙකක් රසිකයන් අතරට ගේන්න වගේම Pointfive එක්ක සංගීත කරළියේ ඇලුත් වැඩ කරන්නත් සූදානම්.

Comments