නායකයා | සිළුමිණ

නායකයා

මා සම්බන්ධ වී සිටි දේශපාලන පක්‍ෂයට ප්‍රමාණවත් තරම් කථිකයන් සිටියේ නැත. එබැවින්, කතා කිහිපයක් පැවැත්වීමෙන් පසු මා ඉබේම තරමක නායකයකු ලෙස පිළිගැනිණි.

ඒ දිනවල මගේ කතාවලට විෂය වු කරුණු මොනවාදැයි මට දැන් මතක නැත. එහෙත් මගේ කතාව පවත්වා වේදිකාවෙන් බසින විට රැස්වීමට පැමිණ සිටි ගැහැනු පිරිමි කවුරුත් අකුණු පිපිරෙන හඬින් ජයඝෝෂා නගමින් අත්පොළසන් දුන් අයුරු නම් මට තවමත් හොඳින් මතක තිබේ. ඒ හඬ මා මහත් ප්‍රීති ප්‍රමෝදයට පත් කළේය. මගේ හැකියාව පිළිබඳව මට දැනුණේ ආඩම්බරය මුසු සතුටකි.

මගේ මේ සැඟැවුණු හැකියාවෙන් කල් තියාම වැඩ ගන්නට නොලැබීම ගැන මම කනගාටු වූයෙමි.

මිල කළ නොහැකි තරම් වටිනා වසර ගණනාවක්ම මගේ ගත සිත පිනවීම සඳහා මිල මුදල් ඉපැයීමේ ගැටලුවත් සමඟ පොර බදමින් කාලය නාස්ති කොට තිබීම ගැන මම සිය දහස් වර මටම දොස් පවරා ගත්තෙමි. මා එසේ කාලය නාස්ති කොට නොතිබුණා නම් අද වන විට මගේ නම ද නොඅනුමානවම රටේ සුප්‍රසිද්ධ නායකයන්ගේ නම් සමඟ පුවත්පත්වල පළ වෙන්නට ඉඩ තිබිණි. ඒ ගැන මට අබ ඇටයක තරම්වත් සැකයක් නැත.

කිසියම් පැරණි දේශපාලන පක්‍ෂයකට මා බැඳී සිටියා නම් ඒ ගැන කිසිසේත්ම සැකයක් තිබෙන්නට ඉඩක් නැත. එසේ වූයේ නම් අද වන විට මා කැබිනට් ඇමතිවරයකු පවා වන්නට ඉඩ තිබිණි.

පක්‍ෂ රැස්වීම්වලදී මා පැවැත්වූ කතා, පැමිණ සිටි නෝනාවරුන් සහ මහත්වරුන් අසා සිටියේ ඉදිකටු තුඩක් බිම වැටුණ ද ඇසෙන තරමේ නිහඬතාවයක් පවත්වා ගනිමිනි.

ඒ අතර, දේවකී නමැති, මගේ මිත්‍රයාගේ සොහොයුරිය වූ තාරා මෙණෙවිය ද ඒ කතාවලට සවන් දෙමින් ඉතා ඕනෑකමින් මා දෙසම බලා සිටිනු දැකගත හැකි වූ අතර, කථිකයකු පමණක්ම මිස කවියකු නොවන මට ඒ බැල්මේ අරුත වටහාගත නොහැකි විය. එහෙත් එහි කිසියම් අරුතක් ගැබ් වී තිබුණු බව නම් මට වටහාගත හැකි විය. පැහැදීම සහ ගෞරවය මෙන්ම ඇතැම්විට ආදරය ද එහි තිබුණා වන්නට ඇත.

එයට පෙර කිසිදු දිනෙක මම කාන්තාවකගේ ආදරයට හිමිකම් ලබා නොසිටියෙමි. ඒ නිසාම එවැනි ආදරයකින් කෙනෙකුට දැනෙන මිහිර කුමන ආකාරයේ එකක්දැයි මා දැන සිටියේ නැත. එහෙත් සරල ජීවවිද්‍යාත්මක හේතු මත මට ද කාන්තාවක ගැන සාමාන්‍ය කුතුහලයක් සහ උනන්දුවක් තිබිණි. ආසාවක් ද නොතිබුණා නොවේ.

ඉතින් මම තාරා මෙණෙවිය පිළිබඳව කිසියම් උනන්දුවක් දක්වන්නට වූයෙමි. ඉඩ ලද සෑම අවස්ථාවකම ඇය හා මොන මොනවා හෝ දොඩන්නට මම ආසා කළෙමි.

ඇය මා හා කතා කළේ භක්තිය සහ ගෞරවය මුසු හැඟීමකිනි. ඒ ඇය සාමාන්‍ය පෙළ විභාගය සමත්ව සිටි කාලය විය. එබැවින් මා වැනි ප්‍රකට දේශපාලන නායකයකු සමඟ කතා කරන විට ඇය වැන්නියක මා කෙරෙහි එබඳු ගෞරව සම්ප්‍රයුක්ත බවක් පළ කිරීම සාමාන්‍ය දෙයකි.

අප අතර එක්තරා ආකාරයක කුලුපග බවක් ගොඩ නැගිණි. එසේම, එයට පෙර නොවූ තරම් සමීප බවකින් යුතුව මම දේවකීව ද ඇසුරු කරන්නට පටන් ගත්තෙමි. ඔහු ඉමහත් පිළිගැනීමට පත්ව සිටි දේශපාලන ක්‍රියාකාරිකයෙකි. ඒ කාලයේ දේශපාලන නායකයන් සමඟ ඔහුට සෘජු සම්බන්ධකම් තිබිණි. මුළු රට පුරාම ඔහුගේ නම ප්‍රසිද්ධ වී තිබිණි.

මා ඔහුව හමු වන විට ඔහු සිටියේ දේශපාලන ව්‍යාපාරය සහ පරමාදර්ශ පිළිබඳව විශ්වාසය බිඳගත් සිතින් යුතුවය. ඔහුට ළඟා වීමට අවශ්‍යව තිබු ඉලක්කය පොදු ජනතාවගේ ක්‍රියාකාරී අනුග්‍රහය හා සහයෝගය නොමැතිව කිසිසේත්ම ජයගත නොහැකිය යන සරල කාරණය ඔහු ඉගෙනගෙන තිබුණේ අමිහිරි අත්දැකීම් ඔස්සේය.

මෙය තේරුම්ගත් වහාම ඔහු ගමින් ගමට යමින්, සිය පක්‍ෂයට ජනතා සහයෝගය ලබාගැනීම සඳහා නොනවත්වාම වැඩ කරන්නට පටන් ගත්තේය. දිනපතාම ඔහු මඩ ගොහොරු වැනි වූ, දූවිලි ගහන ගුරු පාරවල් දිගේ පයින්ම සැතපුම් ගණන් ඇවිද්දේය.

ඒ වන විට දරුණු නියං සමයක් ද ඇරැඹී තිබිණි. වියරු ඒකාධිපතිවාදය නමැති රකුසා සමඟ සටන් කිරීමට ජනතාව ඒකරාශී වීම සඳහා වු දේශපාලන කතා මේ කාලයේ දී කාටත් පෙනුණේ හුදු විහිළු ලෙසය. එහෙත් දේවකී කිසිදු විවේකයක් නොලබාම වැඩ කළේය. ඔහු ගම් වාසීන්ට දේශපාලන කටයුතු ගැන බොහෝ දේ කතා කළේය. වරක් දෙවරක් නගරයේ කඩවීදිවල ද ඔහු රැස්වීම් පැවැත්වූයේය.

වරක් එවැනි රැස්වීමක කතා කරන්නට ඔහු මට ද ආරාධනා කළේය. “තාරා දේශපාලනයට ඇවිල්ලයි ඉන්නෙ. එයත් රැස්වීමෙදි කතාවක් පවත්වනවා. තමුසෙත් එන්නම ඕනෙ.”, ඔහු කීවේය.

තාරා එන බව ඇසීමෙන් මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියෙමි. රැස්වීම පැවැත්වෙන්නේ දුර ඈත ගමකය. එදාම ආපසු එන්නට අපට හැකි නොවනු ඇත.

තාරා සමඟ නිදහසේ කාලය ගත කරන්නට මට ඇති තරම් අවස්ථාව ලැබෙන බවට කිසිදු සැකයක් නැත. මෙවැනි වටිනා අවස්ථාවක් මඟ හැරියහොත් යළි කවරදාකවත් එය ආපසු නොලැබෙනු ඇත. යෝජනාව ඉදිරිපත් වූ මොහොතේම එය පිළිගත යුතු යැයි මම තීරණය කළෙමි.

කෙසේවූවද, යෝජනාව එක්වරම පිළිනොගෙන තරමක අකමැත්තක් පෙන්වන්නැයි මගේ මහන්තත්තකම මට බල කර සිටියේය. එබැවින් එක්වරම මගේ කැමැත්ත පළ නොකරන්නට මම හිත හදාගත්තෙමි. “රැස්වීම තියෙන්නෙ හුඟක් දුර පළාතකද?”, මම ඇසීමි.

“ටිකක් ඈත පළාතකනං තමයි යාළුවා. අපිට යන්න වෙන්නෙ බස් එකෙන්. හැතැප්ම තිහක් විතර ඇති.”

“එතකොට රෑට නවතින්නෙ කොහෙද?”

“ඒ ගැන බයවෙන්න දෙයක් නෑ. එහේ ඉන්නවා ටිකක් පෝසත් මාළුකාරයෙකුගෙ පවුලක්. මං ඒගොල්ලන්ට පණිවිඩයක් යැව්වා අපි එහේ නවතිනවා කියලා.”

“ලොකු සෙනඟක් ඉඳියිද, එහෙම නැත්නං ඔය සීයකට දෙසීයකට විතර ගිරිය කඩාගෙන කෑ ගහන්න වෙයිද?”

“නෑ අපි හිතනවා සෑහෙන සෙනඟක් එයි කියලා. රැස්වීම ගැන ගමේ විතරක් නෙමෙයි මුළු පළාතෙම හොඳ ප්‍රචාරයක් දීලයි තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි, මිනිස්සුන්ට කියල තියෙන්නෙ ආහාර ප්‍රශ්නය ගැනත් රැස්විමේදි සාකච්ඡා කරනවා කියලයි. ඒ හින්දා අනිවාර්යෙන්ම ලොකු සෙනඟක් එයි.”

එක් අතෙකින් පැය විසි හතරකටත් වැඩි කාලයක් තාරාගේ සමීප ඇසුර ලබන්නට හැකිවීමත්, අනෙක් අතින් විශාල ජනකායක් රැස්වීමට එතැයි දේවකී විසින් දෙනු ලබන සහතිකයත් යන මේ කරුණු දෙකම මට වැදගත්ය. රැස්වීමට යෑමට මා තුළ වූ කැමැත්ත පෙරටත් වඩා තදින් දැනෙන්නට විය.

“හරි, තමුසෙ ඔච්චරම කියන හින්දා මං එන්නංකො එහෙනං.”, මම කීවෙමි.

“තමුසෙ එන්නම ඕනෙ තමයි.” දේවකී පිටත්ව ගියේ නැවත වරක් එසේ කියමිනි.

පසුදා උදැසන, වේලාසනින්ම උදේ ආහාරය ගැනීමෙන් පසු මම පාර දිගේ ඇවිදගෙන අප හමුවීමට නියමිතව තිබු තැනට ගියෙමි. ඒ වන විටත් තාරා චාම් සාරියකින් ලස්සනට සැරසී දේවකී අසලට වී මඟ බලා සිටිනු මම දිටිමි.

මා දුටු දේවකී සතුටට පත් වූ බව පෙනිණි. “හා... එනවා, එනවා. බස් එක පිටත් වෙන්න තව තියෙන්නෙ විනාඩි පහයි.”, ඔහු කෑ ගසා කීවේය.

නිහඬවම තාරාගේ පැත්තෙන් සිට ගත් මම, සමාජ බැමි නමැති සුවිසල් පවුර බිඳ, සුනු විසුනු කොට දමා කවදා හෝ දිනෙක තාරා මගේ ජීවන සහකාරිය බවට පත් කරගන්නට හැකි වේදෝයි සිතන්නට වීමි.

සුළු මොහොතකින් අප රැගත් බසය පිටත් විය. ඈත පිටිසර පළාතක ගමක කඩපොළක් වූ එය බැලූ බැල්මට අපුළ දනවන්නා වූත්, ප්‍රමාණයෙන් කුඩා වූත් තැනක් විය. දුකින් බුම්මාගෙන බලා සිටින වැන්දඹු ගැහැනුන් පිරිසක් මෙන් දිස් වූ මඩු කිහිපයක් කඩපොළ මැද්දට වන්නට සාදා තිබිණි.

ඒ එකකවත් බිත්ති තිබුණේ නැත. ආවරණය කළ මඩු අතර වුයේ එකම එක සිල්ලර බඩු කඩයක් පමණකි.

ගමේ කුඹුරු යායවල් දිගේ වංගු ගසමින් බස් නැවතුමේ සිට සැතපුම් තුනක් පමණ දුරක් පයින්ම ඇවිදගෙන අප නියමිත තැනට ළඟා වන විට සවස 5 පමණ වී තිබිණි. ඒ වන විටත් රැස්වීමට සෙනඟ ඇදී එමින් සිටියහ.

මම කතාව පැවැත්වීමට නැගී සිටියෙමි. ජාතික හා විජාතික දේශපාලනය ගැන කරුණු ගෙන හැර දක්වමින් වේගවත්ව කතා කළ මම ඒකාධිපති බලයට දැඩි ලෙස පහර දුන්නෙමි. අධිරාජ්‍යවාදයේ කුරිරුබව ගැන ද මම කතා කළෙමි. මගේ කතාවට කන් බිහිරි කරවන තරම් ඔල්වරසන් නැගිණි.

සන්ධ්‍යාව කෙමෙන් ගෙවී යන්නට විය. හිරු බැස යන්නට ආසන්න වී තිබිණි. සෙමෙන් සෙමෙන් අඳුර වැටෙමින් තිබිණි.

ඉන්පසු එක්වරම අමුතු දසුනක් මා දැස් ඉදිරියේ දිග හැරෙන්නට විය. මා කතාව පවත්වමින් සිටියේ උස් වේදිකාවක වූ බැවින් ඉතා ඈත සිදු වන දේ පවා මට පැහැදිලිව පෙනිණි.

මා දුටුවේ සැතපුම් භාගයක පමණ දුරින් වූ මහා ජන ගංගාවකි. ගැහැනුන්ගෙන් පමණක් සැදුම් ලත් ඒ දිග පෝලිම අප දෙසට ඇදී එමින් තිබිණි. එය තව තවත් ළං වන විට ඔවුන්ව වඩාත් හොඳින් දැකගත හැකි විය.

කුණු දූවිලි තැවරුණු වැරහැලි ගත දවටාගෙන සිටි ඒ කෙට්ටු, දුබල සිරුරු මඳක් නැමීගෙන පෙරට එමින් සිටියේ ඉදිරියෙන් හමා එන සැඩ සුළං පහරෙන් ගැලවෙන්නට මෙනි. සුළඟේ වේගය දරාගන්නට නොහැකි තරම් වූ බැවින් ඔවුන් තව තවත් පහත් වෙමින් ඉදිරියටම එන අයුරු දැකගත හැකි විය. ඇතැමුන්ගේ හිස් ගෙඩි බිම ගෑවෙන තරමටම පහත් වී තිබිණි.

කාලයකින් තෙල් පොදක් හෝ නොදුටු ඔවුන්ගේ හිස කෙස් දූවිලි හා වැලිවලින් වැසී හැඩපලු ගෙතී තිබිණි. ඔවුන්ගේ හිස් කිසිදු ආකාරයකින් ආවරණය වී නොතිබුණු බැවින් සුළඟට හසු වූ කෙස් කැරළි ගැලවී වැටෙන තුරු පත් මෙන් ඒ අතටත් මේ අතටත් තදින් වැනෙන්නට විය.

විළි වසාගෙන සිටි වැරහැලිවල කෙළවරවල් සුළඟේ සැලෙමින් තිබිණි. මේ අඳුරු තඹ පැහැති සිරුරු දිස් වූයේ සම හා ඇට පමණක් සහිත සැකිලි ගොඩක් මෙනි. ඔවුන්ගේ බඩපොතු පිටටම ඇළී ගොස් තිබිණි. ඔවුන්ගේ මධුර අමරස ගබඩාවන් වූ පියයුරු වවුලන් මෙන් වියළී, හැකිළී ගොස් ඉරුණු කමිස සාක්කු මෙන් පපු මතින් එල්ලා වැටෙමින් තිබිණි. ඔවුන්ගෙන් ඇතැමෙක් දරුවන් පිටේ එල්ලාගෙන හෝ වඩාගෙන සිටියහ.

ඔවුන් අප දෙසට ආවේ ඇද වූ අක්-වක් රේඛාවක ආකාරයට බඩගාගෙන ඉදිරියට ඇදෙන උරගයන් සමූහයක් සේය. ඔවුන්ගේ දෑස් සහ මුහුණු ඉතා දරුණු කුසගින්නකින් දිදුලමින් තිබිණි.

බිහිසුණු චණ්ඩ මාරුතයකින් මුළු ලොවම ගිල ගන්නට උතුරුකරයේ රටවල් වෙතින් දැවැන්ත වේගයකින් ගසාගෙන එන ගිම්හාන කුණාටුව ලෙස ඔවුන් දිස් විය. ලොකු, කුඩා, මධ්‍යම ප්‍රමාණයේ වලාවන් ලෙස, සියලු ප්‍රමාණයන්ගෙන් සහ බියකරු කළු, තද අඳුරු, දුඹුරු සහ සුදු මුසු කළු, ධුමකේතුවක විවිධ පැහැයන්, වෙනම ලෝකයක හිරු එළියක් හා මුසු වූ කළු ආදී විවිධ පැහැයන්ගෙන්, එක පිට එක වැටුණු කුඩා කාණ්ඩ ලෙස හෝ පිළිවෙළට පෙළ ගැසුණු කළු වලාවන් ලෙස ඔවුන් එසේ නොනැවතී ඉදිරියට ඇදී එමින් සිටියේ වසරක් පුරාවටම නිවාගත නොහැකිව තිබූ කුසගින්න සංසිඳුවා ගැනීම සඳහාය.

ඔවුහු තව තවත් ඉදිරියට එමින් සිටියහ. ඔවුන්ගේ දෑත් සිරුරුවලින් ගැලවී කිසියම් කෘත්‍රීම කුහරයකින් එල්ලෙන්නාක් මෙන් දිස් විය. ඒවා එල්ලා වැටුණේ අතු ඉදිරී වැටුණු දැවැන්ත ගසක ගැලවුණු පොතු මෙනි. හරියටම ඇටසැකිලි අත් මෙන් පෙනුණු ඒවා කිසියම් විසකුරු සර්පයකුගේ රත් පැහැය දරා සිටින්නාක් මෙන් විය. ඔවුන්ගේ දත් හකුපාඩාවලින් පිටතට නෙරා විත් තිබුණේ කිඹුල් දත් මෙනි.

මේ එන්නේ යක්‍ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ පිරිවරයැයි මට සිතිණි. ඈත පිහිටි ගිරිහෙල් කඳු හෙල් සියල්ල ගිල දැමිමෙන් පසුව වූවද ඔවුන්ගේ කුසගින්න නිවී ගොස් නැත. ඉතින් ඔවුන් අද ගම්බිම් සොයාගෙන එන්නේ එබැවිනි. අද ඔවුන් රූස්ස ගස්, පඳුරු සහ පැළෑටි ඇතුළු සියලු ගහකොළත්, මිනිසුන්, අපා දෙපා සිවුපා සතුන්, පක්‍ෂීන්, මසුන් ඇතුළු සියලු දෑ කා දමනු ඇත. පොළොව මත. දිය යට සහ අහසේ ඔවුන්ට හසු වන සියලු දෑ කා දමා අවසානයේදි ඔවුන් සිය කුසගිනි නිවා ගනු ඇත. කැලැඹුණු මුහුදෙන් මතු වන චණ්ඩ ගං වතුරක් හසු වන සියලු දේ විනාශ කර දමන අයුරින්ම ඔවුන් හමු වන සියලු දේ කා දමමින් ඉදිරියටම ඇදෙනු ඇත. අනුකම්පාව, දයාව, වෛරය, ඊර්ෂ්‍යාව ආදී වූ මේ කිසිදු ආකාරයේ හැඟීමක්, මිනිසත්කමට අදාළ කිසිවක් ඉතිරි නොවනු ඇත.

වියරු කුසගින්නෙන් මත්ව සිටින ඔවුන් හැඟීම් දැනීම් නැති රුදුරු මකරාක්‍ෂයකු මෙන් මුළු ලොවම කා දමනු ඇත. ඔවුන් හැසිරෙනු ඇත්තේ බිත්ති මත දුවමින් කෘමීන් කා දමන හූනන් මෙනි.

ඒ රුදුරු කුසගින්නෙන් ගැලවී පලා යා හැකි මඟක් පෙනෙන්නට නොතිබිණි. ඔබට, මට හෝ අන් කිසිවෙකුට හෝ ගැලවිමක් පෙනෙන තෙක් මානයක නොවීය.

මා කතාව පැවැත්වීම නැවැත්වූයේ කොයි මොහොතේදැයි මතකයක් මට නොවිණි. කතාව නවත්වා තිබුණද ඉදිරියට නෙත් යොමාගෙනම මම වේදිකාවේ රැඳී සිටියෙමි. මගේ හිසේ කෙස් සියල්ල කෙළින් වී ඇති බවක් මට දැනිණි. කිසියම් බලගතු කාන්දමක් මඟින් වේදිකාව මතට මා දැඩිව බැඳ තබාගෙන සිටින්නේයැයි මට සිතිණි.

මා නොසැලී එතැනම සිටියේ පිඹුරෙකුට හසු වන අසරණ සතෙකු අන්ත අසරණ වෙමින් කිසිදු විරෝධයක් නොපා උගේ මුව තුළට යන්නාක් මෙන්ම අර වේගයෙන් ඇදී එන මිනිස් සර්පයන් පැමිණ මා ගොදුරු කරගන්නා තුරුය.

ඔවුහු තව තවත් ඉදිරියට ආහ. ක්‍රමයෙන් රැස්වීම පැවැත්වූ ස්ථානය සමීපයටම ඔවුහු ළඟා වූහ. ඇටසැකිලි කිහිපයක කෙසඟ දෑත් එක්වරම ඉදිරියට දිගු විය. අප සිටි දෙසට එල්ල වූ ඒ දෑත් තමන්ට සොයාගත හැකි ඕනෑම දෙයක් ඩැහැ ගන්නට මෙන් එහා මෙහා වැනෙනු දැකගත හැකි විය. ඒවා දිස් වූයේ තියුණු අඬුවලින් ගොදුරු ඩැහැගන්නට උත්සාහ ගන්නා යෝධ කකුළුවෙකුගේ පාද මෙනි. ඇතැම් ඇටසැකිලි කිසියම් හාස්කමකින් එක්වරම පණ ලබා මුළුමහත් මිනිස් සංහතියම ගිල දමන්නට පැමිණ සිටින්නේයැයි මට සිතිණි.

අවතාර බඳු වූ ඒ ඇටසැකිලි සමූහය එක්වරම මහා හඬින් කෑ ගසන්නට වූහ. “අපිට බත් ටිකක් දෙන්න. අපිට කෑම ඕනෙ. අපිට වී ඕනෙ.” ඔවුන්ගේ ඒ විලාප හඬ, කැළයක ඇති වියළි උණ බට විශාල සංඛ්‍යාවක් එකම වරක පුපුරා යන විට ඇති වන හඬ වැනි එකක් විය. ඒ බියකරු හඬින් මම යළි පියවි සිහි එළඹා ගතිමි. මහ හඬින් කෑ ගසාගෙන වේදිකාවෙන් පිටතට පැනගත් මම ඒ අසල වූ බොරලු පාර දිගේ වේගයෙන් දුවන්නට පටන් ගත්තෙමි. මගේ ජීවිතය හෝ මරණය රඳා පවතින්නේ කොතරම් වේගයෙන් එසේ දිවිය හැකිදැයි යන කාරණය මත යැයි මට සිතිණි. පසුපස හැරී බලන්නට පවා මට දැනුණේ බියකි. “අපිට බත් ටිකක් දෙන්න, අපිට කෑම ඕනෙ, අපිට වී ඕනෙ” යන ඒ වචන දිගින් දිගටම මගේ දෙසවන් තුළ දෝංකාර නගන්නට විය. මගේ කන්බෙර සිදුරු කරගෙන ගිය ඒ වචන මිටියක් මෙන් මගේ පපුවේ වැදෙනු මට දැනිණි.

මම තව තවත් වේගයෙන් දුවන්නට වීමි. මට අන් සියලු දෙනා අමතකව ගොස් තිබිණි. දුවන අතරේදී මා සිතුවේ මගේ දිවි ගලවා ගැනිම ගැන පමණි. මම නායකයෙක්මි. මම කථිකයෙක්මි.

ඔවුන් ස්ථිර වශයෙන්ම මාව කා දමනු ඇත. ඒ ඇටසැකිලි සමූහය කැගසා අර බියකරු වචන කියමින් මා පසුපස එන්නාක් මෙන් මට පෙනෙන්නට විය.

මම තව තවත් දිව්වෙමි. කෙසේ හෝ මා දිවි ගලවා ගත යුතුමය. මම නායකයෙකුව සිටියෙමි. මට හොඳ අනාගතයක් ඇත. අවතාර ඇටසැකිලි බඳු සිරුරු තව මොහොතකින් දූවිලි බවට පත් වී පොළොවට පස් වනු ඇති අතර, ඉන්පසුව මගේ ස්වර්ණ සමය යළි උදා වනු ඇත. එබැවින්, එදා ඔවුන් එල්ල කළ ඒ ප්‍රහාරයෙන් ගැලවී පලායෑම මවිසින් කළ යුතුම දෙයක්ව තිබිණි. කෙසේ හෝ දිවි ගලවා ගන්නෙමැයි මටම දිවුරා පොරොන්දු වෙමින් මගේ ජිවිතය රැකගැනිම සඳහා මම එදා හැකි තරම් වෙර යොදා දිව්වෙමි.

(බංග්ලාදේශ ලේඛක අබු ජෆාර් ෂම්සුදීන් විසින් රචිත The Leader නමැති කෙටිකතාවේ අනුවර්තනයකි)

ඔබේ කෙටිකතා පහත ලිපිනයට යොමුකළ හැකිය.

සිළුමිණ කෙටිකතාව,

ලේක්හවුස්, කොළඹ 10.

දුරකතනය 011 2429264

විද්යුත් තැපෑල : [email protected]

Comments