කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

පාට­කට පුළු­වන්ද ජීවි­තය පුර­වන්න

කුඩා කල දුටු ජන්ම පත්‍රය
කියා සිටියා ජය වර්ණය
වෙන්නේම ළා නිල...

උදෑ­සන අහ­සක
වලා කැටි තල්ලු­කර ඈතට
ඉති­රි­කර ගතිමි ළා නිල...

වාර­කන් නොවන සයු­රක
සිහින් රැලිති මාලා ඉව­ත්කර
උරා ගත්තෙමි ළා නිල...

කට­රොළු මලක
විය­පත් වෙන්න ඉස්සර
නෙළා ගත්තෙමි ළා නිල...

දමා ගිය මොනර පියා­ප­තක
දූලි වැකෙ­න්නට පෙර
රැක­ග­තිමි ළා නිල

හේතුව සඟවා සැම­ටම
නිදන කාමරේ බිත්ති
පින්තාරු කළෙමි ළා නිල

එක්තරා යුග අතී­තෙක
හැඩයි කීවෙමි ඔබව
ගවු­ම­කට පාටැති ළා ...

අඳුරු පෑ මත­කා­න්ද­ර­යක
අද­ටත් ඉති­රිව හාත්පස
පරා­ජිත හිසින් බිම බලා­ගෙන
අහස් පාටැති ළා නිල...

• කපිල එම්. ගමගේ

**************


ආචාර්ය මහ­ගම සේකර ?

නෑ නෑ එයා සේකර
පුතය වගේ ගිය සේකර
පං මල්ලක් අතට කරං
තුම්මං­හ­න්දිය පහු­කර
අඩුම කුඩුම සොයා එන්න
ටවු­මට ආ ගිය සේකර...

කොළඹ දුවන කෝච්චි­යෙන්
මර­දා­නට යන එන කොට
පොඩි­ප­ට්ටම් ගැනු පිරිමි
එක කවි­යක දුටු සේකර....

මොන බම්බුද ඔය උපාධි
ජීවි­තයේ සංගී­තය
දා බිඳු­වක රැඳි රිද්මය
උදැල්ල ගැටෙනා තාලය

මැෂින් හඬන
යකඩ ගැටෙන
වතුර කළය රැගෙන ඇදෙන
ළිප මොල­වන
වතුර පැහෙන
කෝච්චි හඬ දුරට ඇහෙන

කුණු බක්කිය වට මොර දෙන
සුලබ කපුටු හඬ අස­මින
සොයා ගත්තෙ ඒ රිද්මය
ආචාර්ය සේකර නොව
මහ පාරේ ගිය සේකර
පුතය වගේ ගිය සේකර

• චාමි­කර ජය­සිංහ

***********

ටීචර් සහ උපන් දිනේ

උපන් දිනේ අදයි මගේ අම්ම උදෑ­සන කිව්වා
කහට කෝප්පය අර­ගෙන හිස පිරි­මැද මට පෙව්වා
මිරි­වැඩි නැති ඇගේ දෙපා රබර් අඩ­වි­යට දිව්වා
වෙනද වගේ මං තනි­යෙම ඉස්කෝ­ලෙට මඟ සෙව්වා

පන්ති බාර ටීචර් මට අතර මඟදී මුණ ගැහුණා
පුරුදු ලෙසම පාළු නොවෙන තොල් හස­රැ­ල්ලෙන් දිලුණා
ඇගේ අතේ වෙනදා නැති ලොකු පෙට්ටි­ය­කුත් තිබුණා
පරි­ස්ස­මට තුරුළු කරන් ඇය එය ගෙන­යනු පෙණුනා

බුදුන් වැඳලා යළි එන­කොට දෙව් ලොව අසි­රිය මැවිලා
පන්තිය මැද වට රවු­මට පාට රෝස මල් පිපිලා
ටීචර් මගෙ ළඟට ඇවිත් ආද­ර­යෙන් තුරුලු වෙලා
කේක් කප­න්නට අපි යමු කිව්වා දෝතම සිඹලා

කඳුළු සිඳුණු මගෙ නෙත් යුග අයැ­දියි කඳු­ළැලි සහ­සක්
ඇගේ පාමුල මට දැනුනා කරු­ණාවේ සඳ සිසි­ලක්
යෙහෙ­ළි­යන්ගෙ ආසිරි මැද තැව­රුණි දෙතො­ලඟ මිහි­රක්
සතුට නුහුරු මගේ හදට අද­මයි දැනුණේ සතු­ටක්

පින් මදි­වුන මගෙ දිවි­යට වටි­නා­කම දුන්නෙ ඔබයි
ටීචර් මට ඔබ සෙනෙ­හස නමු­නු­කු­ලට වඩා උසයි
ඔබ වැනි ටීචර්ලා ළඟ අසෙ­නිය මල් සුවඳ හමයි
ඒ සුව­ඳින් සේදිලා කකි­යන සිත් සුව­පත් වෙයි

• දම්මිණී ප්‍රේම­චන්ද්‍ර ෆොන්සේකා

************

නාය

කඳුළු බොර පාටින් ගලා­යන
නාය ගිය හෙල් කඳු­කරේ
සිහින මාළිග ලිහී යනවා
ලෙච්ච­මී­ලගෙ පපු­තුරේ

හිච්චි කොලු එල්ලු­නත් කිරි නැති
තන­පු­ඬුව තද­කර විකා
සංගු­වට ඇහැ ඇරී දුව­පන්
රොටි පළුව බාගෙට කකා

කාලෙ­කින් ගෙන පිච්ච මල්
වැල වරළ සර­සනු බැරි නිසා
මාද­වන් මිනි ව⁣ළේ දඟ­ලයි
දෙඅත් පපු­වට ගස ගසා

කංකානි එයි උගුර පාදන්
දලු කූඩෙ බර­දැයි කියා
යන්ත­මින් බුරු­ලක් නොදෙන්නී
තුනු සපුව යට ගිනි තියා

හීත හුළ­ඟට දුක කියා­ගෙන
ලැයින් කාම­ර­­යට වැදී
පාළු නළලේ තිලක සොය­මින්
තවම ලෙච්චමි ඉකි­බිඳී

නාය ගිය දා මාද­වන් ලා
සැඟ­වුණා පස් කඳු කැඩී
තාම නොදැනේ ⁣වරද කිම­දැයි
පනස් ගණ­නකි සුදු කොඩී

සේදි සේදී ඇගේ හද­වත
තවම කඳු­ළින් නැත මිදී
ලාබ සාරිය දෙවුර වැසුවා
අකුණු පුපු­රන අත­රෙදී

ඉහ ගහ­න්නට නොහැකි කළු­ගල්
ළඟදි නැති දා කුළු­ගෙඩී
මහ පොළොවෙ මුර දේව­තා­වුන්
අදත් මොර­ටු­වට ම වඩී

• ශ්‍රියා හිඳු­රං­ගල

****************

පැතුම

බුදු සිරි­ප­තුල වැඳ නව හිරු නැගෙන විට
සිරි­මහ බෝ රජුන් පිස නල ඇදෙයි ගෙට
රන්මැලි සෑයෙ තෙද බල­යෙන් ලොව සැමට
රෝබිය දුරුව තුට ළංවේවා සිතට

දළදා සමිඳු පිහි­ටෙන් ලොව සුරැ­කේවා
කඳිර සුරිඳු බල­යෙන් දුක නැති­වේවා
ගැමුණු නිරිඳු තෙද බල සැම­හට වේවා
සමන් දෙවිඳු ආසිරි ලැබ ජය­වේවා

ළංවී සැවොම ආගම දහ­ම­ටම අමා
මකලා දමමු රුදු සෙව­ණැලි නොවී පමා
වර­දට සමා යදි­නෙමු අපි සිරස නමා
දෙවි­ඳුනි රකිනු මැන ලෝකය වෙමින් කමා

රිවි දුටු පින්නසේ රෝබිය වියැ­කේවා
සැන­සුම සතුට ජය නොඅ­ඩුව ළංවේවා
අඩු­වක් නැතිව ගොඩ­මඩ දෙක සරු­වේවා
⁣තෙරු­වන් බෙලෙන් ඔබ දිගු­කල් වැජ­ඹේවා

• ඩයනී මාලිකා

*************

පාඩම

තවත් නම් එපා මට
සසර යළි දකි­න්නට
හිත තැලුණු හැම විට
දුටුව දුක මහ­මෙ­ර­කට...

හැරුණු විට කණ­පිට
දුකයි ආදරේ හැම­විට
බිඳුණු සිත සඳ­හට
නොඒ පෙරවූ විල­සට...

මට මාවත් නැති­කොට
රව­ටනු සිත කුමට
වහල් නොම වී සිතට
සමු දෙමි මම නුඹට...

මට පාර කැපු­වට
සස­රම එපා වෙන්ට
නුඹට තුති මල් මිට
යළි නොඑමි සස­රට..

• ජය­සේන කොඩි­තු­වක්කු
 

*************

දේවතා එළි

තෙරක් නොපෙ­නෙන විසල්
මහ පොළොව වසා­ගත්
අළු පාට ඝන තිමිර
පසා කර ඇදී එන
නිල් එළිය නිල් එළිය
නිවි නිවී කර­කැ­වෙන...

කාලා රස­මුසු භෝජන කර­පෙම්
ගාලා සුව­දැති සඳු­නුත් මන­රම්
රැක­ගත්ත ජීවි­තය රැගෙ­න­යයි
හනි හනික හනි හනික හනි හනික
ලෙඩ ඇදට....

රෝහලේ සය­නයේ
උඩු­කු­රුව ක්ලාන්තව වැතිර සිටී
මට්ට­කු­ණ්ඩලී...

ජනෙල් තිර දෙබෑ­කර
පැමිණි නිල් එළිය දැක..

දේව­තා­වි­ය­ක්වත් මා ළඟට වැඩ­ලාද?
දේවතා එළි­ය­කින් මගේ ඇස් වැසි­ලාද?
අනේ දෙවි­යනේ ...

කෙළ­කෝ­ටි­යක් පමණ තව
කාරණා පුර­න්නට
මහ ගොඩක් වර එපා
එකම වර­යක් දෙන්න
....ජීවි­තය ....

දේවතා එළිය යළි
කර­කැවී කර­කැවී කර­කැවී නික්මුණා
පණ අදින පණ­කඳකට
එකම වර­යක් දෙන්න ..

• චන්දන මනෝජ් විතාන

*************

බොහෝ  දින­කට පසු

බොහෝ දින­කට පසු
දුටු­වෙමි හිත පුරා
පැහුණු රන්වන් අස්වැන්නේ මඳ සින­හව
බොහෝ දින­කට පසු....

බොහෝ දින­කට පසු
ඇසු­වෙමි හිත පුරා
ධාන්‍ය කොටන බාලි­කා­වන්ගේ
කෝකිල නාදය
බොහෝ දින­කට පසු...

බොහෝ දින­කට පසු
ආඝ්‍රා­ණය කළෙමි හිත පුරා
පොකු පොකුරු එල්ලෙන
මොල්සිරි මල්වල සුවඳ
බොහෝ දින­කට පසු....

බොහෝ දින­කට පසු
ස්පර්ශ කළෙමි හිත පුරා
අපේ ගමේ අඩි­පා­රෙහි
සඳුන් පැහැ දූවිල්ල
බොහෝ දින­කට පසු...

බොහෝ දින­කට පසු
කෑවෙමි නෙළුම් ඇට මාළුව හිත පුරා
උරා බිව්වෙමි උක්දඬු හිත පුරා
බොහෝ දින­කට පසු...
බොහෝ දින­කට පසු
වින්දෙමි හිත පුරා
ගන්ධ - රූප - රස - ශබ්ද - ස්පර්ශ සියල්ල
එක විට මේ භූමිය මත
බොහෝ දින­කට පසු

නාගා­ර්ජුන් වාත්ස්‍යා­යන්
(බාබා නාගා­ර්ජුන්)
(‘ආජ්කල්’හින්දී සාහිත්‍ය සඟ­රාව
ජන­වාරි 1999 - පිටුව 25)

හින්දී සාහි­ත්‍යයේ විවිධ සාහි­ත්‍යාංග රැසක සිය ප්‍රති­භාව පෙන්වූ ලේඛ­ක­යෙකි.1930 දශ­ක­යේදී රාහුල් සාංකෘ­ත්‍යා­යන පඬි­තු­මාගේ මඟ පෙන්වීම යටතේ බිහාර් ප්‍රාන්තයේ මිථිලා ප්‍රදේ­ශයේ සිට විද්‍යා­ලං­කා­ර­යට පැමිණ පූජ්‍ය ලුණු­පො­කුණේ ශ්‍රී ධර්මා­නන්ද නායක ස්වාමී­න්ද්‍ර­යන් වහන්සේ වෙතින් පැවිද්ද ලබා ත්‍රිපි­ට­කය හැදැ­රීය.


රත්ම­ලානේ ශ්‍රී ධර්මා­ලෝක මහා ස්ථවි­ර­පා­ද­යන් අප­වත් වී අවු­රුදු 50ක් පිරුණු මොහොතේ (1937)“ශ්‍රී ධර්මා­ලෝක ශත­කය “ නම් ග්‍රන්ථය සංස්කෘත බසින් ලියා ඉදි­රි­පත් කළේය.


පරි­ව­ර්ත­නය මහා­චාර්ය  උපුල් රංජිත් හේවා­වි­තාන ගමගේ

****************

ඔබට ඔබ යළිත් මුණ­ගැ­සේවී ....

මඟ හැරුණු තැන්ව­ලම ජීවි­තය තියෙ­නවා..
සංසාර පුරු­ද්දට අපි තවම සොය­නවා,
මුදු හිතක පහස ළඟ රිදුම් පිරි­මැ­දෙ­නවා
හැරී ආපසු එන්න ජීවි­තය තියෙ­නවා ....

වියැ­ළෙන්න පමා වූ... බරම වැඩි කඳුළු කැට
ඇහි­පි­යන් යටට වී හිඳීවී,
දිය­පො­දක පහස නැති..
මහා කත­ර­කට එය,
අසනි වරුසා වගේ දැනේවී....

දෙනෝ­ද­හ­සක් අතර ඇවිද ගිය නග­රයේ..
ශේෂ වූ සල­කු­ණක් තියේවී...
වසා­දැමු මත­කයේ පිටු සෙමෙන් පෙර­ළන්න
ඔබට ඔබ යළිත් මුණ­ගැ­සේවී ....

• ඒ. ඩී. එස් ඉන්ද්‍රානි

*************

දෙව් දම්ස­භා­වෙත් හිමි දම් දෙස­න­වද..

වන­පති තුරු සොඳුරු සිසි­ලැති දුන් සෙවණ
දෙසු හිමි සුතුරු නඳ රැව්දෙයි නිති සවණ
සුව­හස් සිසු සතට සුව­දෙයි හිමි පවන
සුර­ගුරු සදිසි වෙද හිමි සඳ හිමි පමණ

බණ­දම් මහ­ණ­දම් ගුණ­දම් පෙරුම් හැම
විඳි­මින් තුටින් සැම සැප දුක් සිතින් සම
බැති බොදු ලොවේ කව­දත් නැණ­රු­වන් නම
රන්වන් රුවන් රිදි­යෙන් කළ ලොවක් සම

පාපි­යු­මන් තුබූ තැන මල් ඉසි­න­වද
රන් දෙව්වි­මන් මැද හිමි වැඩ හිඳි­න­වද
සක් දෙව්ඹුන් දම් සුව­ඳට ඇදෙ­න­වද
දෙව් දම්ස­භා­වෙත් හිමි දම් දෙස­න­වද

(අම­ර­පුර ශ්‍රී ධර්ම­ර­ක්ෂිත මහා නිකායේ මහා­නා­යක අග්ග­ම­හා­ප­ණ්ඩිත වින­ය­වි­ශා­රද වැලි­ගම ශ්‍රී ඤාණ­ර­තන ස්වාමින් වහ­න්සේගේ සත් වස් ගුණ­ස­ම­රුව නිමි­ත්තෙනි.)

• පූජ්‍ය පාන­දුරේ විනීත හිමි

**********

Online වළප

ලොකු කෙලී වැඩ ඇරී
ගෙදර ඇවි­දින් රෑට
නාල කෑ වෙලේ සිට
online ලයින් එක
දෑස් පිය­වෙ­න­කන්ම...

දෙවෙ­නියා ගෙදර සිට
හැම­දාම online
කන්න නා ගන්න වත්
වෙලා­වක් නෑ ඌට
යර්ස් සර් යර්ස් සර්
කනේ­මයි පෝන් එක....

පොඩි එකී­වත් සා:පෙළ
විභා­ගෙට කොටු­වෙලා
ඔන් ලයින් රිවි­ෂන්ලු....

මේද­ව­ස්වල හවස
ගොරෝලා වහි­න­කොට
මොකාගේ සාපෙ­දැයි
උන් බණි­නවා අහ­සට...

පන්තියේ නියෝ­ජිත
ගෙදර උන්දැ­ටත් දැන්
නිද­හ­සක් නෑ කිසිම
තිහක හත­ළි­හ­කගේ
දුක් අඳොනා ප්‍රශ්න
විස­ඳලා නිමක් නැ...

අනේ මහ­තුනේ මේ වන් දුක බලලා
සෙනේ සිතින් අනු­කම්පා උප­ද­වලා
විනේ ඔන් ලයින් ගෙද­රින් දුරු කරලා
මැනේ දුන ඉතින් පාසල් ටික ඇරලා...

• නිමල් වසන්ත කුමාර

***************

නන්ද කුම­රුට කල­ණිය ලියූ වග නම්....

ගියත් බුදු­හිමි සමඟ සසු­නට
කමක් නැහැ විඳිමි ලද දේ...
ගතින් දෙව්ලොව හිතින් කොතැ­නද
තනි වුණේ වන මැද්දේ...

ප්‍රේම­යට ඔබ නිගා කර මගෙ
පපුව මැද­ටයි විද්දේ...
කල­ණි­යයි මම නන්ද කුම­රුනි
දැවී ගිය ඒ ලන්දේ...

නිවන් යන්නට තිබුණි නම් හිත
දෙව්ලි­යන් නොම පතාම...
ඔබම පම­ණයි හිටියෙ හැමදා
කල­ණි­යගෙ හිත පුරාම...

වැඳි­රි­ය­න්ටත් දුක හිතෙ­නවා
මිනි­සුන්ට සම කළාම...
සුර­ඟ­නන් දුක දන්නේ කොහො­මද
ගැහැ­නි­යක් තනි වුණාම...

• පුෂ්ප­ශාන්ත සම­ර­නා­යක

 

ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට එවන්න
කවි සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.
[email protected]

 

 

Comments