‘කාශ්මීර කුමරිය’ගේ අබිරහස සැඟවුණු බැන්ඩුං බූරුවා | සිළුමිණ

‘කාශ්මීර කුමරිය’ගේ අබිරහස සැඟවුණු බැන්ඩුං බූරුවා

 අනතුරට පත් 'කාශ්මීර කුමරිය' ගුවන්ගත වීමට පෙර

මේ කතාවේ පසුබිම වසර 1955 ඉන්දුනීසියාවේ පැවැති ලංකාව ඇතුළු ආසියා-අප්‍රිකා රටවල සමුළුවයි. එම වසරේ අප්‍රේල් 18-24 දිනවල ඉන්දුනීසියාවේ බැන්ඩුං නුවර පවත්වනලද රැස්වීමට රටවල් විසි නවයක නියෝජිතයෝ සහභාගී වුහ. ඒ අතර ශ්‍රී ලංකාව (එවකට Ceylon) ඉන්දියාව, පකිස්ථානය, මියන්මාරය (එවකට බුරුමය). චීනය, උතුරු වියට්නාමය සහ මිසරය යන රටවල්ද විය. සමුළුවේ ප්‍රධාන සංවිධායකයන් වුයේ ඉන්දියාව, පකිස්ථානය, ලංකාව, ඉන්දුනීසියාව සහ මියන්මාරයයි. එම සමුළුව ඊට සය වසරකට පසුව බිහිවූ නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය පිහිටුවීමට තැබූ මුල් පියවර විය.

රුසියාව ප්‍රධාන නැඟෙනහිර යුරෝපයේ සෝවියට් කඳවුර සහ ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රධාන බටහිර කඳවුර අතර නිරවි යුද්ධය (Cold War) පැවති ඒ වකවානුවේ මෙරට එක්සත් ජාතික පක්ෂ රජය කෙතරම් බටහිර බලවතුන්ට ගැතිවුවාද යත් කිසිම සමාජවාදී රටක් සමඟ තානාපති සබඳතා ඇතිකරගත්තේ නැත. එපමණක් නොව ත්‍රිකුණාමලයේ සහ කටුනායක බ්‍රිතාන්‍ය යුද කඳවුරු ඉවත් කිරීමටද පියවර ගත්තේ නැත. එ.ජා.ප.යේ මේ පටු විදේශ සබඳතා ආකල්පය බැන්ඩුං සමුළුවට ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අගමැති සර් ජෝන් කොතලාවලගෙන් ප්‍රකාශ විය.

 නේරු සහ සර් ජෝන්

සමුළුවේ සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන මාතෘකා වුයේ යටත් විජිතවාදයට විරුද්ධව කෙරෙන අරගල සහ චීනය සිය අසල් වැසි රාජ්‍යයන් සමඟ පවත්වන සාමකාමී සහජීවනය ශක්තිමත් කළ යුතු අන්දමය. එහෙත් සර් ජෝන්ගේ අවධානය යොමු වුයේ සෝවියට් රුසියාවේ බලය සහ කොමියුනිස්ට් වාදයේ පැතිරීම කෙරෙහිය. ඔහු එය දුටුවේ “කොමියුනිස්ට් අධිරාජ්‍යවාදයක්” ලෙසිනි. ඒ රුසියාව සහ චීනය අතර උග්‍ර දේශපාලන මතවාදී අර්බුදයක් මතුවීමට සහ චීන - ඉන්දියා දේශ සීමා ගැටුමක් ඇතිවීමට පෙරය.

දෙවන ලෝක සංග්‍රාමයේ අවසානයත් සමඟම මුළු නැඟෙනහිර යුරෝපයම ඉතා ශීඝ්‍රයෙන් සෝවියට් බලයට නතුවීමත් රුසියාවේ සහ චීනයේ සහය ලැබූ උතුරු කොරියාව සහ වියට්නාමය වැනි රටවල කොමියුනිස්ට්වාදය පැතිරීමත් සර් ජෝන්ගේ එම මතයට හේතු විය. එහි යම් සාධාරණත්වයක් තිබු නමුත් එම සමුළුවේදී එවැන්නක් මතුකිරීම නුසුදුසු වුයේ රැස්වීමේ මුලික අරමුණ කිසිම බලකඳවුරකට පක්ෂ නොවී සිටීම ගැන සාකච්ඡා කිරීම වූ බැවිනි. චීනය කොමියුනිස්ට් රටක් වුවද සමුළුවට සහභාගී වූ අනෙක් සමාජවාදී රටවූ උතුරු වියට්නාමය මෙන්ම ඒ අදහසට විරුද්ධ නොවීය. ඒ කාලයේ මාෂල් (මහ සෙනෙවි) ජෝසිප් බ්රොස් ටිටෝ යටතේ පැවති කොමියුනිස්ට් යුගොස්ලෝවියාවද යුරෝපයේ සෝවියට් කඳවුරට එක් වුයේ නැත.

එහෙත් අගමැති සර් ජෝන් ඒ තත්වයන් ගැන නොතකා දිගටම සමාජවාදී රටවල් විවේචනය කිරීම සමුළුවට පැමිණ සිටි චීන අගමැති චෞ එන්ලායිගේ අප්‍රසාදයට හේතු විය. බොහෝ ආසියාතික නායකයන්ගේ සිත් දිනාගෙන සිටි ප්‍රසන්න රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ඔහු ඊට ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත. සර් ජෝන්ගේ කතාවෙන් ඉමහත් අපහසුවට පත්වූයේ සමුළුවට සහභාගී වී සිටි එවකට ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරුය. ඒ දිනවල පැතිරුණු කතාවකට අනුව සර් ජෝන්ගේ කතාවට ප්‍රතිචාර දැක්වූ නේරු ඔහුගෙන් ඇසුවේ "ඔබේ කතාව කරන්නට කලින් ඇයි මගෙන් ඇහුවේ නැත්තේ?" යන්නය. එවිට නේරු ගෙන් සර් ජෝන් "ඔහේ කවදද මගෙන් ඇහුවේ තමුන්ගේ කතා පවත්වන්න කලින්?" යනුවෙන් අසා ඇත.

කෙසේ වෙතත් මේ සිද්ධිය මෙරට වමේ නායකයන්ට අසන්නට ලැබුණු විට ඔව්හු සර් ජෝන්ට ‘බැන්ඩුං බූරුවා’ යනුවෙන් නමක් පටබැන්දාහ. එපමණක් නොව ලංකා ගුවන්විදුලි සේවයේ (එවකට Radio Ceylon) විකට වැඩසටහන් නිෂ්පාදකයෙකු වූ එච්.ඩී. විජේදාස, අගමැතිවරයාව කෙළින්ම සමච්චලයට ලක් කරන්නට නොහැකි බැවින් ව්‍යංගයෙන් මුළු බැන්ඩුන් සමුළුවම උපහාසයට ලක්කර ගුවන් විදුලි විකට නාට්‍යයක් නිෂ්පාදනය කළේය. එය රඟ දැක්වුණේ කැලෑවක සතුන්ගේ රැස්වීමක් ලෙසිනි. නාට්‍යයේ නළුවෝ සතුන්ගේ හඬවලින් (සිංහල වචන යොදමින්) රඟ පෑහ. ඊට බූරුවෙකුගේ ‘සිංහල’හඬද ඇතුළත් විය.

රජයේ ගුවන් විදුලියෙන් (එවකට මෙරට එකම ගුවන් විදුලි සේවය) මෙවැන්නක් විකාශනය වීම ගැන කලබල වූ ගුවන් විදුලි ලොක්කෝ වහා විජේදාසගේ වැඩ තහනම් කළහ. කෙසේ හෝ මේ ආරංචිය සර් ජෝන් ගේද කන වැකුන බැවින් එම නාට්‍යයට සවන් දෙන්නට ඔහුටද වුවමනා විය.

ඊට සවන් දුන් අගමැතිවරයා ගුවන් විදුලි ලොක්කන් පුදුමයට පත්කර සිනාසෙමින් හොඳහැටි නාට්‍යයේ රස වින්දේය. නාට්‍යයට සවන් දීමෙන් පසු විජේදාසගේ වැඩ තහනම ඉවත් කර ඔහු නැවත සේවයේ පිහිටුවන ලෙස සර් ජෝන් ගුවන්විදුලි බලධාරීන්ට උපදෙස් දුන්නේය. දුර දිග නොබලා ක්‍රියා කරන්නෙකු වුවද සර් ජෝන් ගේ චරිතයේ එක් හොඳ පැත්තක් වුයේ එයයි. තමා උපහාසයට ලක් කරමින් ඇඳි කාටුන්වල පිටපත් ගෙන්වාගෙන ඒවා රාමු කර සිය කඳවල බංගලාවේ බිත්තියක එල්ලා තැබීමට පවා ඔහු උනන්දු වීය.

ආන්දෝලනයට තුඩුදුන් සර් ජෝන්ගේ කොමියුනිස්ට් 'අධිරාජ්‍යවාදයක්' ගැන කතාවට පෙර කොමියුනිස්ට්-විරෝධී චීන සංවිධානයක් බැන්ඩුං සමුළුව ඇරඹීමට ආසන්නයේ අගමැති චෞ එන්ලායි මරා දැමීමට කුමන්ත්‍රණය කරමින් සිටියහ. සමුළුවට සහභාගී වුවන්ගේ අතිශය තිගැස්මට හේතු වූ ඒ අසාර්ථක ඝාතන තැත ලොවට හෙළි වුයේ ඉන්දුනීසියාව බලා ගමන් කළ ගුවන් යානයක් විපතට පත්වීමෙන්ය.

ඉන්දියාවේ ‘එයාර් ඉන්ඩියා’ (Air India) ගුවන් සමාගමට අයත් ලොක්හීඩ් වර්ගයේ එම යානය එරට සිට චීනයේ හොං කොං වලට පැමිණියේ සමුළුවට සහභාගී වීමට සිටි නියෝජිත පිරිසක් එහි සිට ඉන්දුනීසියාවට රැගෙන යාමටය. එවකට හොං කොං පැවතියේ බ්‍රිතාන්‍ය පාලනය යටතේය.

'කාශ්මීර කුමරිය' (Kashmir Princess) යනුවෙන් නම් කරන ලද යානය හොං කොං හි ‘කායි ටක්’ ගුවන් තොටුපළෙන් ඉන්දුනීසියාව බලා පිටත් වීමට පෙර එය වටා දැඩි පොලිස් මුරකාවල් යොදා තිබු අතර කිසිවෙකුටත් ඒ අසලට ඒමට ඉඩ නොදෙන ලදී. යානයේ ගමන කඩාකප්පල් කිරීමට මහජන චීන රජයට විරුද්ධ බලවේග ක්‍රියාත්මක විය හැකි බැවින් ඊට උපරිම ආරක්ෂාව සලසන ලෙස නව චීන පුවත් ඒජන්සිය (New China News Agency) කළ ඉල්ලීමකට අනුව හොංකොං පොලිස් කොමසාරිස් වරයා එරට විශේෂ රහස් පොලිසියට (Special Branch) ඒ සඳහා උපදෙස් දී තිබුණේය.

ගමන සඳහා යානයට ඉන්ධන පිරවීම සහ එය සර්විස් කිරීම ගුවන් තොටුපළේ පාලන අධිකාරියේ, එයා ඉන්ඩියා සමාගමේ නිලධාරීන්ගේ සහ යානයේ කාර්ය මණ්ඩලයේ සුපරීක්ෂාව යටතේ සිදුවිය. මගීන්ගේ ගමන් මලු ආහාර පාන හැර අන් කිසිවක් යානය තුළට දැමීමට ඉඩනොදෙන ලදී. චීනයේ සිට හොං කොං වලට පැමිණි නියෝජිතයන් සහ මාධ්‍යවේදීන් බැන්ඩුං ගමන යාමට පෙර නැවතී සිටි හෝටලය වටාද මුරකාවල් යොදා තිබු අතර ඔවුන් ගුවන් තොටුපළ වෙත ගෙනයන ලද්දේ ඔවුන්ටම වෙන්කරන ලද විශේෂ බස් රියකය. සාමාන්‍ය පිළිවෙතට වෙනස්ව ආගමන විගමන නීති හෝ රේගු නීති වලට අනුගත නොවී යානයට ගොඩවීමට ඔවුන්ට ඉඩ දෙන ලදී. ඒ අනුව ඔවුන්ගේ ගමන් මලු රේගුවෙන් පරීක්ෂා නොකර ‘එයා ඉන්ඩියා’ නිලධාරීන්ගේ පරීක්ෂාව යටතේ යානයට පටවන ලදී. ඉන් පෙර එවැනි ආරක්ෂක වැඩ පිළිවෙළක් යටතේ ගුවන් යානයක් හොං කොං වලින් පිටත් වී ඇත්තේ ඉතාමත් කලාතුරකිනි.

 

බැන්ඩුං සමුළුවේ රැස්වීමක් (මැද සිටින්නේ අගමැති නේරුය)

සමුළුව ඇරඹීමට සතියක් තිබියදී අප්‍රේල් එකොළොස් වැනිදා 'කාශ්මීර කුමරිය' හොං කොං සිට ඉන්දුනීසියාවේ ජකාර්තා ගුවන් තොටුපළ බලා පිටත් විය. යානයේ කාර්යමණ්ඩලය සහ මගීන් ඇතුළුව දහනවදෙනෙකුගෙන් එහි ගමන් කළ පිරිස සමන්විත විය. ඔවුන් අතර උතුරු වියට්නාම් ජනරජයේ (එවකට ප්‍රජාතන්ත්‍රවාදී වියට්නාම් ජනරජය) නියෝජිතයෙක්, කොමියුනිස්ට් පාක්ෂික යුරෝපීය නිරීක්ෂකයන්, චීන ‘සින්හුආ’ පුවත් ඒජන්සියේ හොංකොං ශාඛාවේ අධ්‍යක්ෂක, සහ චීන මාධ්‍යවේදීන් පස් දෙනෙක්ද වුහ. යානයේ කිසිදු කාර්මික දෝෂයක් නොවූ අතර එය පැදවූයේ පළපුරුදු දක්ෂ ගුවන් නියමුවන්ය. එමෙන්ම සවස් වරුවේ යානය පිටත් වූ දින අහස ඉතා පැහැදිලි විය.

යානය ගුවන්ගත වී පැය පහකට පසු එය පියාසර කරමින් තිබුණේ බෝනියෝ දිවයින අසල මහා නටුනා (Great Natuna) දූපත් ආසන්නයේ අඩි 18,000 (දහඅට දහසකට) කට ඉහළින්ය. ඒ මොහොතේ යානය ඉතා හොඳින් ගමන් කරමින් තිබුණි. හදිසියේම අකුණු එළියක් මෙන් විහිදුණු ආලෝකයක් සමඟ ඇසුණේ කන් බිහිරිකරවන පිපිරීම් ශබ්දයකි. තත්පර කිහිපයකින් යානයේ දකුණු පස පියාපතට ගිනි ඇවිළුණි. ඒ සමඟම යානයේ විදුලි පද්ධතිය සහ හයිඩ්රොලික් (hydraulic) පද්ධතිය ක්‍රියා විරහිත විය. යානය තුළ විදුලි එළි නිවී අඳුරු විය යානය ගිනිගැනීම වැළැක්වීමට නියමුවා ගිනි ඇවිළුණු දකුණු පියාපතේ එන්ජිම ක්‍රියා විරහිත කළේය.

ඉන්පසු යානයේ ගමන පවත්වා ගත හැකි වුයේ එන්ජින් තුනකින් පමණි. නියමුවාට සහ ඔහුගේ සහායක නියමුවාට ඉන්පසු ගතහැකි එකම පියවර වුයේ යානය ක්‍රමයෙන් මුහුදට පහත් කිරීමය. සෙසු කාර්ය මණ්ඩලයද කලබල නොවී හදිසි අවස්ථාවකදී කළයුතු වැඩ පිළිවෙළ ක්ෂණිකව ක්‍රියාවට නැගූහ. එහෙත් යානයේ සියලු උපකරණ ක්‍රියාකාරිත්වය නවතින්නට පටන් ගැනීම නිසා යානය ක්‍රමානුකූලව පහත් කිරීම නියමුවාට කළ නොහැකි විය. එපමණක් නොව යානයේ නියමු කුටිය දුමින් පිරෙන්නට විය. කරන්නට වෙනත් කිසිවක් නොවූ බැවින් සියලු මගීන්ට ජීවිතාරක්ෂක කබා ලබාදුන් කාර්යය මණ්ඩලය වහා යානයේ හදිසි දොරටු විවෘත කළේ යානය දියමත පතිත වීමත් සමඟ එළියට පැන දිවි ගලවා ගැනීම පහසු කිරීමටය. මුලින්ම දියමත පතිත වුයේ යානයේ දකුණු පියාපතයි. ඒ සමඟම යානය කෑලි තුනකට කැඩිණි.

දිවි ගලවාගත හැකි වුයේ යානයේ සහායක නියමුවා (first officer), මඟපෙන්වන්නා (navigator) සහ නඩත්තු ඉන්ජිනේරුවාට (maintenance engineer) පමණි.

ගුවන් අනතුර සැලවූ වහාම බ්‍රිතාන්‍ය රජය ක්‍රියාත්මක විය. එරට රාජකීය ගුවන් හමුදාවේ යනා දෙකක් සහ අධිවේගී මුහුදු යාත්‍රාවක් ‘කාශ්මීර කුමරිය’ කඩා වැටුණ්යැයි සැලකුණු ස්ථානයට යවන ලදී. ඊට අමතරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ගවේෂණ නෞකාවක්ද පිටත් විය. එහි නාවිකයන්ට දිවි ගලවාගත් ගුවන් නිලධාරීන් තිදෙනා මුහුදේ සිට නැවට නංවාගත හැකි විය. බ්‍රිතාන්‍ය ගුවන් හමුදා යානා ඉන්දුනීසියානු ගුවන් හමුදාවේද සහාය ඇතිව බේරා ගත හැකි තවත් අය සිටී දැයි සොයන්නට උත්සාහ ගත් නමුත් ඔවුන් ගැන කිසිදු හෝඩුවාවක් නොවීය. මුහුදු පතුලේ තිබී කඩාවැටුණු ගුවන් යානයේ සුන්බුන් පමණක් සොයාගත හැකිවිය. ඉන් තහවුරු වුයේ එහි සිටි අන් සියලු දෙනාම මියගිය බවයි.

ඝාතකයන්ගේ ප්‍රධාන ඉලක්කය වුයේ චෞ එන්ලායි අගමැතිවරයාය. එහෙත් අවසන් මොහොතේ හදිසි ශල්‍යකර්මයක් නිසා සිය ගමනට යොදා ගත් වැඩපිළිවෙළ වෙනස් කරන්නට ඔහුට සිදු විය. මුලින් ඔහු අදහස් කළේ චීනයේ බීජිං නුවර සිට හොං කොං වලට පැමිණ එතැනින් එයා ඉන්ඩියා යානයට නැග ඉන්දුනීසියාවේ ජකාර්තා ගුවන් තොටුපළ යාමටය. ගමන වෙනස් වූ බැවින් චෞ එන්ලායි බීජිං නුවරින් පිටත් වුයේ ගුවන් අනතුර සිදුවී දින තුනකට පසුවය. බීජිං සිට බුරුමයේ රැන්ගුන් (අද යැන්ගොන්) නුවරට ගිය ඔහු එහි දී ඉන්දීය අගමැති නේරු සහ මියන්මාර අගමැති ඌ නු හමුවී එතැන් සිට ඉන්දුනීසියාවට ගොස් බැන්ඩුං සමුළුවට සහභාගී විය. එහෙත් සමහර ඉතිහාසඥයන් පවසන්නේ ඝාතන තැත ගැන චෞ එන්ලායිට ඉඟියක් තිබු බැවින් ඔහු හිතාමතාම සිය ඉන්දුනීසියා ගමන ප්‍රමාද කළ බවයි.

චෞ එන්ලායි (වමේ) සහ නේරු

අනතුර සිදු වූ වහාම චීන රජය හොං කොං හි බ්‍රිතාන්‍ය අධිකාරීන් තදබල දෝෂාරෝපණයට ලක්කරමින් සිදු වූ විපත පිළිබඳව සම්පූර්ණ වගකීම ඔවුන් බාරගත යුතු බව තදින්ම කියා සිටියේය. වහාම මීට වගකිව යුත්තන් අත්අඩංගුවට ගත යුතු බවටද අවධාරණය කළේය. බැන්ඩුං සමුළුවෙන් පසු එම වසරේම මැයි විසිහත්වැනිදා පළ කරන ලද පරීක්ෂණ වාර්තාවකට අනුව උඩු ගුවනේදී යානය පුපුරා යාමට හේතුවුයේ එහි දකුණු පියාපත යට රෝද කුටියේ අටවන ලද කාල බෝම්බයක් බවයි. එය අටවා තිබුණේ පිපිරීමේදී ඉන්ධන ටැංකිය සිදුරුවන අයුරිනි. ඊට වගකිව යුත්තා ගුවන් තොටුපළේ සේවකයෙකු වූ චෞ චු හෙවත් චෞ සේ මිං නැමැත්තා බව හෙළි විය.

පසුව අනාවරණය වූ පරදි ඔහු මහජන චීන ජන රජයට අදත් විරුද්ධ 'චීන සමුහාණ්ඩුව' නමින් හැඳින් වෙන තායිවාන රජයේ චර පුරුෂයෙකි. බෝම්බය ඇටවීමට එම රජය ඔහුව යොදා ගන්නා ලද්දේ ඒ වෙනුවෙන් ඔහුට හොං කොං ඩොලර් හය ලක්ෂයක් ලබා දෙන පොරොන්දුව මතය. (මේ 'චීන සමුහාණ්ඩුව' පිහිටුවන ලද්දේ වසර 1949 චීන විප්ලවය නිසා පරාජයට පත්ව තායිවානයට පලාගිය ජාතික චීන රජයේ පාලකයන් විසිනි).

බෝම්බය ඇටවූ චෞ සේ මිං නැමැත්තා අත්අඩංගුවට ගැනීමට ඔත්තුවක් සපයන්නෙකුට හොං කොං ඩොලර් දස දහසක තෑග්ගක් දීමට හොං කොං පොලිසිය ඉදිරිපත් වූ නමුත් ගුවන් අනතුරේ පරීක්ෂණ වාර්තාව නිකුත් වීමට පෙර එනම් මැයි දහඅටවැනිදා ඔහු තායිවානයට පලා ගියේය. ඔහු අල්ලාගැනීමට වරෙන්තුවක්ද නිකුත්කර තිබු අතර ඔහුට විරුද්ධව නඩු පැවරීම සඳහා ඒ පුද්ගලයා හොං කොං අධිකාරීන්ට ලබා දෙන ලෙසට බ්‍රිතාන්‍ය රජය තායිවානයෙන් ඉල්ලා සිටියේය. එහෙත් එම රජය සහ බ්‍රිතාන්‍ය අතර උද්ර්පන ගිවිසුමක් නොතිබූ බැවින් ඔහු ගෙන්වාගැනීමට නීතිමය පදනමක් නොමැති විය.

බැන්ඩුං සමුළුවෙන් පසුව ඊළඟ වසරේ ලංකාවේ පැවති මහ මැතිවරණයෙන් සර් ජෝන් ගේ එක්සත් ජාතික පක්ෂ රජය අන්ත පරාජයකට පත්විය. මෙරට සහ සෝවියට් සංගමය සහ චීනය ඇතුළු අනෙක් සමාජවාදී රාජ්‍යයන් සමඟ තානාපති සබඳතා ඇරඹුනේ ඒ මැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන මහජන එක්සත් පෙරමුණු රජ යටතේය.

 ජානක පෙරේරා

 

 

Comments