පෙරේරාට සහ සිල්වාට රැව­ටුණ ශ්‍රියාණි අමරසේන | සිළුමිණ

පෙරේරාට සහ සිල්වාට රැව­ටුණ ශ්‍රියාණි අමරසේන

‘තරණය‘ චිත්‍රපටයේ ජැක්සන් ඇන්තනී සමඟින්

 

 

මේ දර්ශනය මට දැනුත් මැවිලා පේනවා. මේ දර්ශනය තිරයෙන් දැකලා මගෙ අම්මාත් තාත්තාත් ඇඬුවා. මට හොඳටම බැන්නා මූසල දර්ශනවලට ඉන්නවා කියලා. මගේ සැමියා කිව්වේ මේක රඟපෑමක් කියලා, ජීවත්වෙලා සිටින කාලේ මේ විදිහට බොරුවට මිනී පෙට්ටියක නිදා ගන්න කෙනෙකුට ලැබෙනවාද? කියලා.”

 

1973 වසරේ මාර්තු මාසයේ 04 වැනිදා තම ජීවිතයේ අන්ධ තරුණියක් වූ ඇය ඊට වසර පහකට පසු 1978 වසරේ තම ජීවිතයේ දස දහස් වාරයක් මැරි මැරී ඉපදුණ බිරිඳක් වූවාය. තවත් වරෙක ඇය දයාබර බිරියකි. ප්‍රථම ප්‍රේමයෙන් පරාජයටපත් තම සැමියාගේ සහෝදරයා බීමත්කමින් මුදා ගැනීමට වෙර දරන සහෝදරියකි. තවත් වරෙක කොළඹ පැල්පත් පේළියක නගරංකාරයකුගේ කට සැර බිරියකි. එහෙත් යුක්තියට හිස නමන අම්මණ්ඩි කෙනෙකි. වරෙක ඇය දුවටත්, අම්මාටත් ආවේශවී අපට කුතුහලයක් දුන්නාය.

මේ ආකාරයට සියයකට වඩා චිත්‍රපටවල නිළියක ලෙස විවිධ සංකීර්ණ චරිත රඟපෑමේ අපේ ප්‍රතිභාන්විත නිළියන් අතර ඇය සුවිශේෂී කෙනෙකු වී ඇත්තේ රඟපෑමට අමතරව චිත්‍රපට කථා, තිරනාටක ලියා පසුව ටෙලිනාට්‍යය හා චිත්‍රපට නිෂ්පාදනයට ද, අධ්‍යක්ෂණයට පිවිසීම නිසාය.

ඇය නමින් ශ්‍රියානි වීරකෝන් කුමාරිහාමි ය. වයස අවුරුදු හතරේදී මියුසිස් විද්‍යාලයට ගොස් අකුරු කළ ඇය එකල දඟකාර සිසුවියක් වූවාය.

“හතර වැනි පන්තියේ ඉගෙන ගනිද්දී විඳින්නට වූ දඬුවමක් මට කිසිදින අමතක වන්නේ නෑ.” ශ්‍රියානි අතීත කතාව කියන්න පටන් ගත්තාය.

“මගේ පන්තියේ සිටි රාජමණී නම් මිතුරියට විකට කවියක් පටබැඳී තිබුණා. පන්ති භාර ගුරුතුමිය නැති අවස්ථාවක ඇයට විහිළුවක් කිරීමේ අදහසින් මම ඒ කවිය කළුලෑල්ලේ ලියා තැබුවා. කවිය කිය වූ පන්තියේ සිටි ළමයි හිනාවෙන්න පටන් ගත්තා. ඒ දැක මගේ මිතුරිය කලබල වී ඒ කවිය මකා දැම්මා. එතැනින් නොනැවතුණ ඇය කළු ලෑල්ල මැකූ ‘ඩස්ටරය’ යෙන් මගේ මුහුණට දමා ගැසුවා. මගේ මුහුණ පුරා විසුරුණු හුනුවලින් යුතුව මම ඩස්ටරය ගෙන ඇය පසුපස එළවාගෙන ගියා. පන්තියේ පුටු මේස පෙරළමින් දුවන ඇය අල්ලා ගැනීමට මට සෑහෙන වේලාවක් ගියා.

ඇය අල්ලාගත් මම ඩස්ටරයේ තිබෙන හුනු කිහිපවිටක්ම ඇගේ මුහුණේ තැවරුවේ ලොකු හපන්කමක් කළ ආකාරයෙන්. ටික වේලාවකින් ඇය දැඟලීමට පටන් ගත්තා‍. මම හිතුවේ ඇය මගෙන් මිදීමට උත්සාහ කොට දඟලනවා කියලා. ඇත්ත වශයෙන්ම ඇය දඟලා ඇත්තේ හුනු කුඩු නාසයට ගිය නිසා හුස්ම ගැනීමට බැරිව. මම හොඳටම බය වුණා.

‘අහසින් පොළවට‘ චිත්‍රපටයේ ටෝනි රණසිංහ සමඟ

ගුරුතුමී පන්තියට පැමිණි පසු මගේ මිතුරිය එක දෙක කරමින් මගේ පැත්තට අවාසි වන ආකාරයට හඬමින් කරුණු කිව්වා. මට පැය භාගයක් පන්තිය ඉදිරියේ ඇති එළිමහනේ දැඩි අව්වේ දණ ගසා සිටීමට සිදුවුණා. මේ සිද්ධියට පසු ඒ මිතුරිය මා සමඟ යළි හොඳට හිනාවෙවී කතා කළේ මගේ විවාහ උත්සවයට පැමිණි දවසෙයි. එදා අපි පරණ සිද්ධිය මතක් කරමින් හිනාවුණා.” ඇය ජයග්‍රාහිකව සිනාසෙමින් කීවාය.

ගායනයට, නැටුමට, ඇලුම් කළ කුඩා ශ්‍රියානි මුල්වරට පාසලේ වාර අවසානයේ රඟ දැක්වූ ‘හතර බීර කතාව’ හා ‘කොහෙද යන්නේ රුක්මණී’ ගීත නාටක දෙකකින් තම හැකියාවන් විදහා පෑවාය. ඇය මියුසිස් විද්‍යාලයෙන් ගෝතමී විද්‍යාලයට ගිය පසු ගුවන් විදුලියේ සිරි අයියා (යූ.ඒ.එස්. පෙරේරා) මෙහෙය වූ ‘ළමා පිටියට’එක්ව කවි ගායනා කළාය. ඇයගේ නර්තන හැකියාව දුටු දෙමාපියන් බැසිල් මිහිරිපැන්නයන්ගේ නැටුම් පන්තියට ඇතුළත් කළාය. මේ නැටුම් පන්තියට පැමිණි පී.බී. කුමාරපතිරණ දිනක් ශ්‍රියානිගෙන් මෙසේ ඇසුවේය.

“ශ්‍රියානි, කැමති ද ප්‍රසිද්ධ වේදිකාවේ නාට්‍යයක රඟපාන්න. හැබැයි හොඳ නාට්‍යයක.” දයානන්ද ගුණවර්ධන කියන තර්ස්ටන් විද්‍යාලයේ ගුරුවරයෙක් ඒක කරන්නේ.”

“මම නං කැමතියි. ඔයා අපේ ගෙදර ඇවිත් අම්මගෙනුයි, තාත්තාගෙනුයි අහන්න.”

ගෙදරින් අවසර ලැබූ ශ්‍රියානි 1962 වස‍රේ දයානන්ද ගුණවර්ධනගේ ‘නරි බෑනා’ නාට්‍යයේ ගම දියණිය ලෙස රඟපෑවාය.

“මම රඟපෑවේ ගම දුව හැටියට. නරියා ලෙස එදා රඟපෑවේ සොලමන් ෆොන්සේකා‍. ගමරාල ලෙස ගුණසිරි හේවාගේත්, ගම මහගේ ලෙස සෝමලතා සුබසිංහත්, කපුරාල ලෙස කරුණාපාන ගමගේත් රඟපෑවා. ‘නරි බෑනා’ නාට්‍යය කොතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් අපට ලංකාව වටේ යාමට සිදුවුණා. ඉඟිනියාගල කැලෑ පාරක යනවිට එක් ගමනකදී අපි ගමන් ගත් බස් රථය ඉදිරියට අලි ආවා. අපි හිටියේ ගැහෙමින්. සමහරු ‘ඉතිපිසෝ’ ගාථාව කියනවා අසිහියෙන් සිටි මට ඇසුණා. මම ඇස් දෙක වසා ගත්තා. මා ළඟ සිටි අම්මා මාව බදා ගෙන. බස් රියට පිටින් අලි දෙන්නෙක් හිටපු ගමන් ඌ එක්වරම හැරී බසය දෙස නිසලව බලා සිටි වග සමහරු කිව්වා. ගොළුවන් මෙන් සිටි කාගේත් කටවල් ඇරුණා. නමුත් අලියා අප පස්සෙන් එළෙව්වා නම් මොනවා වේවිද මන්දා? මේ සිද්ධිය මට කිසිදා අමතක වෙන්නෙ නැහැ.

ශ්‍රියානි වීරකෝන්ගේ ජීවිතයේ වෙනසක් වන්නේ 1963 වසරේදීය. ඒ වයස අවුරුදු දහ අටේදීය. පවුලේ එකම දරුවා වූ ශ්‍රියානිට විවාහයක් කරදීමට ඇගේ පියා වූ පාලම කුඹුර හේරත් මුදියන්සේලාගේ වීරකෝන්ට හා මව වූ එමලින් විමලාවතීට ලොකු හදිසියක් වී තිබුණි. එයට ප්‍රධානම හේතුව වූයේ ශ්‍රියානි පවුලේ පළමු දරුවා වීම ය. ‘නරි බෑනා’ නාට්‍යයේ ඇය ගැයූ “ඇහැළ මහේ මල් පිපිලා, බලන්න හරි ලස්සනයි” ගීතය තුළින් ඇය ජනප්‍රිය සිටි කාලයේ ඇයට පෙම් කරමින් සිටි වේදිකා නළුවන් හා පාසල් සිසුන්ගෙන් තිබූ ඉල්ලුම දුටු දෙමාපියන් නිතරම පුවත්පත්වල මංගල යෝජනා පිටු වෙත නෙත් දැල්වූහ. අලුතින් නිකුත් වූ ‘රිවිරැස’ පුවත්පතේ තම දියණියට සරිලන විවාහ යෝජනා කිහිපයක්ම විය.

ශ්‍රියානිගේ අම්මා ඉන් එක යෝජනාවක තම දියණිය ‘නරිබෑනා’ නාට්‍යයේ රඟපාන විට ගත් ඡායාරූපයක් සමඟ පිළිතුරු යැව්වාය.

මේ අනුව උස මහත තරුණයෙක් ද කඩවසම් හීන්දෑරි තරුණයෙකු ද මනමාලිය බැලීමට පැමිණියහ.

“මම සිල්වා. මෙයා මගේ මිත්‍රයා පෙරේරා.”

උස මහත තරුණයා කීවේ “මෙයා පෙරේරා. මගේ ඥාති සහෝදරයා.” කියා අනෙකා හඳුන්වා දුන්නේය.

“අපි පානදුරේ. මෙයාගේ අම්ම තාත්තා පුංචි කාලෙම මිය ගිහින්. අපි ආවේ මනමාලිව බලලා පසුව ළඟම ඥාතීන් එක්ක එන්න.” සිල්වා කීය.

“ඒක හොඳයි, ඔහොම කෙළින්ම ඇවිත් කතා කරන ඉලන්දාරි අද හිඟයි.” ශ්‍රියානිගේ තාත්තා කීවේය.

‘හිත මිතුරා‘ චිත්‍රපටයේ ටෝනි රණසිංහ සමඟ

ඉස්තරම් තේ පැන් සංග්‍රහයකින් සන්තර්පණය වූ තරුණයෝ ආපසු ගියේ, හොඳ ප්‍රතිචාරයකින් මව කී “අපි දුවගෙනුත් අහල උත්තරයක් එවන්නම් කෝ” වචනයෙන් සෑහීමකට පත් වෙමිනි.

ශ්‍රියානි හීන්දෑරි කඩවසම් තරුණයාට කැමැති විය. හීන්දෑරි තරුණයා ද ඇය පිළිබඳ සිත් ඇතිව සිටියේය. ඔහු දෙමාපියන්ගේ කැමැත්ත ලැබූ පසු සතියකට වරක් ශ්‍රියානි හමුවී සතුටු සාමීචියේ යෙදුණේය.

“ඔයාට මට රහසක් කියන්න තියෙනවා. එදා මුලින්ම ගෙදර ආව දවසේ මගේ නම ‘පෙරේරා’ කියලා කිව්වේ බොරුවට. මගේ නම ආතර් යූ. අමරසේන. ‘විසිතුර’ පත්‍රයේ කර්තෘ. මගේ යාළුවා ‘සිල්වා’ ගේ ඇත්ත නම ඔගස්ටස් විනායගරත්නම්. එයා දක්ෂ කෙටිකතා රචකයෙක් (පසුව සම්මානනීය චිත්‍රපට ගීත රචකයෙක්) මම ඔයාට ඇත්තම කියන්නම්කෝ.”

“මම ආසයි කතාව ලස්සන නිසා සිල්වාගෙයි, පෙරේරාගෙයි කතාව අහන්න.” ශ්‍රියානි කුතුහලයෙන් කීවාය.

“අපි වැඩ කරන ‘දවස’ පත්‍ර සමාගමෙන් සතිපතා පත්‍රයක් නිකුත් කළා ‘රිවිරැස’කියලා. මේ පත්තරේ ජනප්‍රිය කිරීමට ‘මංගල යෝජනා’ තීරයක් දාන්න අපේ ලොක්කා ඩී.බී. ධනපාල මහත්තයාට ඕනෑ වුණා. ආරම්භයක් හැටියට ධනපාල මහත්තයා අවිවාහක පත්‍රකලාවේදීන්ව කැඳවලා මෙහෙම කිව්වා.

“අයිසෙ, තමුසෙලාගේ සුදුසුකම් දාලා මංගල යෝජනා ලියලා දැන්වීම් දානවා. තමුසෙලා එක්කෙනෙකුටවත් පරස්ථාවක් හරියාවි.”

මමත් එකක් ලියලා දැම්මා. මෙන්න හෝ ගාලා යෝජනා එනවා. මේ අතරින් ශ්‍රියානිගේ පින්තූර තේරුව ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර, කැමරා ශිල්පීන් වූ ඩී.බී. සුරනිමල, අනුර ගුණසේකර, රැලෙක්ස් රණසිංහ ඒකමතික තීරණයක ආවා.

“මෙන්න අමරේ, උඹට ගැළපෙන කෙල්ල. ‘නරිබෑනා’ නාට්‍යයේ ගම දුව. හරි ගියොත් මල්ල කරේ. දාපන් දැන්ම උත්තරයක්.” රැලෙක්ස් කිව්වා.

කතාව අසා සිටි ශ්‍රියානි කිව්වේ “එහෙනං ඒකෙන් හරි ගියේ ඔයාට” කියාය.

ශ්‍රියානි වීරකෝන් සහ ආතර් උස්මියගේ අමරසේන 1964 නොවැම්බර් 24 වැනිදා විවාහ වූහ.

“මම මුලින් ම රඟපෑවේ රජයේ වාර්තා චිත්‍රපටයක්වූ ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි අධ්‍යක්ෂණය කළ Wings Over Ceylon චිත්‍රපටයේ‍. ඒ විවාහයට පෙර. විවාහයෙන් පසු 1967 දී ඩී.බී‍. නිහාල්සිංහයන් ගේ ‘කෙටිකතාව’ විත්ති කථා චිත්‍රපටයෙන් පසු මට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ‘ගොළු හදවත’ චිත්‍රපටයේ චම්පා (සුගත්ගේ නෑනා) ලෙස රඟපෑමට ලැබීම වාසනාවක් කියලා මම හිතන්නේ. සුගත් ලෙස රඟපෑ වික්‍රම බෝගොඩ ප්‍රථම ප්‍රේමයෙන් පරාජිත බීමත්ව නිදන විට මම මවක, සොහොයුරියක ලෙස රඟපෑ චරිතය මට කිසි දිනක අමතක වන්නේ නැහැ.

මගේ සැමියා සරත් ලෙස රඟපෑවේ විජේරත්න වරකාගොඩ. මේ චිත්‍රපටයේ මගේ කුඩා දියණිය විලාසිනී ලෙස රඟපෑවේ මගේ දියණිය වීම විශේෂයක්. ඉනෝකා අමරසේන නම් දියණිය පසුව චිත්‍රපට නිළියක් වුණා.” ශ්‍රියානි තම සිනමා සම්ප්‍රාප්තිය තම සිනමා දිවියේ අසීරුම චිත්‍රපට චරිත දෙක තමන් රඟපෑවේ ලෙස්ටර් මහතාගේ ‘දෑස නිසා’ සහ ‘අහසින් පොළොවට’ තුළින් බව ශ්‍රීයානි පවසන්නීය.

‘දෑස නිසා’ චිත්‍රපටයේ මම රඟපෑවේ අන්ධ තරුණියකවූ සුන්දරීගේ චරිතය. මේ චිත්‍රපටයට පෙර එහි කතා රචක ගුණසේන ගලප්පත්ති විසින් වේදිකා ගත කළ ‘දෑස නිසා’ වේදිකා නාට්‍ය මම දැකල තිබුණා. එහි සුන්දරී ලෙස රඟපෑවේ ප්‍රේමා ඩැනියෙල්. චිත්‍රපටයේ නිරුධක නම් විරූපී පුරුෂයා ලෙස ජෝ අබේවික්‍රම රඟපෑ චරිතය නාට්‍යයේ රඟපෑවේ සිරිල් වික්‍රමගේ. මාධව නම් අක්ෂි වෛද්‍යවරයා ලෙස වේදිකාවේ රඟපෑ බෙන් සිරිමාන්නගේ චරිතය චිත්‍රපටයේ රඟපෑවේ රවීන්ද්‍ර රන්දෙනිය. 1973 මාර්තු හතරවැනිදා මම ගල්ගමුව අසල ඇහැටුවැව නම් ගම්මානයේ දී අන්ධ තරුණිය ලෙස රඟපෑවා. “

එහි ඇය රඟපෑ අසීරු චරිතය ගැන චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ වූ උපාලි පෙරේරා මා සමඟ කළ සංවාදයකදී මෙසේ කියුවේය. ‘දෑස නිසා‘ නාට්‍යය දුටු දා මා හිතුවා ‘කවද හරිම සුන්දරී වගෙ චරිතයක් කරන්න ලැබුණා” නම් කියලා. එය ඉටුවීම කොතරම් භාග්‍යයක් ද?

‘පරිත්‍යාගය‘ චිත්‍රපටයේ ටෝනි රණසිංහ සමඟ

ශ්‍රියානි අන්ධ තරුණියක් ලෙස ‘දෑස නිසා’ චිත්‍රපටයේ විවාහ වන්නේ ගමේ හිටිය විරූපී මිනිසා වූ නිරුදක සමඟ ඔහු කොතරම් විරූපී ද කිවහොත් ගමේ අය ඔහුට කීවේ ‘වැළහැඩියා’ කියාය. නිරුදක විවාහ වූ පසුත් තම අන්ධ බිරිඳ ඇත්තටම අන්ධ දැයි බැලීමට අත්හදා බැලීමක් කළා. මේ චරිතය රඟපෑවේ ජෝ අබේවික්‍රමය. මේ අත්දැකීම ශ්‍රියානි පවසන්නේ සතුටිනි.

ශ්‍රියානි අමරසේන වරෙක මවක හා පෙම්වතිය ලෙස ‘රත්ත්‍රන් අම්මා’ චිත්‍රපටයේ රඟපෑ අතර ‘නිවෙන ගින්න’ ඇය තම දරුවා නිසා පවුලකින් පළිගන්නා ගැහැනියකි. ‘හතර දෙනාම සූරයෝ’, ‘හිතුවොත් හිතුවා’, ‘අපරාධය හා දඬුවම’ වැනි ජනප්‍රිය චිත්‍රපටවල ද ඇය විවිධ චරිත රඟපෑවාය.

“ම‍ගේ ප්‍රියතම නළුවා වුණේ ගාමිණී ෆොන්සේකා. ඒ මම ගෝතමී විද්‍යාලයේ ඉගෙන ගන්න ගමන් ‘නරි බෑනා’ නාට්‍යයේත් ‘නරි බෑනා’නාට්‍ය බලන්න වරක් ගාමිණීත්, ජීවරාණි කුරුකුලසූරියත් ආවා. මම කොහේ ගියත් මා සමඟ යන අම්මාගේ බෑග් එකේ සමරු පොත අරං ගියා. එදා ගාමිණී නාට්‍යය බලලා නළු නිළියන්ට සුබ පතන්න ආවා. මම මගේ සමරු පොත ගාමිණීට දුන්නා. ඔහු මට සුබ පතලා අත්සන ලබා දුන්නා. පුදුමය! එය සිදුවී වසර පහකට පමණ පසු ගාමිණී සමඟ ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයේ ඔහුගේ පෙම්වතී ලෙස රඟපෑම. ඊට පසු ‘රත්ත්‍රන් අම්මා’, ‘හිත මිතුරා’ චිත්‍රපට මෙන්ම මා විසින් ම කතාව හා තිර නාටකය ලියූ මගේ සැමියා නිෂ්පාදනය කළ ‘රිදී තැල්ල’ චිත්‍රපටයේත් ගාමිණීත් මාත් රඟපෑවා. විජය කුමාරතුංග සමඟ ‘දැයේ මල් පිපිලා’ හිතුවොත් හිතුවා ඇතුළු ජනප්‍රිය චිත්‍රපට කීපයකම රඟපාන්ට ලැබුණා.”

ශ්‍රියානි ප්‍රිය කරන තවත් චිත්‍රපටයකි ලෙස්ටර්ගේ අහසින් පොළොවට’ චිත්‍රපටයේ විනීතාගේ චරිතය. දොස්තර සරත්ගේ (ටෝනි රණසිංහගේ) බිරිය වූ ඇය තම සැමියාගේ හිත් රිදවීම් මැද ජීවිතයේ දහස් වරක් මැරි මැරී උපන් ගැහැනියකගේ චරිතයක් රඟපෑවාය. ඇය දරු ප්‍රසූතියේ දී මිය යන්නීය.

“විනීතා මිය ගිය පසුත් මට රඟපෑමට සිදුවූයේ අමතක නොවන අත්දැකීමකට.”

“ශ්‍රියානි ඔයාට දැන් තියෙන්නේ මිනී පෙට්ටියක නිදාගන්න දර්ශනයක්.” ලෙස්ටර් මහතා කිව්වාම මම එලොව ගිහින් මෙලොව ආවා. මට ක්ලාන්තයක් ආවා.

“ඔයාට තියෙන්නේ මිනී පෙ‍ට්ටියක නිදාගෙන සැපට ඉන්න. ටෝනි රණසිංහ ඔයා ළඟට ඇවිත් හඬන දර්ශනයක් තියෙන්නෙ.” ලෙස්ටර් මහතා කිව්වා.

මේ දර්ශනය ගත්තේ පල්ලෙකැලේ වතුයායක බංගලාවක. මල් ශාලාවකින් මිනී පෙට්ටියක් අරන් ආවා. සුදු සාරියකින් සැරසුණු මාව කැමරා සහායක වූ කේ.ඒ. ධර්මසේන හා නිෂ්පාදන අධිකාරි එච්.එම්. අබේසිංහ මා ඔසවා මිනී පෙට්ටියේ තැබුවා. ඒ දර්ශනයේදී ටෝනි මා ළඟට වී අඬනවා. රූප ගතවීමෙන් පසු ඊළඟ දර්ශනයට සූදානම් වන තෙක් ටෝනි මට විතරක් ඇහෙන්න මෙහෙම කියනවා.

“උඹ පණ පිටින්ම වළලනවා. එතකන් ඉවසල හිටපිය”

මට හිනා ගියා. මිස්ටර් ලෙස්ටර් පීරිස් දැකලා කේන්තියෙන් එතැනට ආවා.

“අයිසේ ටෝනි ශ්‍රියානිට ඉන්න දෙනවා. එයා මැරුණට පස්සෙවත්...”

මේ දර්ශනය මට දැනුත් මැවිලා පේනවා. මේ දර්ශනය තිරයෙන් දැකලා මගෙ අම්මාත් තාත්තාත් ඇඬුවා. මට හොඳටම බැන්නා මූසල දර්ශනවලට ඉන්නවා කියලා. මගේ සැමියා කිව්වේ මේක රඟපෑමක් කියලා, ජීවත්වෙලා සිටින කාලේ මේ විදිහට බොරුවට මිනී පෙට්ටියක නිදා ගන්න කෙනෙකුට ලැබෙනවාද? කියලා.”

ශ්‍රියානි චිත්‍රපටවල මෙන්ම උසස්ම නාට්‍ය කිහිපයකම රඟපෑවාය. සුගතපාල ද සිල්වාගේ ‘හිත හොඳ අම්මණ්ඩි’, ධම්ම ජාගොඩ ගේ ‘වෙස් මුහුණු’ වගේම ‘කුස පබාවතී’ ‘තම්මැන්නා’ නාට්‍යවල ඇය රඟපෑවා‍ය. ගායිකාවක් ලෙස ඇය විජය කුමාරතුංග සමඟ ගී ගැයූ ‘දිනකට පායා’කැසට්පටයට ගී ගැයුවාය. එසේම චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙස තරණය, දැසේ මල් පිපිලා චිත්‍රපට සිනමාවට තිළිණ කළාය. තිරනාටක රචිකාවියක් ද වූවාය. නවකතා රචිකාවියක් වූවාය. ටෙලිනාට්‍ය නිළියක වූ ඇය අධ්‍යක්ෂවරියක් ද වූවාය.

“මගේ සිනමා ජීවිතය දෙස ආපසු හැරී බලන විට මනසින් දුක් විඳින, ඇතැම් විට ආදරය, සොම්නසින් හා දොම්නසින් සඟවා සිටින, චරිත ද තිබෙනවා. ජීවිතය දෙස දයාවෙන් දකින චරිත මම රඟපාන්න කැමැතියි. ‘විරාගය’ චිත්‍රපටයේ සරෝජිනීගේ චරිතය තරම් දයාලූ චරිතයක් මීට පෙර මම රඟපා නැහැ, මම අසීමිතව නවකතා කියවූ කෙනෙක්. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘විරාගය’ මා කොතරම් වරක් කියවා ඇද්ද? එහි එන සරෝජිනීගේ චරිතයට තෝරා ගත් පසු මා දස වරකටත් වඩා මේ නවකතාව කියෙව්වා. මට හිතෙන්නේ අරවින්දගේ චරිතය ගුඪ චරිතය වටහා ගැනීමට ඔහු ස‍රෝජිනී හා බතී අතර සම්බන්ධය වටහා ගත යුතුයි කියලා. අරවින්ද උපතින් ම උපාසක ගති චරිතයක් වුවත් ඇය මුලින්ම හමුවන තරුණියත්, පාසල් වියේ දී හමුවන තරුණිය වූ සරෝජිනිට රහසින් ආදරය කරනවා. සරෝජිනීත් අරවින්දට කොතරම් ආදරේද යත් වරෙක ඇය මෙසේ කියනවා‍.

“අම්මා තාත්තලට නොකියා අපි පිට පළාතකට ගිහිං ජීවත් වෙමු. අපිට පුංචි ගෙයක් කුලියට අරගන්න පුළුවන්. ඔයාට කෝච්චියෙන් කන්තෝරුවට යන්න පුළුවන් තැනක් අපි හොයා ගනිමු.”‍

චිත්‍රපටයේ වෙසක් කැරොල් කණ්ඩායමක් අරවින්දගේ ගෙදරට එනදා ඉස්තෝප්පුව අද්දර දැල්වෙන වෙසක් පහන අසල අරවින්ද හා ස‍රෝජිනී ප්‍රබෝධයකින් ආදරයෙන් කතා කරන අතර වෙසක් පහනක එළියෙන් ඔවුන්ගේ ආදරය මතුවන දර්ශනයට මා වඩාත් කැමැති, ගෙමිදුලේ කැ‍රොල් කණ්ඩායම ගීත ගායනා කරන අතර සරෝජිනී, අරවින්ද සමඟ කරන ආදර කතා බහ කරන දර්ශනයටයි. වඩාත් සෝබර දර්ශනය අරවින්ද මරණාසන්නව සිටියදී සරෝජිනි ඔහු දකින්ට යන අවස්ථාව. සනත් ගුණතිලක තම සිනමා ජීවිතයේ ඉතා විශිෂ්ට රංගනය ඉදිරිපත් කරන්නේ අරවින්දගේ චරිතයෙන්.

මේ දර්ශනයේ ඔහු නිරාහාරව සිට තම ශරීරයේ බර අඩු කරගෙන අපමණ දුෂ්කර ක්‍රියා කර සිටි නිසා කෘෂවූ ශරීරය දැකලා මට ඇත්තටම ඇඬුණා. අරවින්ද ඇදට වී සිටියේ මහලු වියේ මිනිසෙකු ලෙසට. ඔහු සුදු ඇතිරිලි සහිත ඇඳක වැතිරී ඒ අතරින් මිදී මගේ පිටි අල්ල උඩට එනවා. ඔහුගේ අතැඟිලි මඳක් හැකිලෙනවා. ඔහුගේ අතට හසුවන මගේ අත පණ නැතිව ගිය කලක මෙන් නිසලව දරදඬු වෙනවා. සොම්නසක් ශෝකයක් මුසු වී ඔහුගේ දෑසට කඳුළු එනවිට මම ඇත්තටම ඇඬුවා.

“අර අල්මාරිය ඇරල එකේ ලාච්චුවෙ ඇති ලියුම් කවරයක්. ඒක අරගන්න.”

අරවින්දගේ ඉල්ලීමෙන් අන්දමන්ද වන මම අල්මාරිය අරින්නේ අකමැත්තෙන් එහි ඇති ලියුමක් අතට ගන්නවා.

“සරෝජීනිගේ අනිත් ලියුම් සේරම පිච්චුවා. මේක විතරක් පුච්චන්න හිතුණේ නැත්තේ ඇයි කියලා මම දන්නේ නෑ.”

මම දස වසරකට පෙර අරවින්දට ලියූ එම ලිපිය කියවමින් කඳුළු පිරි දෙනෙතින්, ජනේලයෙන් පිටත බැලුවා. ඇත්තටම මගේ ඇස්වලින් කඳුළු වැටී ලියුම තෙත් වුණා. මේ අවස්ථාව මගේ චිත්‍රපට ජීවිතයේ කිසිදා ලැබෙයිද දන්නේ නැහැ. ඒ හැම විටම තිස්ස අබේසේකර නම් විශිෂ්ට තිරනාටක රචකයා, අධ්‍යක්ෂකවරයා මට නිතර සිහිපත් වෙනවා. මේ චරිතය රඟපෑමෙන් පසු මා නොතිත් ආසාවෙන් කියවූ ඩොස්ටොවොස්කි හා චෙකොෆ් යන මහා ලේඛකයන්ගේ ඇතැම් කථාවල එන ඉහවහා ගිය මානව දයාව මට නිබඳව මතකයට ආවා. ශ්‍රියානි අවසන් වශයෙන් කීවාය.

 

 

 ඒ. ඩී. රන්ජිත් කුමාර

 

 ඒ. ඩී. රන්ජිත් කුමාර

 

Comments