පාපැදි රාජ­ධානියේ අලුත් පිටුව ·චීනය පරි­සර දූෂ­ණය අවම රටක් වෙයි | සිළුමිණ

පාපැදි රාජ­ධානියේ අලුත් පිටුව ·චීනය පරි­සර දූෂ­ණය අවම රටක් වෙයි

ශරීරයට අවශ්‍ය දෛනික ව්‍යායාම ලබා ගැනීම සඳහා පාපැදිය බෙහෙවින් වැදගත් බව චීන වෛද්‍යවරු පවසති. ජනාකීර්ණ නගරවල කාර්යබහුල ජීවිත ගත කරන ජනතාව පාපැදි තෝරා ගැනීමේදී එය ද සැලකිල්ලට ගෙන තිබේ. පාපැදි සඳහා

වෙන් කෙරුණු අධිවේගී මාර්ගයක් ඉකුත් වසරේ මැයි මාසයේ දී චීනයේ බෙයිජිං නගරයේ විවෘත කෙරිණ.

 

චීනයේ “සොං රාජවංශ” සමයේ නැව් ගමනාගමනය සඳහා නිපදවූ “සි නාන්” නමැති උපකරණයට කාන්දම් එක් කිරීමෙන් මාලිමාව නිර්මාණය කෙරිණි. 13 වන සියවසේදී අරාබිකරයටත් පසුව යුරෝපාකරයටත් එය ව්‍යාප්ත වී තිබේ.

 

වත්මන් ලෝකය වෙනස් කිරීමට හේතු වූ නූතන සොයා ගැනීම් හතරක් ද චීනය ලොවට දායාද කර තිබේ. එනම් ඊ-වාණිජ්‍යය (e-commerce), අධිවේගී දුම්රිය (high-speed rail) ජංගම ගෙවීම්, (mobile-payment) සහ පාපැදි බෙදාගැනීම (bike-sharing) ය.

90 දශකය වන විට ලොව වැඩිම පාපැදි භාවිතය සහිත රට බවට චීනය පත්වූ අතර “ලොව පාපැදි රාජධානිය” යන විරුදාවලිය ද ලැබිණ. යුරෝපයේ ඕනෑම කෙනෙකුට ප්‍රසිද්ධ ස්ථානයකින් පාපැදියක් කුලියට ලබා ගත හැකිය. දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළවල්, ප්‍රධාන රාජ්‍ය හා පෞද්ගලික ආයතන අසල විශාල ප්‍රමාණයේ පාපැදි ගාල් සකස් කර තිබේ. තම ජංගම දුරකථනයේ යෙදවුම මගින් පාපැදියේ “කිව් ආර් කේතය” (QR Code) ස්කෑන් කළ විට පාපැදියේ අගුල නිදහස් වෙයි. පාපැදියේ සමස්ත ගමන් මාර්ගය “ජී පී එස් තාක්ෂණය” ඔස්සේ අදාළ සමාගම විසින් නිරීක්ෂණය කරනු ලැබේ. ඊට අදාළව පාපැදියට සවිකර ඇති මෙවලම් බලගන්වා ඇත්තේ සූර්ය ශක්තියෙනි.

ගමනාන්තයට පැමිණි පසු ආසන්නතම ගාලෙහි පාපැදිය නවත්වා පාරිභෝගිකයාට තම අවශ්‍යතාව වෙනුවෙන් ඉවත්ව යා හැකිය. පාපැදියේ අගුල දැමීමත් සමඟ ගමනේ අවසානය සනිටුහන් වන අතර, ගාස්තුව පිළිබඳ පණිවුඩයක් ජංගම දුරකතනයේ යෙදවුම හරහා ලැබේ. “වී චැට්” හෝ “අලි පේ” මඟින් එවෙලේම මුදල් ගෙවා දැමීම සාමාන්‍ය ක්‍රමයයි. පාපැදිය නවත්වා අගුල යෙදීමෙන් පසුව එහි ආරක්ෂාව පිළිබඳ කිසිදු වගකීමක් පාරිභෝගිකයාට නැත. එතැනට පැමිණි වෙනත් පාරිභෝගිකයෙකු විසින් එම පාපැදිය ඔහුගේ ගමනාන්තය සඳහා මේ ආකාරයට ම රැගෙන යනු ඇත.

තම අවශ්‍යතාව ඉටු කර ගැනීමෙන් පසු කලින් පාරිභෝගිකයාට ආපසු යාම සඳහා අවශ්‍ය නම් තවත් පාපැදියක් ලබා ගත හැකිය.

සමාගම් කිහිපයක් චීනයේ පාපැදි බෙදා ගැනීමේ ව්‍යාපාරයට එක් වී ඇත. මේ වන විට චීනයේ නගර 360ක පමණ ක්‍රියාත්මක වන පාපැදි සමාගම් ගණන 70 ඉක්මවයි. 2019 වසරේ අගෝස්තු මාසය වන විට පාරිභෝගිකයින් සඳහා එමගින් නිකුත් කර ඇති පාපැදි ප්‍රමාණය මිලියන 19.5කි.

ඒ අතරින් මිලියන 3.65ක හා මිලියන 2.5ක ධාරිතාවක් සහිතව පෙරමුණ ගෙන සිටින්නේ පිළිවෙලින් “ඔෆෝ”සහ “මෝබයික්”යන සමාගම් ය. කාබන් විමෝචනය පිළිබඳ අන්තර්ජාතික පැරිස් සම්මුතීන් නියමිත කාලයට කලින් සාක්ෂාත් කර ගැනීමට චීනය සමත් වී සිටී. ප්‍රධාන නගර ආශ්‍රිතව පාපැදි භාවිතය ඉහළ යාම ඊට හේතුවක් වී ඇත. චීනයේ මෝටර් රථ භාවිතය 55%කින් පමණ අඩු වී ඇති බව නවතම වාර්තාවක සඳහන්ය.

මෑත කාලීනව බෙයිජිං අගනුවර වායු ගුණාත්මකභාවය ශීඝ්‍රයෙන් ඉහළ යාමට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රථවාහන ප්‍රමාණය අඩු වීමය. මාර්ග තදබදයට හසු නොවී කාලය ඉතිරි කර ගනිමින් ගමන් බිමන්වල යෙදීමට චීන ජාතිකයින් පෙලඹී ඇත.

ශරීරයට අවශ්‍ය දෛනික ව්‍යායාම ලබා ගැනීම සඳහා පාපැදිය බෙහෙවින් වැදගත් බව චීන වෛද්‍යවරු පවසති. ජනාකීර්ණ නගරවල කාර්යබහුල ජීවිත ගත කරන ජනතාව පාපැදි තෝරා ගැනීමේදී එය ද සැලකිල්ලට ගෙන තිබේ. පාපැදි සඳහා වෙන් කෙරුණු අධිවේගී මාර්ගයක් ඉකුත් වසරේ මැයි මාසයේ දී චීනයේ බෙයිජිං නගරයේ විවෘත කෙරිණ. “හුයිලොංගුවාන්” (Huilongguan) හා “ෂන්දි” (Shangdi) යන ප්‍රදේශ යා කෙරෙමින් ඉදි කෙරුණු මාර්ගයේ දිග කි. මී. 6.5කි. පැයට කි. මී. 20ක වේගයෙන් එහි පාපැදි ධාවනය කළ හැකිය. පාපැදි බෙදා ගැනීමේ මෙම හරිත ව්‍යාපෘතිය ලොව සෙසු රටවලට ද හඳුන්වාදීමට චීන සමාගම් මේ වන විට පියවර ගෙන තිබේ. ඒ අනුව ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජපානය හා ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක චීන ආයෝජන ක්‍රියාත්මකය.

පාපැදි බෙදා ගැනීම කෙරෙහි ජනතාවගේ උනන්දුව එන්න එන්නම වැඩි වන බව නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙයි. ඒ අනුව ඊට අදාළ සමාගම්වල ආයෝජනය ද වැඩි වෙමින් තිබේ. වසර 2020 අවසානය වන විට එය යුවාන් බිලියන 17 පමණ වෙතැයි ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව චීනය යළිත් ලොව පාපැදි රාජධානිය වනු දැකීමට චීන ජනයා කැමැත්තෙන් සිටිති. පරිසර දූෂණය, බලශක්ති අර්බුදය වැනි සාධක මත සමස්ත ලෝකයම අනාගතයේ දී පාපැදිය කෙරෙහි වඩාත් නැඹුරු වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

 

 මෝතිලාල් හිස්සැල්ල

චීනයේ බෙයිජිං සිට

Comments