ඩසතරඹර එකලු කළ වලාණේ තෙරිඳු සඳ | සිළුමිණ

ඩසතරඹර එකලු කළ වලාණේ තෙරිඳු සඳ

 

ලංකාවේ නූතන ශාස්ත්‍ර ප්‍රබෝධය ඇරඹී සියවස් දෙකක පමණ කාලයක් ගත වන විට දිවයින පුරා ශාස්ත්‍රාලෝකය විහිදුවා ලීමට සමත් ගිහි පැවිදි පඬි පරපුරක් බිහි වීමේ සංස්කෘතික ඉතිහාසය විධිමත් ලෙස ලේඛනගත වී නොමැති වීම මෙරට ඉතිහාසකරණයේ බලවත් අඩුපාඩුවකි. එක් එක් පුද්ගලයන් අතින් ලියවී ඇති තොරතුරුද බොහෝ විට එකිනෙකට පටහැනිය. මේ ඉතිහාසය පිළිබඳ කර්ණ පරම්පරාවෙන් යම් තොරතුරක් දැන සිටි වැඩිහිටි පරපුරද මෙලොව හැර ගොසිනි. ඉතිරිව සිටින්නේ අතීතය පමණක් නොව වර්තමානයද හරි හැටි නොදන්නා පරපුරකි. යම් රටක් ඒ රටෙහි ප්‍රඥාවේ නැණ පහන් දැල්වූ පුරා පුරුෂයන් අමතක කර දමන්නේද එය ඒ රට පරිහාණියේ මාවතට එළඹි බව පෙන්වන සංඥාවකි.

වැලිවිට සරණංකර හිමියන්ගෙන් ඇරඹුණු ධර්ම ශාස්ත්‍ර පුනරුත්ථාන පරිශ්‍රමයේ සිව් වෙනි පරපුර නියෝජනය කරන වලාණේ සිද්ධාර්ථ හිමියෝ කිහිප අතකින් සුවිශේෂ චරිතයකි. එතෙක් විහාරාරාම මුල් කොට ගෙන සිදුවුණු ධර්මශාස්ත්‍ර ඉගැන්වීම ශාස්ත්‍රාලයීය අධ්‍යාපනයක් බවට පරිවර්තනය වන්නේ බෙන්තොට අත්ථදස්සි සහ තච්ඡිෂ්‍ය යාත්‍රාමුල්ලේ ධර්මාරාම හිමිවරුන් බෙන්තොට වනවාස විහාරය විද්‍යාස්ථානයක් බවට පත් කොට ඉගැන්වීම් කටයුතු ඇරඹීමත් සමඟය. මේ ආයතනික ඉගැන්වීමේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු වන්නේ වලාණේ සිද්ධාර්ථ හිමියන් රත්මලානේ ‘පරමධම්මචේතිය’ විද්‍යායතනය ඇරඹීමෙනි. මේ විද්‍යායතනයෙන් ලැබුණු අධ්‍යාපනය කෙතරම් සාර්ථකද යන වග පෙන්වන හොඳම මාපකය වන්නේ එහි ශාස්ත්‍ර හදාළ විද්‍යාර්ථීන් කිහිප පොළක්ම දෙස් විදෙස් පතළ කිතු ගොසැති අග්‍රේසර පඬිවරුන් බවට පත් වීමය.

වලාණේ සිද්ධාර්ථ හිමියන්ගේ උපත 1811 වර්ෂයේ මාර්තු මාසයේ සිදු වූ බව මිස දිනය හෝ දෙමව්පියන් ගැන තොරතුරු අප්‍රකටය. උන්වහන්සේ ජනිත ග්‍රාමය ගැනද නිශ්චිත අදහසක් නැත. එක් පිරිසක් වැලිගම වලාන, සිද්ධාර්ථ හිමියන්ගේ ජාත ග්‍රාමය බව පවසන අතර තවත් පිරිසක් පානදුර වලාන බව පවසති. සිද්ධාර්ථ හිමියන් සමීපව ඇසුරු කළ ඈපා අප්පුහාමි විසින් 1869 වර්ෂයේ රචිත සිදත් වත නමැති සිද්ධාර්ථ චරිතාපදාන කාව්‍යයේ කොළඹින් තුන් ගව් අඩක් දුරින් දකුණු දෙසින් පිහිටි ස්ථානයන් ලෙසිනි වලාන දැක්වෙන්නේ. කොළඹ සිට වලානට ඇති දුර කි. මී. 27කි. සැතපුම් 16.8 කි.

ගව්වට සැතපුම් හතරක් වෙතැයි සැලකෙන බැවින් මේ ස්ථානය පානදුර වලාන බව පිළිගත හැකිය. සිද්ධාර්ථ හිමියන්ගේ ප්‍රවෘජ්‍යාව සම්බන්ධයෙන් තිබෙන තොරතුරුද ව්‍යාකුලය. සිද්ධාර්ථ හිමියන් සමීපව ඇසුරු කළ ඈපා අප්පුහාමි සඳහන් කර තිබෙන තොරතුරු විශ්වසනීය විය හැකි බැවින් ඒ තොරතුරුවලට අනුව මුන් වහන්සේ සොළොසැවිරිදි වියේදී පැවිදි වී තිබෙන්නේ වලානේ විහාරාධිපති ධුරය ඉසිලූ ගිඩ්ඩව ගුණරතන හිමියන් වෙතය. ප්‍රවෘජ්‍යාව සිදු කොට තිබෙන්නේ 1823 වර්ෂයේදී මහඅරුග්ගොඩ ඉන්දසාරාරාමයේදීය. ගුණරතන හිමියන්ගෙන් ටික කලක් ශාස්ත්‍ර හදාරා වැඩි දුර අධ්‍යාපනය ලැබ තිබෙන්නේ පානදුරේ ගල්ගොඩ විහාරාධිපතිව වැඩ විසූ නැදිමාලේ රේවත හිමියන් වෙතිනි. විසි හැවිරිදි වියේදී, රේවත නාහිමියන් උපාධ්‍යාය කොට 1831 වර්ෂයේදී සිද්ධාර්ථ හිමියෝ උපසම්පදාව ලදහ.

මේ කාලයේදී කරතොට ධර්මාරාම හිමියන්ගේ දීප්තිමත් ශිෂ්‍ය හිමි නමක් වූ ගාල්ලේ මේධංකර හිමියෝ ශ්‍රී පාදස්ථානාධිපති තනතුරට පත්ව පැල්මඩුල්ල විහාරස්ථානය ධර්මායතනයක් බවට පත් කොට ධර්ම ශාස්ත්‍ර ඥනය පතුරුවා ලීමේ මෙහෙයට උර දී සිටියහ. උපසම්පදාව ලද සිද්ධාර්ථ හිමියෝ පැල්මඩුල්ලට වැඩම කොට මේධංකර හිමියන් වෙතින් වැඩි දුර ශාස්ත්‍රෝද්ග්‍රහණය ඇරඹුහ. මේධංකර හිමියන්ගේ ඇවෑමෙන් පසු පැල්මඩුල්ලට වැඩම කළ ඉඳුරුවේ සුමංගල මේධංකර හිමියන් වෙතින් ස්වකීය අධ්‍යාපනය තව දුරටත් අනලස්ව කර ගෙන යාමට සිද්ධාර්ථ හිමියෝ සමත් වූහ. ධර්මශාස්ත්‍ර ඥානයෙන් සමෘද්ධ වූ සිද්ධාර්ථ හිමියන් නැවතත් වර්ෂ 1838දී වලාණේ විහාරස්ථානයට වැඩම කළ පසු උන් වහන්සේගෙන් ධර්මශාස්ත්‍ර හැදෑරීමට බොහෝ පිරිස් පැමිණියහ.

වර්ෂ හයක පමණ කාලයක් ඇතුළත සිද්ධාර්ථ හිමියන්ගෙන් ශාස්ත්‍ර හදාළ පිරිස අතර බටුවන්තුඩාවේ දේවරක්ෂිත, උඩුගම්පොළ රතනපාල, බද්දේගම සරණංකර, වේරහැර සෝභිත, මාලේවන සෝභිත, තලන්ගම, පැල්පල, ගණේගොඩ, වැලිකැටැල්ලේ, කෝදාගොඩ යන භික්ෂුන්වහන්සේ වූහ. මෙසේ ශිෂ්‍ය පිරිසට ශාස්ත්‍ර ඉගැන්වීම කරන අතරේ ඒ කටයුතු වඩාත් ප්‍රශස්ත අයුරින් කිරීම සඳහා ධර්මශාස්ත්‍ර ග්‍රන්ථ සුලබ කොට පොත්ගුලක් පිහිටුවිමේ අරමුණෙන් කටයුතු කරමින් සිටින අතරේ රත්මලානේ විසූ දොන් පුරෝලිස් ලේකම් රාලහාමි ප්‍රමුඛ දායක පිරිසකගේ ආරාධනයෙන් සිද්ධාර්ථ හිමියෝ රත්මලාන පුරාණ විහාරයට වැඩම කොට එහි පොල්අතු මඩුවක ශාස්ත්‍ර ශාලාවක් ඇරඹූහ.

පසුව මේ ශාස්ත්‍ර ශාලාවට අවශ්‍ය පහසුකම් වන සංඝාවාසය සහ පුස්තකාලය ගොඩනැඟීමෙහි ලා කොළඹ පිටකොටුවේ විසූ ජයසූරිය ආරච්චිගේ තෙදෝනිස් පෙරේරා අප්පුහාමි සහ දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි ඇතුළු බෞද්ධ උපාසකවරු පිරිසක් පුරෝගාමි මෙහෙයක් ඉටු කළහ.

රත්මලානේ පුරාණ විහාරයෙහි ආරම්භ කෙැරණු ‘පරමධම්මචේතිය’ විද්‍යායතනයේ ඉගැන්වීමේ කටයුතුවලට සිද්ධාර්ථ හිමිපාණන්ට අමතරව උන් වහන්සේ යටතේ ශාස්ත්‍ර හදාළ බටුවන්තුඩාවේ දේවරක්ෂිත හිමියන්ද දායක වූ බව පැවසේ. එබඳු පාණ්ඩිත්‍යයෙන් හෙබි පඬිරුවනකගේ දායකත්වය හේතු කොට ගෙන පරමධම්මචේතිය විද්‍යස්ථානයෙන් බිහි වූ ශිෂ්‍ය පිරිස පාණ්ඩිත්‍යයෙන් අගතැන්පත් වූවෝ දිවයිනේ මතු නොව ලොව නන් දෙස ද ශාස්ත්‍රාලෝකය පතුරුවා ලීමට පුරෝගාමි වූවාහුය. මේ පුරෝගාමී ශිෂ්‍ය පිරිස අතර හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ධර්මාලෝක, සූරියගොඩ සෝනුත්තර, දොම්පේ බුද්ධරක්ඛිත, ලබුගම සෝනුත්තර, හිඟුල්වල ජිනරතන, කොටුවේගොඩ ඤණානන්ද, මතුගම රේවත ඇතුළු තවත් භික්ෂූන් වහන්සේ කිහිප නමක්ද මොරටුවේ සිරිදියස් ද සිල්වා, දොන් අන්ද්‍රියස් ද ග්‍රේරු, වාද්දුවේ ඩී. පී. සමරසිංහ කවිරත්න හා ඩී. එච්. සමරසිංහ කවිරත්න ඇතළු තවත් ගිහි පිරිසක්ද වූහ.

වලානේ සිද්ධාර්ථ හිමියන්ගේ නාමය සදානුස්මරණීයත්වයට පත් වන තවත් මෙහෙයක් වන්නේ උන් වහන්සේගේ මූලිකත්වයෙන් 1867දී පැල්මඩුල්ලේ පවත්වන ලද ත්‍රිපිටක ශුද්ධියයි. ධර්මශාස්ත්‍ර ඥානය ව්‍යාප්ත කිරීම මෙන්ම ලේඛනගතව පවතින ධර්මශාස්ත්‍ර ඥානය නිරවුල් කොට නිරවද්‍ය පෙළක් සකස් කිරීමද මාහැඟි ශාස්ත්‍රීය පරිශ්‍රමයකි. වත්මන් ශාස්ත්‍රීය ව්‍යවහාරයේ මෙය හැඳින්වෙන්නේ පෙළ සංස්කරණය යනුවෙනි. සිද්ධාර්ථ හිමියන්ගේ ගිහි පැවිදි කීර්තිමත් සිසු පිරිස මේ කටයුත්තට පූර්ණ වශයෙන් දායක වූහ.

මේ කටයුත්ත සඳහා අවශ්‍ය බරපැන දරා තිබෙන්නේ සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ධුරය ඉසිලූ අභයකෝන් අතපත්තු මුදියන්සේ රාලහාමිලාගේ ඉද්දමල්ගොඩ නිලමේ නමැති ප්‍රභූවරයෙකි. පිරිවෙන් ස්ථාපනයෙන් පසු සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ රැසක ශාස්ත්‍රීය සංස්කරණ බිහි වූ අතර ඒ මාහැඟි ශාස්ත්‍රීය චර්යාවට පූර්වාදර්ශය සැපයුණේ මේ පරිශ්‍රමයෙන් බව නිසැකවම සිතිය හැකිය.

මෙරට ධර්ම ශාස්ත්‍ර පුනරුත්ථාන පරිශ්‍රමයට අමිල මෙහෙයක් ඉටු කළ වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමිපාණෝ හැට හත් වසක් ආයු වළඳා 1868 පෙබරවාරි මස 17 වන දින අපත් වී වදාළහ.

 
 

Comments