සෙල්ලං නෝනා වියූ අලුත් දැල | සිළුමිණ

සෙල්ලං නෝනා වියූ අලුත් දැල

කාලයක් තිස්සේ කෙහවළු පටලවාගන්න සංගමයක් තිබුණා. හැමදාම ගහගන්නවා, බැණගන්නවා, කෙහෙවළු අවුල් කරගෙන කෑගහනවා. එවා පත්තරවලත් ලියනවා, දෙපැත්ත කොටවනවා, අවුළවනවා. අර ඌර කැකුණ තලනකොට හබන් කුකුළට රජ මඟුල් වගේ තමයි. පිටුවෙ ප්‍රධාන ශීර්ෂය කරගන්න කතාවක් නැතිව වේලි වේලි ඉන්නකොට අර කෙහවළු සංගමයට තමයි කතාකරන්නෙ. ඒකෙ ඉන්න ටැක්සි නෝනයි, වේල්ලේ නෝනයි ප්‍රසිද්ධියේ බැණ ගන්නෙ නෑ. ඒ ගොල්ලෝ කෙහෙවළු පටලවාගන්න අනිත් අයට උසිගන්වලා බලාගෙන ඉන්නවා. හරියට පොරකුකුල්ලු කොටවනවා වගේ.

ඒත් සෝඩා බෝතලේ වගේ කටට ආපු දේ කියන උසසින්ත් නෝනයි, තවත් නෝනලා ටිකකුයි ඉතින් අවුස්සා ගත්තොත් පොළට ගියා වගේ තමයි. ලාභයි, ලාභයි කියලා අල ගිය මුල ගිය තැන් හෝද හෝද මඩේ දදා බැණ අඬ ගහගන්නවා. පාළුවක් නෑ. තනිකමක් නෑ. ඔන්න ඕක තමයි කෙහෙවළු සංගමයේ ඉස්සර තත්ත්වය.

දැන්නම් ඒ තත්ත්වය ටිකක් විතර වෙනස් වෙලා. මොකද අර වේල්ලෙ නෝනා කට්ටියම බැලන්ස් කරගෙන ෂේප් එකේ පනාව දාගෙන වැඩේ කරගෙන යනවා වගේ පේන්න තියෙනවා. ඉතිං ඒක උත්කර්ෂයට නංවමින් පසුගියදා 'පරණ කෙහෙවළු සංගමයේ ' නිලධාරිනියන් මහ සභා රැස්වීමත් පැවැත්වුවා. ඒකෙදි වුණේ පසුගිය වසරේ විය පැහැදම් මහ සභාවට දැනුම් දීලා ඒ අයවැය අනුමත කරගන්න එකයි. හරිම ආදර්ශවත් වැඩක්. පිරිමියෝ කෙහෙවළු නැතිව අයවැය ගැන තැන තැන ප්‍රශ්න ආරවුල් ඇතිකරගනිද්දී නෝනලා ටික ලස්සනට ගිනුම් ටික දීලා අනුමතත් කරගත්තා.

වේල්ලේ නෝනාගේ ගිනුම් වාර්තාවට 'හා.....කෝ..........ගිවිසුමක්' ගහලා සුටුස් ගාලා අනුමැතිය දුන්නා. ක්‍රීඩා පනත අනුල්ලංඝණීය කරලා වේල්ලේ නෝනා වැඩකළේ ඒ වගේයි. හැමදාම කොහේහරි කොස්සක් දකින වලිවීරට මේ වැඩේ හරිම ආසික්. ඇයි දෙයියනේ අයවැය දෙන්න බැරිව ළතවෙන සංගම් අස්සෙ කෙහෙවළු සංගමේ කොච්චර අපූරුද කියලා දැණුනු නිසා.

ඒත් අපිට ඒ අය වැය ඉදිරිපත් කළ මහ සභා රැස්වීමේදී 'සොරි තමයි' කියලා හිතුණ තැනක් තිබුණා. ඒ මොකද දන්නවද අර ලස්සනට කළ වැඩේට ගොම බිංදුවක් මුහුවුණා වගේ සිද්ධියක් දැකපු නිසා. මොකක්ද දන්නවද ඒ ගොම බිංදුව. සති දෙක තුනකින් විශ්‍රාම යන්න බලාගෙන ඉන්න සෙල්ලම් ගෙදර නෝන කෙනෙක්ගේ වැඩපිළිවෙලේ තිබුණු ආරවුල.

එයා එදා 'කෙහෙවළු පටලවන කට්ටිය කරන අර දැලට පන්දු දාන ක්‍රීඩාව කරන ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමයක් පිහිටුවන්න යෝජනා කළාලු. ඒක කෙහෙවළු සංගමයේට අනුබද්ධ කරලා පිහිටුවන්න එයාගේ බලාපොරොත්තුව වුණාලු. වැඩේ හොඳයි කියමුකො. ඒත් ඒ වැඩේ කරන්න තියෙන්නේ මහ සභා රැස්වීමට ඉදිරිපත් කරද්දී අලුතින් පිහිටුුවන සංගමයේ පිටපතක්, නිලධාරී මණ්ඩලය වගේම තමන් පවත්වපු තරගාවලි මොනවද කියලත් දැනුම් දෙන්න ඕනෑ.

ඒත් දෙයියනේ මේ මාර සෙල්ලම් හාමිනේ ඉදිරිපත් කළ යෝජනාවේ ඔය කිසිදෙයක් නෑ කියන්නෙ. වේල්ලේ නෝනයි එයාගෙ කස්ටියයි තක්බීර් වෙලා බලා ඉඳිද්දී මාර සෙල්ලම් හාමිනේ පිහිටවාගත්ත සංගමයට දිස්ත්‍රික් සංචිතවල ඉන්න සාමාජිකාවෝ ඇතුළත් වෙලා ඉන්නවාය කියන්නෙ. බලය පරම ලාභය කියලා හිතාගෙන ඉන්න බහුතර කණ්ඩායමක් මේ සංගමේ ඉන්න නිසා මාර සෙල්ලම් හාමිනේගේ වැඩේ කෙහෙවළු නැටිල්ලක් වෙන්න යනවා කියලා තමයි ආරංචි. එහෙම වුණොත් වේල්ලේ නෝනත් සුං........නෝනගේ කෙහෙවළු සනුහරෙත් සුං...............හැබැයි ටැක්සි නෝනා ගැනනම් කිසි ආරංචියක් නෑ හොඳේ......

වලිවීර

Comments