ලොක්ඩවුන් බැමි බිඳ තිස්පස් වසරක මිටර් 1500 කනිෂ්ඨ වාර්තාව අලුත් කළ ශානිකාගේ නිමේෂයක අහිමි වීම | Page 2 | සිළුමිණ

ලොක්ඩවුන් බැමි බිඳ තිස්පස් වසරක මිටර් 1500 කනිෂ්ඨ වාර්තාව අලුත් කළ ශානිකාගේ නිමේෂයක අහිමි වීම

 

‘මම මේ තරග නිමි කාල ගැන දැන ගෙන හිටියේත් නෑ. ඒ වගේම රේස් එක මේ වෙලාවට දුවන්න පුළුවන් වෙයි කියලා හිතුවෙත් නෑ.

ශානිකා ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ශිෂ්‍යාවකි. සිරිකුරුස යැයි කීවාට පුරවරයේ ප්‍රසිද්ධ ‘හොලික්‍රොස්’ විදුහලයැයි කියද්දීය. ඈ තිස්පස් වසරක් පුරා ලෙනක් තුළ සිරව තිබූ ධම්මිකා මැණිකේගේ පාසල් වාර්තාවක් නිදහස් කළාය. වැඩිදෙනෙක් සිහිපත් නොකළද මේ ඇගේ කතාව ය.’

යොමුවද්දී ඔවුන් හා කරට කර පිටුපසින් දිව ගොස් ජය සීමාව පසුකර ගියාය. මිටින් හල කිරිල්ලියක් ලෙස දිවගිය ඇය ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේදී වැඩි අවධානයක් හිමි කර නොගත්තද එය ඇගයිය යුතු විශිෂ්ට දක්ෂතාවකැයි කිවයුතුය.

මීටර් 800 කාන්තා ඉසව්වට එක් වූ ශානිකා, මිනිත්තු 2:08.90 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් සිව්වැනි ස්ථානයට පත් වූවාය. එය ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා වූ පරිසාදන මට්ටම (2:08.70) ආසන්නයටම පැමිණීමක් වීම විශේෂත්වයකි.

ඉන් අධෛර්යයට පත් වූයේ ඈ නොවේ. ඉන් අනතුරුව පැවති මීටර් 1500 ඉසව්වේ තම උපරිම දක්ෂතාව දක්වමින් (4:33.40) වසර 35 කට පෙර එනම් 1985 දී සිංගප්පුරුවේ පැවැති කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී හිටපු ඔලිම්පික් ක්‍රිඩිකා ධම්මිකා මැණිකේ සතුවූ විනාඩි 04.35.70ක වාර්තාව බිඳ හෙළීමට ඈ සමත් වූවාය. එහෙත් මීටර් 1500 ඉසව්වේ දී ඇයට හිමිවුණේ සිවුවැනි ස්ථානය යි.

‘ගහේ කටු උල්කරන්න ඕනෑ නෑ’ යැයි කියමනක් ඇත. ඇයද එවැනි ක්‍රීඩිකාවකි. ශානිකාගේ මව හා පියා ක්‍රීඩාවට ලැදි වූවෝ වෙති. ලොකු අයියා සමීර කරාතේ ක්‍රීඩකයෙකි. අක්කා සජිනී, පොඩි අයියා ශාලිත මලල ක්‍රීඩකයෝ ය. ඔවුහු මලල ක්‍රීඩාවෙන් සමස්ත ලංකා ජයග්‍රහණ පවා ලබා ඇත. එහෙත් ආර්ථිකය ඔවුන්ගේ ක්‍රීඩා ගමන අතර මඟ අඩාල කළේය.

එය එසේ වන්නේ තම අම්මා ගෘහණියක් වීමත් පියා දෛනික ශ්‍රමිකයකු වශයෙන් කටයුතු කිරීමත් හේතුවෙනි.

‘දැන් අයියලා දෙන්නයි අක්කයි රැකියා කරන නිසා අඩුපාඩු තිබුණත් ගෙදර වැඩ ටික කරගෙන යනවා.’ ඇය කීවාය.

‘මට මුලින් ම පුහුණුකරුවෙක් හිටියේ නෑ. අක්කයි, පොඩි අයියයි දෙන්නම පුහුණුවිම් කළේ‍්, මධුර පෙරේරා සර් ළඟ.ඒ දවස්වල මමත් ඒ දෙන්නගේ පස්සේ වැටිලා යනවා.

මුලින් ම දුර පැන්නා. ඒ 2012දී විතර.එතකොට කිරිකිත්ත කනිෂ්ඨ විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තෙ. ඒ අවුරුද්දේම බස්නාහිර පළාත් මලල ක්‍රීඩා තරගාවලියේදී, අවුරුදු 11 පහළ දුර පැනිමේ ඉසව්වෙන් මිටර් 3.91ක් පැනලා වාර්තාවක් තිබ්බා. මිටර් 75 ඉසව්වෙන් තුන්වැනි ස්ථානය දිනා ගත්තා. හත් වැනි වසරේ ඉගෙන ගන්න කොට තමයි ගම්පහ හොලික්‍රොස් විද්‍යාලයට එන්න කියන්නේ.’ ඈ තම ගමන් මඟ එලෙස හෙළි කළාය.

ඈ මෙතෙක් සහභාගි වු විදේශ තරගවලින් ද සැලකිය යුතු දස්කම් දක්වා තිබේ. 2016 රුසියාවේ පැවැති ලෝක ළමා මලල ක්‍රීඩා තරගාවලියේ මිටර් 400 සහාය දිවිමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් ඈ 2019 තෙවැනි ආසියානු කනිෂ්ඨ තරගාවලියේ මිටර් 800 ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනාගත්තාය.

ඈ ලබන වසරේ පැවැත්වෙන කනිෂ්ඨ ලෝක ශුරතාවලියේ මීටර් 800 ඉසව්වේ පරිසාධන මට්ටම ජාතික මලල ක්‍රීඩා ශූරතාවේ මඟ හැරි යන්නේ තත්පර දශම දෙකකිනි.

‘මම මේ තරග නිමි කාල ගැන දැන ගෙන හිටියේත් නෑ. ඒ වගේම රේස් එක මේ වෙලාවට දුවන්න පුළුවන් වෙයි කියලා හිතුවෙත් නෑ. ලෝකයේ පළමු 48 දෙනා මේ තරග නිමි කාලය දුවලා තිබුණේ නැත්නම් අනිවාර්යෙන් මට අවස්ථාව තියෙනවා.ඒ වගේම ලබන අගෝස්තු දක්වා ම සුදුසුකම් ලබන්න කාලය තිබෙනවා. ඒකට තව ප්‍රධාන තරගාවලි තුනක් පැවැත්වීමට නියමිතයි.’ ඈ පවසන්නේ බලාපොරොත්තු සහගතවය.

කොවිඩ්19 දෙවැනි රැල්ලත් සමඟින් ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන බොහෝමයක් හුදකලා කළ අතර, ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ පුහුණු කටයුතු සඳහා බොහෝ සෙයින් බාධා මතුවිය.

කෙසේ වෙතත්, ඔවුන් පළාත් ක්‍රිඩා අධ්‍යක්ෂ, ක්‍රීඩා අමාත්‍යංශය හා වෛද්‍යය අංශවල සහයෝගයෙන් ගම්පහ හුදකලා පුහුණු කණ්ඩායමක් ලෙස පුහුණුවීම් කළහ. ඊට ශානිකා ලක්ෂාණිගේ පුහුණුකරු වන මධුර පෙරේරා හා දිස්ත්‍රික්කයේ පුහුණුකරුවන් විශාල වෙහෙසක් ගත්හ. මේ එහි එක් ප්‍රතිඵලයකි.

කෙසේ වෙතත් පෝෂණ අවශ්‍යතා පමණක් නොව,ධාවනයට මෙන්ම පුහුණුවිම් වලටද නිසි පාවාහන් නොමැතිකමද ශානිකාගේ දක්ෂතා යටපත් විමට හේතු සාධකයන්ය. කෙසේ වෙතත් සියලු ආර්ථික අඟහිගකම් යටපත් කරගෙන හෙට ලෝකය දිනන්නට වෙර දරන ශානිකාට බලධාරින්ගේ අවධානය යොමු විය යුත්තේ අද දිනයේය.

***********************

පිටියේ ක්‍රීඩිකාවක් ජවන තරගවලට වෙනස් කළා

මධුර පෙරේරා

(ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී)

මට මුලින්ම ශානිකා මුණ ගැහෙන්නේ 2012 දී යි. ඒ ඇගේ අයියයි ,අක්කයි මාර්ගයෙන් . එතකොට දුර පැනිම විතරයි කර කර හිටියේ. ඒ වෙද්දී බස්නාහිර පළාත් වාර්තාව ඇය සතු වුණා. ඒත් ශානිකාට පිටියේ ඉසව්වලට වඩා දුවන (ජවන) ඉසව් වලට ගැලපෙනවා කියලා මට අවබෝධ වුණා. ඒ විශ්වාසය උඩ තමයි ඇයව ඒ වෙනුවෙන් යොමු කළේ.

බස්නාහිර පළාත් තරග අවුරුදු 11න් පහළ විතරයි තියෙන්නෙ. සමස්ත ලංකා තරගත් නෑ. අවුරුදු 14-15 පහළ මිටර් 800-1500 වගේ ඉසව් නෑ.මුලින් අවුරුදු 15න් පහළ මිටර් 400 ඉසව්වට සහභාගි වුණේ 2016දී.

අනුරාධපුරයේ තිබුණු සර් ජෝන් ටාබට් තරගාවලියේ තියුණු තරගයකින් පස්සේ දෙවැනියා වුණා.එතැනින් කරළියට පැමිණෙන ශානිකා මේ දක්වා ම තමන්ගේ වයස් කාණ්ඩයන්හි විශිෂ්ට දස්කම් දක්වමින් ඉදිරියට පැමිණීම විශේෂයි.

ඡායාරූප - ජගත් ඉරෝෂණ

බන්ධුල ජයමාන්න

 

 
 

Comments