මම යන්නේ බයේ නෙවෙයි | Page 2 | සිළුමිණ

මම යන්නේ බයේ නෙවෙයි

 

ASHANTHA de mel

ක්‍රීඩකයෝ මම කියන දේ අහනවා

වෛද්‍යවරියගේ ගැටලුවත් මට අදාළ නෑ

උඩ තට්ටුවෙ බූරුවා ගැහුවට මම මොනව කරන්න ද?

තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරමින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වශයෙන්ද කටයුතු කළ අසන්ත ද මෙල් හදිසියේ කළමනාකාරී ධුරයෙන් ඉවත්වන්නට තීරණය කළේය. ඉවත් කිරීමට පෙර ඉවත් වූයේ ද? ක්‍රීඩා ඇමැතිවරයාගේ තීරණයට පෙර මෙම තීරණයට එළඹුණේ ද? ක්‍රීඩකයන් කාඩ් ක්‍රීඩාවේ යෙදුණු නිසා ඇතිවූ ගැටලුවෙන් ඉවත් වුණේද? ක්‍රීඩක විනය පිළිබඳ ආන්දෝලනාත්මක මත ප්‍රකාශවීම ඊට හේතුවක් වුණේ දැයි ‘ක්‍රීඩා’ ඔහුගෙන් විමසා සිටියේය.

ඔබ කළමනාකාර ධුරයෙන් ඉවත් වෙන්නේ කළකිරීමෙන් ද?

මට කිසිම කළකිරීමක් නෑ. ඒත් ඒක මම තාවකාලිකව බාරගත්තු රැකියාවක්. උපකාරයක් විධිහට තමයි මම ඒක කළේ. ඉතින් කළකිරෙන්නේ මොකටද?

ඒත් මේ තීරණයට එළඹුණේ බය නිසා කියලා ඇතැමුන් චෝදනා කරනවා?

කාට බයේද? හරි වැඩ කරන්න බය වෙන්න ඕනෑ ද? හරිපැත්තේ හිටගන්න මම කවදාවත් බය නෑ.

නෑ ක්‍රීඩකයෝ බූරුවා ගහලා අහුවුණා. කළමනකාරුවාගේ වගකීම් ඉටු නොකළ නිසා එහෙම වුණා කියලා චෝදනාවක් තියෙනවා?

ක්‍රීඩක කාමරයේ කිසිකෙනෙක් බූරුවා ගැහුවෙ නෑ.

එහෙනං සමාජ ජාලා, රූපවාහිනිය විකාශය කළේ?

ඒ ක්‍රීඩකයන්ගේ කාමරයට උඩ තට්ටුවේ සිදුවීමක්. ඒක මම දැක්කෙත් රූපවාහිනියෙන්. අනික ඒ තරගයට සහභාගිවන කණ්ඩායමේ ක්‍රීඩකයන් නෙවෙයි. සංචිතයේ වැඩිපුර හිටි ක්‍රීඩකයන් පස්දෙනෙක්. ඒක දැක්කහම මම ඔවුන්ට අවවාද කළා.

ඒත් කළමනාකරු හැටියට ඔබ ඒක දැකලා නෑ කියන්නේ වෙනම කතාවක් නේද?

උඩ තට්ටුව දිහා බලන්න මට ඇස් ගොඩක් නෑනෙ. අනික තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම එක්ක තමයි මම හිටියේ. අතිරේකව සංචියට ඇතුළත් කළ ක්‍රීඩකයෝ පහක් තමයි ඔය විධිහට බූරුවා ගහලා තිබුණේ. නැතිව ඒක කළමනාකරුගේ ප්‍රශ්නයක් නෙවෙයි.

ක්‍රීඩකයන්ගේ විනය විරෝධී හැසිරීම් තිබුණා කියලාත් කතා වෙනවා?

ක්‍රීඩකයන්ගේ කාමර ඇතුළ බලන්න කළමනාකරුට බෑ. අනෙක ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් අහන්න ඕනෑ දෙයක්. මම මගේ රාජකාරිය කළා. ක්‍රීඩකයෝ එක්ක ඉන්න අය තීරණය කළේ ක්‍රිකට් ආයතනය. එහෙම නැතිව මම නොවෙයි.

ඒ කියන්නේ ක්‍රීඩකයෝ හිතුමතේ වැඩකරනවා?

නෑ. ක්‍රීඩකයෝ මම කියන දේ අහනවා. එතැන කිසිම ගැටලුවක් නෑ.

ඔබේ ඉවත්වීමට මේවා හේතු නොවෙයි ද?

කිසිසේත්ම නෑ. මම ඉවත්වෙනවා කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුවත් කළේ දකුණු අප්‍රිකානු සංචාරයට පෙර සිටයි. ප්‍රධාන විධායක නිලධාරියා ගාව ඒ ලියකියවිලි ඇති. එහෙම නැතිව ඊයෙ පෙරයිද ගත්ත තීරණයක් නොවෙයි.

ඒත් ක්‍රිකට් කළමනාකරුවෙක් කියන්නෙ හොඳ වේතනයක් ලැබෙන රැකියාවක්?

ඔයා හිතන්නේ මම සල්ලිවලට ඉන්න කෙනෙක් කියලද? අනෙක කළමනාකරු වශයෙන් මම පඩියක් ගත්තේ නෑ. ඒ වෙනුවෙන් පොඩි දීමනාවක් ගත්තා. එච්චරයි.

අසන්ත ද මෙල් කියන්නේ මෙල්ල කරන්න බැරි චරිතයක්. ඒක ක්‍රිකට් කළමනාකරුවෙක් වශයෙනුත් කිසි වෙනසක් නෑ?

මම තාමත් කාටවත් මෙල්ල වෙලා නෑ. එහෙම මෙල්ල වුණානම් තවදුරටත් කළමනාකාර තනතුරේ ඉන්නවා. ලෝක කුසලානය ඉවර වෙනතුරු බාරගත්ත වැඩක් දැන් වැඩි කාලයක් පුරා නිරත වුණා. දැන් හොඳටම ඇති.

කළමනාකරුවෙක් කියන්නේ හොඳ තානාපතිවරයෙකුටයි. ඒත් ඔබ තරමක් ආවේගශීලියි කියන චෝදනාවක් තිබෙනවා?

ඒ මගේ හැටි. දැන් මම යන නිසා එතැනට හොඳ කෙනෙක් දාගන්න පුළුවන්නෙ. දැන් බලාගෙන ඉන්නකො මගේ තනතුරට කීදෙනෙක් පත්කරාවිද කියලා.

දක්ෂ ක්‍රීඩකයකුට තමන්ගේ පසුපරම්පරාවේ ක්‍රීඩකයන්ගේ කළමනාකරුවකු වශයෙන් කටයුතු කරද්දී මොනවගේද දැනෙන්නේ?

මම ඒක කළේ තාවකාලිකව, ඉල්ලීමකට, උදව්වක් විධිහට. ඒත් මට කළමනාකරු වශයෙන් කටයුතු කිරීමේ ගැටලුවක් තිබුණෙත් නෑ.

ඒත් ක්‍රීඩක අඩුපාඩු ගැන පුහුණුකරුවන්ගේ තීරණ ගැන ඔබ සංවේදී වෙන්න ඇති නේද?

අනේ නෑ. මම එවැනි කිසිදේකට මැදිහත් වුණේ නෑ. ක්‍රීඩකයන්ගේ කාමරය ඇතුළේ කළමනාකරු වශයෙන් ක්‍රියාකරද්දී මම කළේ අහගෙන ඉඳීම වගේම කළමනාකරුගේ වගකීම් ඉටුකිරීම.

තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් ඔබ සතුටු ද?

මම නම් සතුටු වෙනවා. අනිත් අය සතුටු වෙනවාද නැද්ද කියන එකනම් මම දන්නෙ නෑ.

කළමනාකරුවාට ජාතික කණ්ඩායම එක්ක ලෝකය වටේ යන්න ලැබෙනවා. හැබැයි ඔබ ඒක එපා කියනවා?

මම නම් ලෝකය වටේම ගිහින් තියෙනවා. අනික මට ඕනෑම වෙලාවක රට යන්නත් පුලුවන්. කළමනාකරු වශයෙන්ම රට යන රුදාවක් මට නෑ.

අතීතයේ පිතිකරුවෝ සලිත කළාට අසන්ත ද මෙල් කෝවිඩ් වලට බය නිසා කළමනාකාරිත්වයෙන් ඉවත්වෙනවා කියලත් ඇතමුන් කියනවා?

ක්‍රිකට් කණ්ඩායම ඉන්නේ ජීව බුබුළක. ගෙදර යනවාට වැඩිය මෙතන ඉන්න එක කෝවිඩ් පැත්තෙන් ආරක්ෂිතයි. ඇත්තටම බය නැතිනිසා තමයි ගෙදර යන්නෙ. අමතක කරන්න එපා බෝම්බ ගැන ප්‍රශ්න කරද්දීත් මම පාකිස්තානයටත් ගියා කියන එක.

ඔබ මේ වගේම තේරීම් කමිටුවෙනුත් නික්ම යන්න තීරණය කරාවිද?‍

තේරීම් කමිටුවට මාව පත්කරලා තිබෙන්නේ වසරක කාලයකට. ඒ කාලයේ මම මේ වැඩේ කරනවා.

ඉදිරි නිලවරණයේදී තනතුරකට එන්න අපේක්ෂා කරනවාද?

මට තියෙන තනතුරු ඇති. අලුතෙන් ඒවා ඕනෑ නෑ.

අවසන් වශයෙන් ඒ කණ්ඩායමක් නෑ. අවුරුදු විසිතුනෙන් පහළ කණ්ඩායමක් නෑ. ඔබ කොහොමද තේරීම් කරන්නේ. ඒකට ප්‍රමාණවත් ක්‍රීඩකයෝ රටේ ඉන්නවා ද?

ඒක ක්‍රිකට් ආයතනයෙන් අහන්න. කණ්ඩායමක් තෝරන්න වුණාම අපිට තෝරන්න වෙන්නේ ඉන්න අය අතරින් 11ක්ම තමයි.

කසුන් 

Comments