දිවි මතුමහලට නඟිමු | සිළුමිණ

දිවි මතුමහලට නඟිමු

‘පන්ති සමාජය ගැන කියවන්නට අගනුවර තරම් සුදුසු භූ කලාපයක් නොමැත. එහි රජවරු සිටිති. සිටුවරු ද සිටිති. පැල්පත් එසේත් නැතහොත් දුගී නාගරික නිවාසයන්හි ජීවත්වන අන්ත පීඩිත ජන කොට්ඨාශ ද වෙසෙති.

ඔවුන්ගේ ජීවිත අධ්‍යයනය කරන්නට යාචක වෙස් ගන්නට අවශ්‍ය නැත. ගෙන්දගම් පොළොවේ, පදික වේදිකා ඇවිද යන්නේ නම්, සවන් යොමා අසන්නේ නම් ඇසිය හැක‍: දැකිය හැකිය.

එය එසේ වන්නේ ලොව ඉහළ ධනවතුන් මෙන්ම අන්ත දරිද්‍රතාවයෙන් පීඩා විඳින මිනිසා ද මේ හෙක්ටයාර හාරසිය හැත්තෑවකට වඩා යන්තමින් විශාල භූමි භාගයේ වෙසෙන හෙයිනි.

එය සමස්ත රටේ මතුනොව විෂමතා පිරුණු ලෝකයේ, මානව සමාජයේ පොදු නියැඳියකි. මේ තත්ත්වය සියයට සියයක් වෙනස් කරන්නට හැකිවෙතැයි ද, ‘දුප්පතුන් නැති ලෝකයක්’ බවට පත්කරන්නට කටයුතු කළ හැකැයි ද ඉච්චාබස් පවසන්නට ‘ක්‍රීඩා’ අපට අවශ්‍ය නැත. ඒ වෙනුවෙන් රජයට යෝජනා ඉදිරිපත් කරන්නට ගන්නා වෑයමක් ද නොවේ.

එහෙත් අගනුවර වෙසෙන සෑම පන්තියකටම අයත්වන ජනතාවට පොදු සත්‍යයක් තිබේ. එය ඔවුහු ආදරයෙන් අපේක්ෂා කරති. ඒ නිරෝගී සැපයය: දීඝායු සුවය ය. අගනුවර වාසීන් අතර දුකේ හා සැපේ විෂමතා තිබුණද නිරෝගී සැප හීන භාවය පොදුය.

අගනුවර, නිදහස් චත්‍රරස්‍රයේ, රජය ඉදිකළ ඇවිදීමේ මං තීරු මත, උයන් සිරි විඳිමින් දහදියෙන් පෙඟෙමින් ගැහැණු හා පිරිමි හැල්මේ දුවන්නේ, ඇවිදින්නේ ජීවිතය දිනකින් හෝ වැඩිකරගන්නට ය. තමන්ගේ සිරුරේ වැඩිපුර තැන්පත් වූ අනවශ්‍ය කැලරි ඉවත් කරගන්නට ය. කොලෙස්ටරෝල් තබා ඇඟේ මස් කළඳක්වත් නැති ගෙන්දගම් පොළොවේ වෙසෙන මිනිසුන් හා ගැහැණුන් ද දිවා, රෑ නොතකා රථ වාහන, බඩු පිරුණු කරත්ත, දහස් ගණනක් මිනිස් ඝෝෂා මැදින් දුවන්නේ සිරුරට ශක්ති කැලරි කීපයක් එක්කරගන්නටය.

ඔවුන් දෙපිරිසම දුවන්නේ ජීවිත වෙනුවෙනි. දීඝායු සුව විඳිනු වෙනුවෙනි. මේ කිසිවක් ජීවත වන්නේ දැයි වෙනම ප්‍රශ්නයකි. අප කියන්නට යන්නේ ඒ සෑම මිනිසකුගේම බලාපොරොත්තු යථාවත් කිරීමට හැකි එක් ප්‍රධාන යතුරක් ඇතිබවය. පන්ති සමාජයේ විෂමතා, ජීවිතයන්හි පවතින පුළුල් පරතරය වෙනස් කරන්නට, නිරෝගී භාවය වැඩි වර්ධනය කරන්නට හැකි එකී යතුර ක්‍රීඩාවයි.

අප ක්‍රීඩාව යැයි කියන්නේ සුසන්තිකා ජයසිංහ, සනත් ජයසූරිය තලයේ තැබිය හැකි ක්‍රීඩක, ක්‍රීඩිකාවන් බිහිකිරීම පමණක් නොවේ. පිරිපුන් මනසක්, පැහැදිලි දැක්මක්, සමාජ ජීවිතය තුළ ශික්ෂණය වර්ධනය කරගත් ජාතියක් බිහිකිරීම අරමුණු කරගත් හා නිරෝගී භාවය සාක්ෂාත් කරගත් ජාතියක් ගොඩනැංවීමට හැකි ක්‍රීඩාව සම්බන්ධයෙන්ය.

ඉන් රටක ශ්‍රම බලකාය ශක්තිමත් වෙයි. දරාගැනීමේ ශක්තිය ඉහළ යයි. නිදහස් සෞඛ්‍යයක් ක්‍රියාත්මක රටක ජාතියක් වශයෙන් වාර්ෂිකව සෞඛ්‍ය ප්‍රතිපාදන, විදේශයන් මගින් ගෙන්වන ඖෂධවලට වැය කරන මහා මුදල් කන්දරාව පහළ යයි.

එසේ කිරීමෙන් ජීවිතයේ දරිද්‍රතාවයේ අඩියෙන් නික්ම දිවි පියගැටපෙළ ඔස්සේ මතුමහල් තලයට නගින්නට අවස්ථාව හිමිවෙයි. එහෙයින් ක්‍රීඩා කරන්න, ක්‍රීඩාවේ මූලිකාර්ථ අනුව කටයුතු කරන්න. ශාරීරික යෝග්‍යතාව වෙනුවෙන් වයස් භේදයකින් තොරව ක්‍රීඩා කරන්න. එය ඔබව ජීවිතය තුළ ඔසවා තබනු නිසැක ය.

සංස්කාරක

Comments