ඩීසල්-පෙට්‍රල් දුම් රොටු පුසුඹෙන් කැරම් පිටියේ පිපුණු | සිළුමිණ

ඩීසල්-පෙට්‍රල් දුම් රොටු පුසුඹෙන් කැරම් පිටියේ පිපුණු

ROSHITA joseph

පළමු විදෙස් තරගාවලියට වියදම් සොයාදුන්නේ කණකර උගස් කරලා. රොෂිටා ට ඇයගේ එකම අක්කා දිල්කාත් විශාල සහයෝගයක් ලබාදුන්නා. පිටරට තරගාවලි රාශියකටම වියදම් සොයාගන්න වුණේ අපටමයි.

කොළඹ, සංඝරාජ මාවත පුරා ඇත්තේ රථ වාහන අමතර කොටස් සපයන කඩ ය. එහෙයින් වැඩි වශයෙන් එම ප්‍රදේශයේ වාතයෙහි ඊයම් ප්‍රතිශතය ඉහළ යැයි කිවහැකි ය. ඒ බර වැඩි ඊයම් පිරි වාතය පෙණහැලු යුවළේ පුරවාගත් ඇය සංඝරාජ මාවතේ සියඹලාවත්තෙන් එළියට පැමිණියේ මෙසේය.

‘මම කැරම් ක්‍රීඩාව පටන් ගත්තේ මගේ තාත්තයි, අම්මයි නිසා. ඒ දෙන්නම කැරම් ක්‍රීඩකයෝ. හැබැයි ජාතික හෝ අන්තර්ජාතික තලයේ නෙවෙයි. මම ඉපදුණු සියඹලාවත්තේ අපේ මහ ගෙදර විවේකයක් ලැබෙන හැම වෙලාවකම අම්මයි, තාත්තයි, ගමේ අහළ පහළ හිතවතුනුයි කැරම් ක්‍රීඩා කළා. ඉතින් මමත් නිකංම කැරම්වලට යොමුවුණා.’ ඒ රොෂිටා ජෝශප්ගේ හඬය.

රොෂිටා ජොශප් යනු වර්තමානයේ ශ්‍රී ලංකාව සතු විශිෂ්ට කැරම් ක්‍රීඩිකාවකි. ශ්‍රී ලංකාවට ලෝක ශූරතා දිනාදුන් ක්‍රීඩාවක ජාතික තලය නියෝජනය කිරීම ඇය ගැන අපට විශේෂයෙන් කතාකරන්නට මඟ පාදන හෙයින් ‘ක්‍රීඩා’ ඈ සොයා ගියේ ය.

අප මොහොතකට පාඨක ඔබව අතීතයට රැගෙන යමු. එන්න අප සමඟ දසකයක් එකහමාරක් තරම් මෑතින් ඇති ඈතට පියමනින්න.

ස්ථානය කොළඹ ප්‍රදේශයේ ජනාකීර්ණ නගරයක් වන මරදාන සංඝරාජ මාවත ට දැන් අපි පිවිසෙමු. එය එදා මෙන්ම අදත්, අද පමණක් නොව හෙටත් වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ හා පත්වනු ඇත්තේ මෝටර් රථ අමතර කොටස් අලෙවියට හා රථ වාහන අලුත්වැඩියාව සඳහා ය. එහෙයින් සංඝරාජ මාවතේ සියඹලාගහවත්ත ද මෝටර් රථවලින් නැගෙන දුම්රොටු සුවඳින් නැහැවෙන, බොහෝ සෙයින් ජනාකීර්ණ, එමෙන්ම විවිධ ජනවර්ග නියෝජනය කරන ප්‍රදේශයක් බව නොකිවමනාය.

සියඹලාවත්තේ වැසියෝ ද ජිවිත සටනට මුහුණ දෙන්නේ දුෂ්කරව ය. එහෙත් ඒ වෙහෙස නිවාගන්නට ඔවුන් ජීවිතයේ විවේකයක් ලද සැණින් එක් රොක්වන්නේ ඩග්ලස් ගේ නිවසේ කැරම් ලෑල්ල වටාය.

ඩග්ලස් ජෝශප් සතුව ත්‍රිරෝද රථයක් වෙයි. ඔහු තම ජීවිකාව සරිකරගන්නේ කුලී රියැදුරෙකු වශයෙනි. ඔහු එහි ජීවත් වන්නේ තම සහකාරිය වන ඉවෝලි රණසිංහ සහ දයාබර දූවරුන් දෙදෙනා සමගින් ය. ඩග්ලස් බොහෝ විට විවේකයක් ලැබුණු සැණින් කැරම් ලෑල්ලට එන්නේය. ඒ තම බිරිඳ වන ඉවෝලිත් සමඟමය. එහෙයින් ඩග්ලස්ට මෙන්ම ඉවෝලිට ද කැරම් ලෑල්ල සුපුරුදුය.

ඉවෝලි කැරම් ලෑල්ලට එන මොනයම් මොහොතක වුව එතැන නිසැකවම ඇයගේ දියණියන් දෙදෙනා ද සිටීම සුපුරුදු දර්ශනයකි. ඒ අතරින් බාලදියණිය වන රොෂිටා කැරම් ක්‍රිඩාව ප්‍රගුණ කරන්නීය.

රොෂිටා උපත ලැබුවේ 1991 මැයි මාසයේ 29 වැනිදා ය. ඈ පාසල් ගියේ කොළඹ සියලු සාන්තුවරුන්ගේ බාලිකා විද්‍යාලයට ය. එහිදී ඈ දැල්පන්දු ක්‍රීඩාවට එක්වූවා ය. එහෙත් 2003 වසර එළඹීමත් සමඟ ඇගේ ජීවිතය වෙනස් කෙරිණි. ඒ ඈ හත්වැනි ශ්‍රේණියේ පන්තියට සමත්ව සිටියදී ආදරණීය පියාණන් වූ ඩග්ලස් ජොශප් ගේ හදිසි වියෝව සමඟිනි. ඒ හේතුවෙන් ඈ දැල්පන්දු අතහැර දැමුවා ය.

නිවසේ ආදායම් ලැබීමේ මාර්ග අතරමඟ නතරවී තිබේ. ජෝශප් පවුලේ කිසිකෙනෙක් දැන් මුදල් උපයන්නේ නැත. ක්‍රීඩාව වෙනුවෙන් මුදල් හදල් වැය කිරීම දැන් අසීරුය. එහෙයින් රොෂිටා දැල්පන්දුව අතහැරියාය. රොෂිටාගේ අම්මා කළේ තමන්ගේ පවුල සතුවූ ත්‍රීරෝද රිය කුලියට දී ලැබෙන සුළු දෛනික ආදායමෙන් ජිවිතය ගැටගසා ගැනීම ඇරඹීමය.

දැල්පන්දු ක්‍රීඩාව පමණක් තිබූ රොෂිටාගේ පාසලට කැරම් ක්‍රීඩාව රැගෙන ආවේ එවකට විදුහල්පතිනියව සිටි ප්‍රීති කන්‍යා සොයුරිය විසිනි.

“පාසලේ කැරම් පටන් ගන්න හදන්නේ, කැමැති අය එන්න කියලා ක්‍රීඩාභාර ප්‍රියංගා නිශානි මිස් දවසක් අපේ පංතියට ඇවිත් කිව්වා. ඒ 2005 වසරේ අග භාගයේදී විතර. මමත් නම දුන්නා, එදාම හවස මම පුහුණුවීම් වලට ගියා. එහිදී මාව තෝරාගත්තා”

එය ඇයගේ කැරම් ක්‍රීඩාවේ දිගු ගමනක් ආරම්භ කරන හැරවුම් ලක්ෂය විය. ඒ අනුව 2008 වසරේදී ඉන්දියාවේ පැවැති ස්කින් ෆීල්ඩ් ජාත්‍යන්තර තුන්කොන් කැරම් ශූරතාවලියේ වයස අවුරුදු 17න් පහළ බාලිකා කේවල අංශයේ ශූරිය බවට රොෂිටා පත් විය.

“පළමු විදෙස් තරගාවලියට වියදම් සොයාදුන්නේ කණකර උගස් කරලා. රොෂිටා ට ඇයගේ එකම අක්කා දිල්කාත් විශාල සහයෝගයක් ලබාදුන්නා. පිටරට තරගාවලි රාශියකටම වියදම් සොයාගන්න වුණේ අපටමයි.” ඇගේ මව කියන්නීය.

ජයග්‍රහණ රැසකට හිමිකම් කියන රොෂිටා ස්වකීය කැරම් දිවියේ සය වතාවක් ජාතික ශූරිය ලෙස කිරුළු පළඳා ඇත.

වර්තමානයේ ඇය ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරන්නීය. ‘මට වත්මන් නාවික හමුදාපති ඇතුළු සමස්ත නාවික හමුදාව වගේම හිටපු නාවික හමුදාපතිවරුන් මේ ගමන එන්න ශක්තියක් වුණා. ඒවගේම පළමු පුහුණුකරු ලසන්ත රණතුංග මෙන්ම ජාතික පුහුණුකරු වූ ලැන්ග්ලි මතායස් ඇතුළු මට උපකාර කළ සැවොම සිහිපත් කළ යුතුමයි.’ ඈ පවසන්නීය.

ඉෂානි යද්දෙහි

Comments