කොළඹදී කොන් වුණ මාතලේදී වල් වැදෙන හොකී ගැන මෙතෙක් නොකී කතාව-1 | සිළුමිණ

කොළඹදී කොන් වුණ මාතලේදී වල් වැදෙන හොකී ගැන මෙතෙක් නොකී කතාව-1

 

මේ වනවිට සිදු වන්නේ තෝරාගත් ජාත්‍යන්තර තරග මාලාවන් කිහිපයකට පමණක් සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම් යොමුකිරීම පමණි.

‘හොකී ගැන බොහෝ දේ කියන්නට තිබේ. ඒ අතර මෙරට හොකී ඇදවැටීමට ඉවහල්වූ කාරණා සමූහයක් සොයාගැනීමට ද හැකියාවක් ඇත. හොකී අගනුවරින් කොන්වූයේ ඇයි? ශ්‍රී ලංකාවේ හොකී තොටිල්ල ලෙස සැලකෙන මාතලේදී දැන් දැන් එකී ක්‍රීඩාව වල් වැදෙමින් ඇත්තේ කුමන අහේතුවකින් ද? හොකී ක්‍රීඩාව අන්තර්ජාතික තලයෙන් ඉදිරියට යා නොහැක්කේ කවර අභාග්‍යයකින් ද? මේ ඒ සම්බන්ධයෙන් සිදුකරන අපක්ෂපාතී, විද්‍යාත්මක හා විෂය මූලික ‘ක්‍රීඩා’ අනාවරණයේ පළමු කොටස ය.’

හොකී යනු පිරිමි සහ කාන්තා යන දෙපක්ෂයටම ක්‍රීඩා කළ හැකි සිත්ගන්නා සුළු ක්‍රීඩාවකි. අද වන විට එකී ක්‍රීඩාවේ නිරත රටවල් සංඛ්‍යාව 140 ට වැඩි ය. ඒ අතර ශ්‍රී ලංකාව රැඳී ඇත්තේ පළමු රටවල් 42 ඇතුළත ය.

එහෙත් අභිනවයෙන් හඳුන්වා දී ඇති ශ්‍රේණි ගත කිරීම අනුව එම ස්ථානයෙන් ඉහළට ගමන් කළ හැක්කේ ජාත්‍යන්තර මට්ටමේ තරග සඳහා වැඩි වශයෙන් සහභාගි වුවහොත් පමණි. එහි වගකීම ඇත්තේ මෙරට හොකී ක්‍රීඩාව පාලනය කරන්නා වූ ශ්‍රී ලංකා හොකී සම්මේලනයට වුවත් සම්මේලන නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු සැලසුමක් නොමැතිවීම මෙම ක්‍රීඩාවේ අවනතියට ප්‍රබල හේතුවක් වී තිබේ. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම පසෙක තබා තම පරිපාලන බලය තහවුරු කර ගැනීම සඳහා සටන් වදින පරිසරයක් තුළ ඔවුන් කටයුතු කිරීම ය.

ක්‍රිකට් ක්‍රීඩාවට නොදෙවැනි හොකී

අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇත්තේ මෙය කීර්තිමත් ක්‍රීඩාවක් බව ඔවුන්ට නොවැටහීම නිසා ය. අප එසේ කියන්නේ හොකී යනු ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම ජාත්‍යන්තරය ජය ගත හැකි ක්‍රීඩාවක් ලෙසින් දැක්විය හැකි නිසා ය. අප එසේ කියන්නේ ලොව හොල්ලන්න ට සමත් හොකී ක්‍රීඩාවේ දක්ෂයින් අප රට තුළ ඇති තරම් බිහිවන පසුබිමකය. ඔවුන් සැලසුම් සහගත ක්‍රමවත් පුහුණුවකට යොදවන්නේ නම් අන්තර්ජාතික ජයග්‍රහණ ලබා ගැනීම අපහසු නොවේ. ඒ බව පසුගිය වසර කිහිපය තුළ සටහන් කර ගත් පදක්කම් වලින් මනාව පිළිබිඹු වෙයි. උදාහරණ ලෙස 2014 සහ 2018 යන අවස්ථා දෙකේදීම ආසියාතික ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට හැකිවීම, 2016 වසරේ හොංකොං හිදී පවත්වන ලද ආසියානු සම්මේලන කුසලාන පිරිමි තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගනිමින් රිදී පදක්කම දිනා ගැනීම, එම වසරේ දී සිංගප්පුරුවේ පැවැති ලෝක ලීග් ශුරතා හොකී තරගාවලියේ පිරිමි අනුශූරතාව දිනා ගැනීම, 2016 ඉන්දියාවේ දී පවත්වන ලද දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා රිදී පදක්කම දිනා ගැනීම, 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි අංශයෙහි 08 වැනි ස්ථානයට පත්වීම අප දැක්විය හැකිය. එවැනි සුබ ගමනක නිරත වූ හොකී කණ්ඩායමට අන්තර් ජාතික තරග නොලැබීමෙන් දේශීය හොකී ක්‍රීඩාව එක තැන පල් වෙමින් පවතින ක්‍රීඩාවක් බවට වර්තමානයේ පත් වෙමින් ඇති බවක් පැහැදිලිය.

මේ වනවිට සිදුවන්නේ තෝරාගත් ජාත්‍යන්තර තරග මාලාවන් කිහිපයකට පමණක් සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම් යොමුකිරීම පමණි. එසේ නොමැතිව සම්මේලනය වෙනත් විදේශීය කණ්ඩායමක් සමග ටෙස්ට් තරගාවලියක් හෝ සුහද තරගාවලියක් සංවිධානය කිරීමට සැලසුමක් පවා නොමැති බව කනගාටුවෙන් වුවද කිවයුතුය.

එහෙත් ජාත්‍යන්තර හොකී ක්‍රීඩාව ක්ෂේත්‍රයේ ඉතා වේගවත්ව හා සංවිධානාත්මකව ඉදිරි ගමනක් යෙදෙනු බව පෙනෙන්නට තිබේ. කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පැවැතියද ඇතැම් රටවල් ඔවුන්ගේ සැලසුම් හකුළා ගන්නට ක්‍රියාකර නැත. එහි ප්‍රතිඵලයක් ලෙස සිංගප්පූරුව, හොංකොං වැනි රටවල් ක්‍රමවත් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ආසියාවේ දෙවැනි පෙළ ආක්‍රමණය කිරීමට දැනටමත් පිඹුරුපත් සකස් කර තිබේ. බෙල්ජියම (පිරිමි) සහ නෙදර්ලන්තය (කාන්තා) හොකී ලොව හිනිපෙත්තේ පසුවන්නේද මේ ආකාරයේ සැලසුම් සහගත භාවය නිසා ය. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීමේ හා නිලධාරීන්ගේ දුර දක්නා නුවණ එකී ප්‍රතිඵලය උදාකරගැනීමට ඉවහල්වී ඇති බව කිව යුතු නොවේ.

ලොව වේගවත්ම ක්‍රීඩා අතරේ හොකී ක්‍රීඩාවට ඇත්තේ ඉහළ ස්ථානයකි. "අයිස් හොකී", "ගෘහස්ථ හොකී" සහ "ක්ෂේත්‍ර හොකී" යන තෙවැදෑරුම් හොකී ක්‍රීඩාව අතරේ අප නියැලෙන්නේ "ක්ෂේත්‍ර හොකී" ක්‍රීඩාවේ ය. එහෙත් පරිපාලන බල පොර හේතුවෙන් එම ක්‍රීඩාව ද නිසි පරිදි කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව කිවයුතු ය. නිලවරණ මනාපය අපේක්ෂාවෙන් ක්‍රීඩාව සමඟ අමනාපවන බලධාරීහු පිරිසක් හොකී ක්‍රීඩාවේ සිටිති. හොකී එකතැන පල්වන්නේ එහෙයින් බව නිසැක ය.

මේ වෙනස් කර ගත හැකි වේද?

එය වෙනස් කිරීමේ පළමු පියවර වන්නේ මෙරට ක්‍රීඩකයන්ගේ දක්ෂතා සංවර්ධනය කර ගැනීමට හැකිවන අයුරින් ප්‍රමාණවත් ක්‍රීඩාංගණ පහසුකම් ඇති කිරීම ය.

ඒ අන්තර්ජාතික පදක්කම් දිනා ගැනීම සඳහා යන ගමනේදී යටිතල පහසුකම් වල අවශ්‍යතාව ප්‍රබල සාධකයක් වන හෙයිනි. වර්තමානය වනවිට රජය මුලපුරා ඇති ක්‍රීඩා යටිතල පහසුකම් සැපිරීමේ සැලසුම් හොකී ක්‍රීඩාවට ද පොදු වනු ඇතැයි හොකී ක්ෂේත්‍රයේ රැඳී සිටින සැම දෙනා ද අපේක්ෂා කරනුයේ එවැනි පසුබිමක සිට ය.

 

Comments