ඉන්දියාවට රෙහෙනේගේ සේලයින් | Page 2 | සිළුමිණ

ඉන්දියාවට රෙහෙනේගේ සේලයින්

 

තමන් නියම වෘත්තිමය ක්‍රිකට් කණ්ඩායමක් බව මැනවින් ප්‍රදර්ශය කළ සංචාරක ඉන්දීය කණ්ඩායම වැඩ බලන නායක අජින්ක්‍යා රෙහ්නේ සමඟින් ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ගැබා පිටියෙන් ඉවතට පිය නැගුවේ සිව්වන ටෙස්ට් තරගයෙන් ජය ලබා තරග හතරකින් සමන්විත තරගමාලාව 2-1 ලෙස අභිමානවත් ජය හිමිකරගනිමිනි.

එහි සුවිශේෂත්වය වූයේ පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 36 කට දැවී යමින් අන්ත පරාජයකට පත්ව ප්‍රබල ක්‍රීඩකයින් අහිමිව තරගාවලියේ දෙවැනි තරගයේදී ඉදිරියට පැමිණීමය. ශිකර් ධවාන්,රෝහිත් ෂර්මා වැනි ප්‍රබල ක්‍රීඩකයින් ඇතුළත් නොවූ සේම නිත්‍ය නායක විරාත් කෝලිගේ සේවයද අහිමිව තිබියදී නැගී සිටීම සුවිශේෂීය.

මෙල්බර්න් හි බොක්සිං දින ඇරඹි දෙවැනි ටෙස්ට් තරගයෙන් ඔවුන් ජයගත්තේ පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 36 කට දැවී යමින් ලත් අවමානයේ කැළල මකා දමමිනි.

මෙම තරගයේදී නායක කෝලිගේ පුරප්පාඩුව මැනවින් සම්පුර්ණ කළ අජින්ක්‍යා රෙහ්නේ මෙය තමාගේ තරගයක් බවට පත් කරමින් අගනා ශතකයක් රැස් කළේය. මුල් තරගයේ ජයග්‍රහණයෙන් ඔද වැඩ මානසික අතින් ඉදිරියෙන් සිටි ඔස්ට්‍රේලියාව මෙම තරගයේදී ලබා ගත්තේ ලකුණු 195 ක් හා 200 ක් පමණි.

සිඩ්නිහි පැවති තෙවන තරගයේදී ලකුණු 407 ක අභියෝගාත්මක ඉලක්කයක් කරා යමින් සිටියදී පස් වැනි කඩුල්ල දැවී යාමත් සමගම පරාජයේ සෙවනැලි තමන් මත වැටෙනු දුටු ඉන්දීය කණ්ඩායම සැලසුම් වෙනස් කරමින් අවසන් දිනයේ දී ඉමහත් පරිශ්‍රමයකින් අනතුරුව ක්‍රීඩා කරමින් තරගය ජය පරාජයෙන් තොරව නිමාකර ගත්හ. එය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ගැන ක්‍රිකට් ලෝකයාට අගනා පාඩමක් කියාදුන් තරගයකි. මේ අනුව ඉන්දීය දෙවැනි ඉනිමේ ලකුණු පුවරුව කියවුනේ 334/05 ලෙසය.

සිව්වැනි තරගයෙන් ඉන්දියාව ජයගැනීමත් සමගින් ලෝක ටෙස්ට් ශුරතා තරග මාලාවේ ඔස්ට්‍රේලියාව මුල් වරටලත් තරගමාලා පරාජය සනිටුහන් විණි.සිව්වැනි තරගයේදී නොදැවී ලකුණු 89 ක් ලබමින් ලකුණු 328 ක ජයග්‍රාහි ඉලක්කය හඹායාමට දායකවූ ඉන්දීය පිලේ රිශාබ් පාන්ට් තරගයේ වීරයා ලෙස තෝරා ගැනිණි. තරගමාලාවේ වීරයා ලෙස කඩුලු 21 දවාලු ඕස්ට්‍රේලියාවේ පැට් කමින්ස් ගෞරව අත් කරගත් අතර වැඩිම ලකුණු ලාභියා වුවේ තරගමාලාව තුල ලකුණු 426 ක් ලබාගත් ඕස්ට්‍රේලියාවේ මානස් ලැබුස්චානේය. දෙරට අතර ටෙස්ට් තරග ඉතිහාසයේ ඉන්දියාව,ඕස්ට්‍රේලියාවේ ලත් දෙවන තරග මාලා ජයග්‍රහණය ලෙස මෙය නම් කළ හැක.මෙම තරග මාලා ජයග්‍රහණය සඳහා නායක රෙහෙනේහට රවිඳු ජඩේජා ,සුබ්මාන් ගිල් ,බුම්රා,ජඩේජා ,සිරාජ්,අශ්වින්,පාන්ට්,තාකර්,නටරාජන්,වොෂින්ටන් සුන්දර් වැනි ක්‍රීඩකයින් ලබා දුන් දායකත්වය අති මහත්ය.

අනිල් වීරසිංහ

Comments