හර්ස් එකෙන් යද්දි පර්ස් එක ඕනෙ නෑ | සිළුමිණ

හර්ස් එකෙන් යද්දි පර්ස් එක ඕනෙ නෑ

ත්‍රීවිලර් එකක ස්ටිකර් අලවන තරුණයෙක් මාළිගාවත්තේ දී
ත්‍රීවිලර් එකක ස්ටිකර් අලවන තරුණයෙක් මාළිගාවත්තේ දී

ශ්‍රී ලංකාවේ ත්‍රීරෝද රථ ලක්ෂ 13 පමණ ලියාපදිංචි වී ඇති නමුත් අඛණ්ඩ ධාවනය පවතින්නේ ත්‍රීරෝද රථ ලක්ෂ 10 පමණය. ඒ අතරිනුත් වෘත්තීය කුලී රියදුරෝ ලෙස ලක්ෂ 7 ක් පමණ ධාවනයේ යෙදෙති. ඉතිරි පිරිස වෙනත් රැකියා කරන අතරේ ත්‍රීවිල් හයර් කරති. ත්‍රීවිල් හා යතුරු පැදි යනු දුප්පතාගේ හිතවතුන්ය. ශ්‍රී ලංකාවේ වැඩිම ත්‍රීවිල් ලියාපදිංචියක් ඇත්තේ කුරුණෑගල, ගම්පහ දිස්ත්‍රික්කවල වන අතර, පළාත් වශයෙන් ගත් කල 50% ලියාපදිංචියක් ඇත්තේ බස්නාහිරය. බස්නාහිර පළාතේ ත්‍රීවිල් ලක්ෂ 3 ½ ධාවනය වන අතර මොනරාගල දිස්ත්‍රික්කයේ දිවෙන්නේ ඉතා අල්පයකි. උතුරු නැගෙනහිර පළාත්වල ත්‍රීවිල් නැති තරම්ය. දැන් දැන් පිරිමින් හා උරෙනුර ගැටෙමින් හයර් එකට වගේම ගෙදර දොර කටයුතු වෙනුවෙන් කාන්තාවෝද ත්‍රීවිල් ධාවනයේ යෙදෙති.

 

පාරේ යන එනවිට හමුවන ත්‍රීවිල් රථවල අලවා තිබෙන වැකි ගැන බලන කල කොතරම් සාහිත්‍යකරුවන්, කවිකාරයන් ලේඛකයන් සංවේදී මිනිසුන් මොවුන් අතර සිටිනවා දැයි පසක් වේ. ඔවුන්ගේ සිත්හි නළියන පොපියන සතුට, හද පාරවන සංතාප, ප්‍රේමණීය හැඟුම් කළගුණ සැලකීම් මෙ නොකී සියල්ලක්ම ලියැවෙන කැටපත් පවුර වන්නේ ත්‍රීරෝද රථයයි.

 

ඇතැම් ත්‍රීවිල්වල දිගු අරුත්බර වැකි ලියැවී තිබුණේ මෙහෙමයි.

 

“වැරහැලි ඇඳගත් කල සුළු වැරදි පවා පෙනේ.

සළුපිළි ආභරණවලින් සැරසුණු කල සියල්ල වැසේ.”

 

“සතුටින් සිටීමට මදර්

විනෝදෙන් සිටීමට ෆිගර්

දුකෙන් සිටීමට සුගර්”

 

මේ අතර මඳහස ජනිත කරන වැකි කීපයක් ද විය.

 

“ඔබ ළං කළා නොවේ මං Slow වුණා.”

 

“ඉඟිළෙන්න තහනම් නම් දුරක්

ඇයි දුන්නෙ මට ලයිෂන් එකක්”

 

“පුංචි පවුල රත්තරන් - කාපු ලණුව ඉස්තරම්”

 

“කොල්ලෙක් හරියට චයිනීස් ෆෝන් එකක් වගේ. ගැරන්ටිත් නෑ. වොරන්ටිත් නෑ. ඒ මදිවට D0wel Zim.”

 

“කෙළගෙන ආවෙ ඇනගෙන යන්නද?”

 

“අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන්.”

 

“බුදු මල්ලියේ ඈතින් වරෙන්

ලීසිං ඉවර වුණාම රේස් යමන්”

 

“යන එන හැම තප්පරේම මීටරෙන් ජීවිතේ”

 

“හර්ස් එකෙන් යද්දි පර්ස් එක ඕනෙ නෑ”

 

“ළිඳ මගේ නම්, මා ළිඳේ නම් කාටවත් ඇයි වේදනා”

 

“තරු පොඩි නෑ ඒ ඔබට පෙනෙන හැටි

අපි ලොකු නෑ ඒ ඔබ හිතන හැටි”

 

“අපි අහිංසක සත්තු - කූද්දලා කරන්නෙපා තිරිසන් සත්තු”

 

“වංක ඇය ඔහු සමඟ Car එකේ, අවංක මම මාමා සමඟ Bar එකේ”

 

“සැබෑ ආදරය ත්‍රීවිලරයෙදී වුවද හමුවිය හැකිය”

 

“සමවැදී ඉන්නා දැහැන් බිඳින්නෙපා

ඒ කියන්නෙ මගෙ ආතල් කඩන්නෙපා”

 

එසේම අන් අයට ආදර්ශ සපයන උපදේශාත්මක වැකි පේළි ද ඇතැම් ත්‍රීරෝද රථවල සටහන් කර තිබුණේ මෙසේය.

 

“කොච්චර වැඩ්ඩො හිටියත් වැඩක් නෑ, ලොක්කා වැඩ්ඩෙක් නෙමේ නම්”

 

“දුකට හුරුවෙච්ච අපට සතුට ආවත් එකයි නැතත් එකයි” දුකට එපා මා නිසා, ජීවිතේ සුබ වෙනු සදා” “කෑමක් මිසක් පොරකෑමක් මෙහි නැතුවා”

 

“අපේ නයි අපිම කයි”

 

විරහව ඇත ආදරය නැත

දුක ඇත සතුට නැත

යාළුවෝ ඇත වැඩක් නැත

සිහින ඇත ෂුවර් නැත‍

ජීවිතය ඇත තේරුමක් නැත”

 

“ලොකුයි කියා බෑ නීති කඩන්න

තුන් දෙනාට වැඩියෙන් බෑ අරගෙන යන්න”

 

“මැණිකක් වටිනවලු දුර්ලභකම හින්දා

අපි කළුගල් ද නිතරම හමුවන හින්දා”

 

“වේයන් බඳිති තුඹසක් හරි වෙලාවට

කවුරුත් නොමැත මා තනිවුණ වෙලාවට”

 

“වැනසීමට මූලය මුල අමතක වීම”

 

‘කාටත් පොදු මාවතේ, නොයන් ගමන් හිතුමතේ”

 

පිදිය යුත්තන් පුදන්න - හැලිය යුත්තන් හලන්න”

 

“අපි දුප්පත් - අපිට නෑ සපත්තු

අපි දාන්නෙ සෙරෙප්පු - ඒත් අපි මිනිස්සු”

 

“නුවණැත්ත නිහඬව ඉන්න තාක් කල් මෝඩයා පණ්ඩිතයෙකි.”

 

“සම තැනිතලාවල හමුවෙයි අලසකම

නීරසයි අතරමග අවහිර නුදුටු බිම”

 

“මට ගල්වලින් ගහන අයට මල් තියලා වඳින පුරුද්දක් නෑ”

 

“යන පාර හරි නම් යන්නෙ මම නම්

කාගෙවත් සිතියම් මොකටද?”

 

ඇතැම් ආවේගාත්මක කවි පද ද ත්‍රීරෝදවල නැතුවා නොවේ

“හෙණ වැදියන් ආගම කන පරයන්ට

බත ලේ වෙයන් රට විකුණා නිවටුන්ට

ගිනි බත් වෙයන් වන එළි කළ හිවලුන්ට

ශක්තිය දියන් රට සුරකින හෙළයන්ට

 

ඒ අතරට ජීවිතා‍වබෝධය පුළුල් කරන මෙවන් වැකි ද වේ‍.

 

“අයිසෙක් නිවුටන් අපිත් දකින්නැති

ගණන් හදන්නැති ඒ කාලේ...

කැම්පස් යන්නට ලකුණක් මදි ඇති

ඒකයි තවමත් මහ පාරේ...”

 

ත්‍රීරෝද රථවල කොටා ඇති වදන් වැකි සම්බන්ධයෙන් කිහිප දෙනෙකුගෙන් අදහස් විමසීමි.

ජාතික ටැක්සි ඇප් ත්‍රීරෝද රථ වෘත්තිකයන්ගේ එකමුතුවේ සභාපති ජෙස්මින් ලංකා මෙසේ කීය.

“අම්මා සඳවූ මගෙ ලෝකේ මුළු අහසම නුඹයි තාත්තේ” වැකියට මම ආස නිසයි ඇතුළත් කළේ. තමන්ගේ සිතේ ජනිත වන සිතුවිල්ලක් තමයි එසේ සනිටුහන් කරන්නේ.”

ත්‍රීරෝද රථ සංගම් කැඳවුම්කරු වැල්ලවත්තේ රෝහණ පෙරේරා මෙසේ කීය.

මගේ ත්‍රීවිල් එකේ ඇලවූ “මේ රට පොඩි උන්ටයි, උන් ඒක හැඩි කළත් කිලිටි කරන්නෙ නෑ. ඒකට මහ උන්” කියන වාක්‍යයට සෙලින්කෝ ත්‍රීවිල් ඉන්ෂුවරන්ස් ගෙට්ටුගෙදර එකෙන් පළමු තැනට හිමි සම්මානය ලැබුණා. ඊට අමතරව දෙරණ ලෝකෙ වටේ වැ‍ඩසටහනට වීඩියෝ කරලා පෙන්නලා තියනවා. රු. 500 විතර වැය වුණේ‘

සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර (58) ‘සිළුමිණ’ට මෙසේ කීය.

“වාහන 100 ගත්තොත් 25 ම මොනාහරි ගහලා තියනවා. මගේ ත්‍රීවිල් එකේ ඒ කාලේ ගහලා තිබුණා. “be a Buddhist by practice” මට ඒ ස්ටිකර් එක ලැබුණේ නවම් මාවතේ දුවද්දි ජර්මන් ජාතිකයෙකුගෙන්. ඒ වගේම මම ගහලා තිබුණා “eighter leader follow or get out the way” කියලා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් මෙසේ වැකි අලවා තිබීමෙන් සමාජයට පණිවිඩයක් ලබාදෙනවා. සමහර ගුවන් විදුලි හා රූපවාහිනී නාළිකාත් තම ප්‍රචාරණ දැන්වීම් ත්‍රීවිල්වල ගසමින් නොමිලේ ප්‍රචාරයක් ලබාගන්නවා.”

“කිරට කඳුළට දෙකම සමවුණු ඔබයි, මේ ලොව උතුම් අම්මා” වැකිය අඩංගු SG QW 8425 ත්‍රීවිල් රථය අපට හමුවුණේ කොම්පඤ්ඤවීදියෙදියි. ත්‍රීවිලරය පෑලියගොඩ සිට රැගෙන පැමිණි නිශාන්ත කුමාර (27) පැවසුවේ මෙවැන්නක්.

“මම දෙමළ. මගේ අක්කා විවාහ වුණේ සිංහල බෞද්ධ කෙනෙක් සමඟ. මේ වදන් සේරම මස්සිනාගේ අදහස් තමයි. එයා බෞද්ධාගමට ලැදියි. අම්මටත් ආදරෙයි. ඒ නිසා තමයි මේ වගේ අරුත් තියන ස්ටිකර් ගැහුවෙ.”‍

රණවිරු සේවා අධිකාරියේ ලිපිකරුවකු ලෙස සේවය කරන වී.ඒ.ඒ. සිල්වා (35) අපට හමුවුණේ කලාභවන සමීපයෙදියි. WP ABM 6440 දරන ඔහුගේ ත්‍රීරෝද රථයේ සඳහන් වුණේ ‘කසළ නැති කුසල සිතට සපල මිස අපල නැත” යනුවෙනි”

ඊළඟට අපිට හමුවුණේ ටී අක්මන් ජෑන්ස්ය. (21) ඔහු ද්‍රවිඩ ජාතික ක්‍රිස්තියානි ජාතිකයෙකි. ඔහුගේ 204-8394 දරන ත්‍රීරෝද රථයේ සඳහන් වුණේ ‘කමු බොමු ආශ්‍රය කරමු. වාහනයේ යතුර නම් ඉල්ලන්න එපා” යන්නයි.

“Everyday is a lion at house’ යන වදනක් එහි සඳහන් වුණා.

මීගමුවේ සිට පැමිණි සසිඳු කවිෂ්ක (19) අපට හමුවුණේ ද සොයිසා කාන්තා රෝහල අසලදියි. ‘Life is nice rainbow’, ‘Don’t play with my heart’ එම ත්‍රීවිලයේ සඳහන් වූ අතර සිංහල භාෂාවෙන් අරුත්බර වැකි කීපයක් විය. “උත්සාහයයි කැපවීමයි ජීවිතය ජයගනී.” “අවංක වුණාම වරදිනවා වැඩියි. හොඳ වුණාම රැවටෙනවා වැඩියි. සමහර අය හිතන්නේ එහෙම වුණාම අපි මෝඩයි කියලා” “වර්තමානය, සරුවන්නේ අතීතය මතක නම් පමණි’, ‘Read indian’ ආදිය ද සඳහන් වූ එම ත්‍රීවිලරයේ අංකය WP QT 9960 යන්නයි.

මරදාන ආසිරි සෙන්ට්‍රල් රෝහල ළඟදි අපිට විසිතුරු ලෙස සරසන ලද ත්‍රීවිලරයක් හමුවිය. එහි අංකය WP QA 0915 ලෙස සඳහන් විය. මිනුවන්ගොඩ ඉන්දික රත්නායක (44) එහි හිමිකරුය. එහි වැකි කීපයක් විය.

“ගල්පර දැක පෙරමුණේ, මොන නදියද නැවතුණේ”

“දෙවියන් දෙනකොට භූතයෝ ඔරවනවා”

“අපි නැගිටිනවට කැමති හිටගෙන යන උන් පමණයි”, “හිරු නැතිදා සෙවණැල්ලත් අහක බලයි.”

“පෙර දින වැරදුණත් හිත හොඳ වැඩි හින්දා

දෙවරක් හිතනවා අද මම ඒ හින්දා”

මේ අදහස් ගැන ඇසුවෙමි.

‘ත්‍රීවිල් එක ලස්සන කරන්න තමයි මේ වගේ දේවල් ගැහුවේ රු. 2000 විතර වැය වුණා. ”

මාකොළ පදිංචි D.F.D. රුවන් චමින්දගේ WP QA 0915 දරන ත්‍රීවිලරය අපට හමුවුණේ මා‍ලිගාවත්තේදි. ඔහුගේ රථයේ සඳහන් වුණේ දෙමාපියන් ගැන ගුණ ගැයුම්ය.

වාහන ස්ටිකර් හදන මාලිගාවත්තේ අමාන් සුපර් ඔටෝ ස්ටිකර් ආයතනයේ සේවකයෝ ත්‍රීවිල් හිමිකරුවන්ගේ ඉල්ලීම් මත ස්ටිකර් නිර්මාණය කර දෙන බවත් දිනකට ස්ටිකර් 10 පමණ විකිණෙන බවත් පැවසූහ.

මාලිගාකන්ද පාර ඒ.ඒ.ඩී. විමලසිරි (70)ගේ ත්‍රීරෝද රියේ No Work No Problem More work More Problem යනුවෙන් විය. (QL 1489) මුනුපුරන්ගේ (තෙවිඳු, සසිඳු) පින්තූර හා නම් ද ත්‍රීවිලරයේ සවිකර තිබුණි.

අගනුවර ත්‍රීවිල් රථ රැකියාවේ යෙදෙන හෝමාගම ඒ.ඒ. ජීවන්තිගේ ත්‍රිරෝද රථයේ සඳහන් කර තිබුණේ

“මා ආ මග කටු රැසයි පැමිණෙන දුක් පැණි රසයි” ලෙසය.

ත්‍රීරෝද රථවල නිර්මාණශීලී වැකි සටහන් කිරීම බොහෝ පිරිසකගේ විනෝදාංශයක් මෙන් ම ජීවන රටාවක් බවට ද පත්ව තිබේ.

සේයාරූ - රොෂාන් පිටිපන

 

Comments