සමාජ මාධ්‍ය කැලඹූ නැන්දම්මා සහ ලේලිය | සිළුමිණ

සමාජ මාධ්‍ය කැලඹූ නැන්දම්මා සහ ලේලිය

ගිය වසරේ ජනවාරි මාසයේ තෙවැනිදා සමාජ මාධ්‍ය කලඹමින් වීඩියෝ දසුන් පෙළක් අන්තර්ජාලයෙහි සැරිසරන්නට විය. ‍නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ කොටවෙහෙර පොලිස් වසමේ දිගත්තෑව ගම්මානයේ නිවෙසකින් වාර්තා වූ එම දසුන් පෙළ නෙත ගැටුණු සැවොම 'අනේ අපොයි' කියමින් සංවේදී වන්නට වූහ. ඒ හැඩිදැඩි කාන්තාවන් දෙදෙනෙකු විසින් 13 හැවිරිදි දැරියකට අත්පා ගැටගසා බිම දාගෙන අමානුෂික ලෙස පහර දෙන ආකාරයයි.

එකී කුරිරු පහර දීමේ සමාජ මාධ්‍ය වීඩියෝ දසුන් පෙළත් සමඟ පොලිසිය සිදුකළ විමර්ශනවලින් පසු පහර දුන් කාන්තාවන් දෙදෙනා පොලිසියට කොටු වූවාය.

එම සිදුවීම වී හරියටම වසරකි. ගෙවී ගිය සතියේ නැවතත් අන්තර්ජාල සමාජ මාධ්‍යයන්හි අමානුෂික පහර දීමක වීඩියෝ දසුන් පෙළක් සැරිසරනු පෙනිණි.

ඒ කාන්තාවක විසින් මුළුතැන්ගෙය තුළදී පිහියක්ද අතැතිව වැඩිහිටි කාන්තාවකට පහර දී තල්ලු කරන ආකාරය එම වීඩියෝ දසුන් පෙළින් මනාව දිස්විණි. එම පහර දීම සමාජ මාධ්‍යයෙහි සැරිසැරීමත් සමඟ ඒ පිළිබඳවද බොහෝ කතාබහක් ඇතිවෙමින් තිබිණි. ඒ අතරේ පොලිසියද ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කෙරිණි.

කෙසේ හෝ පසුගිය 09 වැනිදා සවස් යාමයේ වයස අවුරුදු 75ක් පමණ වියැති වයෝවෘද්ධ කාන්තාවක ගම්පොළ පොලිසියට පැමිණියාය.

"සර්... මගේ ලේලි... මට හොඳටම ගැහුවා... ගහලා මාව තල්ලු කළා... මගේ ඔළුවත් තුවාල වුණා..."

යසවතී නමැති ඇඟේ පැමිණිල්ල ගම්පොළ පොලිසියේ විවිධ පැමිණිලි අංශ පැමිණිලි පොතේ සටහන් වූවාය.

ඒ අනුව ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. ඩබ්ලිව්. ගමනායක ප්‍රමුඛ කණ්ඩායම විමර්ශන ආරම්භ කළේය.

ඒ වන විටත් යසවතී ගම්පොළ පොලිස් ස්ථානයට කීප විටෙකදීම පැමිණ සිය ලේලියගේ අඩන්තේට්ටම් ගැන පොලිසියට පැමිණිලි කර තිබුණාය. ඒ සෑම විටෙකදීම කරුණු පහදා දී සමථයකට පත්කිරීමට ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා සහ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා කටයුතු කර තිබිණි.

මෙවර යසවතී පොලිසියට කළ පැමිණිල්ල පිළිබඳව විමර්ශන කළ නිලධාරින්ට ඇයට පහර දෙන ආකාරය දිස්වන වීඩියෝවක්ද සමාජ මාධ්‍යයේ සැරිසරන ආකාරය නෙත ගැටිණි. වයෝවෘද්ධ කාන්තාවක වූ ඇයට පහර දෙන ආකාරය අමානුෂික බව පොලිස් නිලධාරින්ටද ඒත්තු ගියාය. අනතුරුව පසුදා එනම් පසුගිය 10 වැනිදා ගම්පොළ පොලිසිය යසවතීට පහර දුන් ඇගේ ලේලිය වන මල්කාන්ති නමැති උපාධිධාරි ගුරුවරිය අත්අඩංගුවට ගත්තාය. අත්අඩංගුවට පත් ගුරුවරිය ගම්පොළ දිසා අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් වීරසේන මහතා ඉදිරියට පමුණුවීමෙන් පසු දැඩි සේ අවවාදකොට රුපියල් පනස්දහසක ශරීර ඇපයක්ද නියම කෙරිණි.

සිදුවී තිබුණේ මෙවැන්නකි.

මල්කාන්ති සහ සුනිල් වෙසෙන්නෙ ගම්පොළ, සිංහාපිටිය, රත්මල්කඩුව ප්‍රදේශයේයි. මල්කාන්ති, ගම්පොළ වල්ලහගොඩ තක්ෂිලා විදුහලේ උපාධිධාරි ගුරුවරියකි. ඇගේ සැමියා සුනිල් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයේ නියුතු අයෙකි. ඔවුහු දෙපළට වයස අවුරුදු දහයක සහ හතක පුතුන් දෙදෙනෙක්ද සිටිති. සුනිල්ගේ මව යසවතී වෙසෙන්නේද සුනිල්ගේ නිවෙසේමය. මල්කාන්ති සහ ඇගේ නැන්දම්මා යසවතී අතර කලෙක සිටම නැන්දම්මා - ලේළි ගැටුම උග්‍රව පැවතුණාය. ඉන් ගිරෙට හසුවුණු පුවක් ගෙඩිය සේ පීඩා වින්දෙ සුනිල්ය. පසුගිය දිනෙක සුනිල් පුතුන් දෙදෙනාට කීවේ,

"පුතේ අම්මගෙයි ආච්චිගෙයි රණ්ඩු නිසා මං ලොකු ප්‍රශ්නයක ඉන්නෙ... මට ආච්චි කියන දේ විශ්වාසත් නෑ... අම්මා කියන දේ විශ්වාසත් නෑ... පුතාලා දෙන්නා පොඩි වැඩක් කරන්න... අම්මයි ආච්චියි රණ්ඩු වෙනකොට මෙන්න මේ ෆෝන් එකෙන් දෙන්නටම හොර රහසේ වීඩියෝ කරගන්න..."

ඒ අනුව සුනිල් නිවෙසෙන් පිටව යන සෑම විටෙකදීම ආච්චි සහ බිරිය අතර සිදුවන අඬදබර වීඩියෝගත කිරීමට දරුවන් දෙදෙනාට දුරකථනයක් දී තිබුණේය.

පසුගිය 09 වැනිදා දහවල් කාලයේ සුනිල්ගේ මව යසවතී ඉඳිආප්ප කෑමට වෑංජන ගත්තා යැයි සුනිල්ගේ බිරිය මල්කාන්ති සමඟ වූ බහින්බස් වීමක් දුරදිග ගොස් දෙදෙනා උරණ වූවාය. ඒත් සමඟ ඇය නැන්දම්මාට තඩිබාන්නට වූවාය. ක්ෂණයෙන් එම දසුන් පෙළ තාත්තා කී පරිදි 'තිත'ටම වීඩියෝගත කිරීමට පොඩිවුන් දෙදෙනා සමත් වූහ.

සිදුවීම සිදුවී මඳ වේලාවකින් නිවෙසට පැමිණියේ ප්‍රහාරයට ලක්වූ යසවතීගේ දියණියකගේ පුත්‍රයෙකි. යෞවන වියේ පසුවූ තරුණයෙක් වූ ඔහු පැමිණි විගස පොඩිවුන් දෙදෙනා සඟවාගෙන තිබූ දුරකථනය පෙන්වමින් කියන්නට වූයේ,

"අයියේ... අයියේ... මේ බලන්න මේ දැන් අපේ ගෙදර වුණ සිද්ධිය..."

"මොකද්ද වුණේ... කෝ... කෝ බලන්න..."

තරුණයාටද ඉස්පාසුවක් නොවූයේ පොඩිවුන් දෙදෙනා පෙන්වන්නට වූ එම වීඩියෝ දසුන් පෙළ නැරැඹීමටයි. දරුවන් දෙදෙනා ක්ෂණයෙන් වීඩියෝගත කළ දසුන් පෙළ තරුණයාට පෙන්වීය. අහෝ ඛේදවාචකයකි. තම ආච්චි අම්මාට ඔහුගේ මාමාගේ බිරිය පිහියක්ද අතැතිව පහර දෙන ආකාරයක් තරුණයාද දුටුවේය. එසැණින් වීඩියෝව තමාගේ ජංගම දුරකථනයට ලබාගැනීමට තරුණයා කටයුතු කළේය. අනතුරුව ඔහු කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නොකළේය. එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සෙ අන්තර්ජාලයට මුදා හැරියේය.

එසැණින් එම වීඩියෝව සමාජ මාධ්‍ය කලඹමින් සැරිසරන්නට විය.

නැන්දම්මා - ලේලිය ගැටුම සාමාන්‍ය සිදුවීමකි. එහෙත් උපාධිධාරි ගුරුවරියකද වන එම වයෝවෘද්ධ කාන්තාවගේ ලේලිය තම දරුවන්ට පමණක් නොව මුළුමහත් සමාජයටම ආදර්ශවත්ව ජීවත්විය යුතු තැනැත්තියකි. ඒ, ඇය අනාගත පරම්පරාවේ නැණ නුවණ පාදන්නට සිටින ගුරු මාතාවක් වන හෙයිනි. කෙසේ හෝ ඇය සිය සැමියාගේ වයෝවෘද්ධ මවට පහර දෙන දසුන ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ නෙත ගැටේයැයි සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.

ඡායාරූප - සුරංග දිල්හාන්, ගම්පොළ සමූහ

Comments