ලේ බැංකුවට ලේ ඕනෑ කර තිබේ | සිළුමිණ

ලේ බැංකුවට ලේ ඕනෑ කර තිබේ

“මා වැනි බිලින්දා

මරුවා යයිද කැන්දා,

අනේ ඒ හින්දා

දෙන්න ලේ බිඳු මාමා නැන්දා

කුඩා දරුවකුගේ රූපයක් යොදා එම දරුවාගේ ආයාචනයක් ලෙසින් ඉහතින් දැක්වූ කවිය සඳහන් කළ පෝස්ටරයක් නිරතුරුවම අපට දැක ගත හැකි වන්නේ ලේ දන්දීමේ කඳවුරු පිළිබඳව දැනුම්වත් කරන ප්‍රචාරක මාධ්‍යයක් වශයෙනි.

එහෙත් පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ සිට ඇතිවූ කො‍රෝනා වසංගතය හේතුවෙන් රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය. ඇතැම් ප්‍රදේශ වසා දැමීමට සිදුවිය. මහජනතාව එක්රොක් වීම සිදු කෙරුණේ ද සීමාසහිතවය. එවැනි පසුබිමක් තුළ ලේ දන්දීමේ කඳවුරු පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැත. ලේ දන්දීමේ කඳවුරු පැවැත්වීමට නොහැකි වීමෙන් දැඩි අසීරුතාවට පත් වූයේ ජාතික රුධිර පාරවිලයනය මධ්‍යස්ථානයයි. මන්ද දිවයින පුරා පිහිටි රෝහල්වල ඇති ලේ බැංකු මඟින් රෝගීන්ට අවශ්‍ය රුධිරය සැපයීමේ ක්‍රියාවලිය එයින් අඩපණ වන බැවිනි.

“රට ලොක්ඩවුන් කළාම රුධිරය සැපයීමේ අවශ්‍යතා පහත බසිනවා. මොකද රට වහපුවාම මහපාරේ හදිසි අනතුරු සිද්ධ වෙන්නේ නැහැ. සැලසුම් කළ ආකාරයට රෝහල් සැත්කම් කරන්නේ නැහැ. ඒ නිසා අපි දිනකට නිකුත් කරන ලේ ප්‍රමාණය අඩු වෙනවා. ඒත් අපිට අනිවාර්යයෙන් ලේ සැපයිය යුතු කොටසක් සිටිනවා. ඒ පිරිස තමයි පිළිකා රෝගීන්, ලියුකේමියාව ලියුෆෝමා රෝගවලින් පෙළෙන දරුවන්, තැලසීමියා රෝගීන් සහ දරු ප්‍රසූතියට රෝහල්වලට පැමිණෙන මවුවරුන්. රට සාමාන්‍ය තත්ත්වයෙන් පවතින කාලයේදී දවසකට රතු රුධිරාණු ඒකක (පැකට්) 1500 ක් අවශ්‍ය වෙනවා. රුධිර පට්ටිකා ඒකක 800 – 900 ත් අතර ප්‍රමාණයක් දවසකට අවශ්‍ය වෙනවා. රට වහපු කාලයේදී දිනකට රතු රුධිරාණු ඒකක 800 ක් අවශ්‍ය වුණා. පට්ටිකා ඒකක 600 ක් අවශ්‍ය වුණා. මාස ගණනක් රට වසා තැබීම අපිට හුරු පුරුදු දෙයක් නෙමෙයි. මෙය අපිට අලුත්ම අත්දැකීමක්. රුධිර ඒකක සපයා ගැනීමේ ගැටලුව අපිට ලොකු අභියෝගයක් වුණා.” යනුවෙන් පවසමින් සංවාදයට එක් වුණේ ජාතික රුධිර පාරවිලයනය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහය.

ලංකාවේ වාර්ෂික රුධිර අවශ්‍යතාව රුධිර ඒකක හාර ලක්ෂ පනස් දහසකි. (4,50,000) ජාතික රුධිර අවශ්‍යතාව සපුරාගැනීමේ ක්‍රම 2 ක් තිබේ. ඉන් පළමුවැන්න වන්නේ ජංගම කඳවුරු මඟින් රුධිරය සපයා ගැනීමයි‍. දෙවැනි ක්‍රමය වන්නේ ලේ බැංකු වෙත ස්වකැමැත්තෙන් ඉදිරිපත්වී රුධිරය ලබාදෙන පිරිසගෙන් සපයා ගැනීමයි. වර්ෂයකට අවශ්‍ය රුධිර ඒකක 4,50,000 න් රුධිර ඒකක 3,80,000 ක් පමණ ලැබෙන්නේ ජංගමව පැවැත්වෙන ලේ දන්දීමේ කඳවුරු මඟිනි. එය 85% ක ප්‍රතිශතයකි. ඉතිරි ප්‍රමාණය, එනම් 15% ක් ලැබෙන්නේ ස්වකැමැත්තෙන් ඉදිරිපත් වන පරිත්‍යාගශීලීන්ගෙනි. ස්වකැමැත්තෙන් ඉදිරිපත් වන අයට කොළඹ නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හෝ රෝහල් තුළ පිහිටි ලේ බැංකුවලට පැමිණ ලේ දන්දීම සිදු කළ හැකිය. අද වනවිට ලංකාව පුරා රෝහල් 105 ක ලේ බැංකු පිහිටා තිබේ.

මේ කොයි ආකාරයට ලබා ගත්තත්, ලබාගත් සැණින් අනිත් අතට රෝගියාට රුධිරය ලබාදෙන්නේ නැත. එකතු කර ගත් රුධිරය තුළ රෝග 5 ක කාරක තිබේ දැයි පරීක්ෂණයට භාජනය කෙරේ. එම පස් වැදෑරුම් රෝග වන්නේ හෙපටයිටිස් බී, හෙපටයිටිස් සී, HIV, මැලේරියාව සහ උපදංශය. ලබාගත් රුධිර සාම්පල්වල ආරක්ෂාව තහවුරු කළ පසුව එය සුවිශාල ක්‍රියාවලියකට භාජනය කෙරේ.

“2014 වනතුරු රෝගියකුට ශල්‍යකර්මයක් කරනවා නම් ලේ දෙන්න දෙන්නෙක් අරං එන්න කියලා රෝහල්වලින් දැනුම් දුන්නා. එහෙම එක්ක ආවා කියලා ඒ කෙනාගේ ලේ අරගෙන අනිත් අතට රෝගියාට දෙන්නේ නැහැ. ගත්ත ලේ බැංකුවේ තබා ගෙන ලොකු ක්‍රියාවලියකට භාජනය කරනවා. රෝගියාට ගැළපෙන ලේ බැංකුවෙන් දෙනවා. ඒත් 2014 දී ඒ ක්‍රමය වෙනස් වුණා. දැන් රෝහල්වලින් ලේ දෙන්න පුළුවන් අය හොයාගෙන එන්න කියලා රෝගීන්ට කියන්නේ නැහැ. සියලුම රෝගීන්ට අවශ්‍ය ලේ අපේ මධ්‍යස්ථානයෙන් සපයනවා. ලංකාව පුරා පිහිටි ලේ බැංකු 105 මෙහෙයුම් කටයුතු සිද්ධ වෙන්නේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන්. අපි ලබාගත් ලේ ලොකු ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් රතු රුධිරාණු, පට්ටිකා, සුදු රුධිරාණු, ප්ලාස්මාව ආදී වශයෙන් වෙන් කරනවා. ඊට පසුවයි රෝගීන්ගේ අවශ්‍යතාව අනුව අපි රුධිර සපයන්නේ.” යනුවෙන් ජාතික රුධිර පාරවිලයනය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ විස්තර කළේ ය‍.

මෙ‍සේ සකස් කරගනු ලැබූ රුධිරය ගබඩා කර තබා ගත හැකි කාල සීමාවක් තිබේ. සාමාන්‍යයෙන් රතු රුධිරාණු ගබඩා කරගත හැකි කාලය මාසයකි. එහෙත් පට්ටිකා කල් තබාගත හැකි කාලය දින 5 කට සීමාවේ. උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක ඍණ 80 යටතේ ගබඩා කිරීමෙන් වසර 10 ක් වැනි දීර්ඝ කාලයක් රුධිරය කල් තබාගත හැකි වුවත් ඊට දැරිය යුතු පිරිවැය ඉතා ඉහළ බැවින් තවමත් එම දියුණු තාක්ෂණය යටතේ රුධිරය ගබඩා කිරීමේ පහසුකම් ලංකාවේ නැත. පසුගිය කාලයේ රට වසා තැබූ විට රුධිරය සපයා ගැනීමේ ගැටලු මතු වුණේ එබැවිනි.

“කොවිඩ් පළමු රැල්ල මතු වුණු මුල් කාලයේ තමයි අපි ලොකු අර්බුදයකට මුහුණදුන්නේ. මාස 3 ක් විතර මුළු රටම වැහුවානේ. අපි ළඟ තිබුණු සංචිත 10,000, 4000 ට බැස්සා. දැන් නම් සතියකට ප්‍රමාණවත් වන පරිදි සංචිත ගබඩා කර තිබෙනවා. අපි ළඟ ගබඩා කර තිබෙන රුධිර සංචිත කල් ඉකුත් වන විට ඉවත් කරන්න ඕනෑ. ඒත් අපිට රුධිරය සපයා ගන්න හැකියාවක් නැහැ. ඒ කාලේ මුල් සති 2, 3 අපි රුධිරය සපයා ගත්තේ ආරක්ෂක නිලධාරීන්ගෙන්. ඒත් ඒක හැමදාම කරන්න බැහැනේ. ඒ නිසා අපි වැඩපිළිවෙළක් හදා ගත්තා. කොවිඩ් දෙවැනි රැල්ලේදී එතරම් ලොකු ගැටලුවකට මුහුණ දුන්නේ නැහැ. දැන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලේ දන්දීමේ කඳවුරු පැවැත්වෙනවා. ඒ එක්කම නවීන තාක්ෂණයේ ආධාරයෙන් ලේ දන්දෙන අය සම්බන්ධ කරගැනීමේ අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දීලා තිබෙනවා.” යනුවෙන් සඳහන් කළේ අධ්‍යක්ෂ, වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහය.

මේ වනවිට ලේ දන්දීමේ කඳවුරු පැවැත්වීමට අවසර ඇත. ඒ අත් සේදීමට පහසුකම් සැලසීම, උෂ්ණත්වය පරීක්ෂා කිරීම, විෂබීජහරණය කිරීම, විෂබීජ නාශක දියර භාවිත කිරීම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට යටත් වෙමිනි. එමෙන්ම එක් වරකට 5 දෙනෙකු බැගින් ගෙන්වා ගෙන මීටරයක පරතරයක් ඇතිව ඔවුන්ව රඳවා ගත යුතුය. සාමාන්‍ය දිනවලදී ලේ දන්දීමේ කඳවුරකට 300 – 400 දෙනකු සහභාගි වුවත් දැන් කොවිඩ් වසංගත තත්ත්වය තුළ දිනකට සහභාගි කරවා ගත හැකි උපරිම සංඛ්‍යාව 50 කි. ලේ දන්දීමට පැමිණෙන අයට උණ - කැස්ස - සෙම්‍ප්‍රතිශ්‍යාව වැලඳී තිබේද, විදෙස්ගතව පැමිණි අයකු ද, කොවිඩ් ‍රෝගියකුගේ ආශ්‍රිතයකු ද යනාදී වශයෙන් විමසීමක් කිරීමෙන් අනතුරුව ලේ ලබා ගැනීම සිදු කෙරෙනු ඇත.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ පැවැත්වෙන ලේ දන්දීමේ කඳවුරුවලට පැමිණ ලේ පරිත්‍යාග කිරීමට අමතරව, දුරකතනය මඟින් වේලාවක් වෙන් කරගෙන ළඟම පිහිටි ලේ බැංකුවට ගොස් ලේ පරිත්‍යාග කළ හැකි ක්‍රමවේදයක් ද දැන් හඳුන්වා දී තිබේ. එකී ක්ෂණික දුරකතන අංකය වන්නේ 0115332154. මෙම දුරකතන අංකයට ඇමතූවිට ඔබ ලේ ලබාදීම සඳහා යායුතු ඔබට ආසන්න ලේ බැංකුව සහ වේලාව කෙටි පණිවුඩයක් (SMS) මඟින් ඔබට ලැබෙනු ඇත. මීට අමතරව NBTS.life යන වෙබ් පිටුව ඔස්සේ ලේ පරිත්‍යාග කිරීම සඳහා ලියාපදිංචි වූ විට වේලාව සහ ස්ථානය සඳහන් කරමින් කෙටි පණිවිඩයක් (SMS) ලැබෙනු ඇත.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවකදී මෙම කෙටි පණිවිඩය (SMS) ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකිය. එහෙත් දුරකතනය මඟින් වේලාව වෙන් කරගෙන ලේ පරිත්‍යාග කිරීමට පැමිණෙන අයගේ ප්‍රමාණය තවමත් පවතින්නේ සුළු වශයෙනි.

Comments