ජනා­ධි­පති ගෝඨා­භය ද? ලේකම් ගෝඨා­භය ද? | සිළුමිණ

ජනා­ධි­පති ගෝඨා­භය ද? ලේකම් ගෝඨා­භය ද?

“මුහුදු කොටින්ගේ ප්‍රහාරක යාත්‍රා සහ කොටි සංවිධානයට ආයුධ සපයන නෞකා මහ රෑ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වී කොටින්ගේ තිප්පොළවල් වෙත යාත්‍රා කර තිබුණි. මේ ගැන බුද්ධි අංශ මඟින් හමුදා ප්‍රධානීන් දැනුම්වත් කර තිබුණි. මේ ගැන එවකට ආරක්ෂක අමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දැනුම්වත් කර මේ සම්බන්ධයෙන් යම් යම් තීරණ ගැනීමට ආරක්ෂක ප්‍රධානීන්ට අවශ්‍යතාව තිබුණු අතර; එම කටයුත්ත වඩාත්ම පහසු වූයේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දැනුම්වත් කර මුහුදු කොටි ප්‍රහාරක යාත්‍රා සහ කොටින්ට අවි ආයුධ ගෙන එන ලද නෞකා විනාශ කිරීමට හැකිවීම නිසයි.

 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හදිසි අවස්ථාවකදී දැනුම්වත් කිරීමට නොහැකි වූවහොත් ඒ සඳහා හොඳම විකල්පය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ම සපයා දී තිබුණි. ඒ ආරක්ෂක ලේකම් ධූරයට ගෝඨාභය රාජපක්ෂයන් පත් කිරීමයි. මේ සඳහා අවශ්‍ය කරන්නේ උපරිම විශ්වාසය හා දක්ෂතාවයි. එම තෝරාගැනීම තුළින් පෙන්නුම් කරනු ලබන්නේ මහින්ද රාජපක්ෂ සතු දේශපාලන පරිණතභාවයයි.

පවුල් දේශපාලනය ආසියානු රටවලට යම් පොදු කාරණයක් වුවද 2005 වසරේදී මහින්ද රාජපක්ෂ බලයට පත් වීමෙන් අනතුරුව ඇති වූ මහින්ද - ගෝඨා සුසංයෝගය මේ රටට ඉතා වැදගත් විය.

ඉන්දියාවේ සුප්‍රකට දේශපාලන විචාරකයකු වන නාරායන් ස්වාමි වරක් පැවසුවේ මහින්ද සහ ගෝඨා එක කුස උපන් සහෝදරයන් වීම කොටි සංවිධානය පරාජය කිරීමේ කාර්යයට ඉතා වැදගත් සාධකයක් වූ බවයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය වෙමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කළ මෙහෙය අගය කරනු ලබන්නේ මෙරට පමණක් නොවේ.

ඉන්දියාව, පකිස්ථානය චීනය ඇතුළු රටවල් කිහිපයක් ම මහින්ද - ගෝඨා සුසංයෝගයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු දේ ගැන ඉතා හොඳින් අගයා තිබුණි.

ත්‍රස්තවාදය අවසන් කිරීමේ දී මතු වූ අභියෝගවලට මෙම සුසංයෝගය ඉතා හොඳින් මුහුණ දෙමින් කොළඹ නගරය ආසියාවේ ම අලංකාරවත් නගරය කරමින් රට සංවර්ධනය කිරීමට එදා කටයුතු කළ හැටි මේ රටේ අතිබහුතරයක් ජනතාවට තාමත් හොඳට මතකය.

ඒ නිසා ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ කාර්යභාරය හා සීමා මෙන් ම ජනාධිපති ගෝඨාභයගේ කාර්යභාරය හා සීමාවන් ගැන ද මේ රටේ අතිබහුතරයක් පොදු මහජනතාව මේ වන විට ඉතා හොඳින් දනිති.

ඒ නිසා අම්පාර ලාහුගල දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සියලු‍ම දෙනාට සිහිපත් කර දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තුළ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද සිටින බවයි.

“‍මට බෝම්බ ගහපු ප්‍රභාකරන්ව ඉවර කළේ නන්දිකඩාල් කලපුවේ හතරගාතෙන්.

ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරගන්නත් පුළුවන්.

නන්දසේන ගෝඨාභයගේ චරිත දෙකක් තියෙනවා.

මම ඕනෑම දේකට සූදානම් චරිතයක්. නන්දසේන කියන්නේ හොඳ නමක්. ජනතාව බලාපොරොත්තු වෙන සාධාරණ දේශපාලනය කළ යුතු යි.”

යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අම්පාර ලාහුගල දී ගම සමඟ පිළිසඳරක් වැඩසටහනේදී කරන ලද කතාවට මාධ්‍ය මඟින් ඉහත සඳහන් සිරස්තල සමඟ විශාල ප්‍රචාරයක් ලබා දී තිබුණි.

“මම ඕනෑම දේකට සූදානම් චරිතයක්. තවමත් සමහර වෙලාවට අපේ හාමුදුරුවන් කියනවා, අපිට ඕනෑ ජනාධිපති ගෝඨාභය නෙවෙයි; ආරක්ෂක ලේකම් ගෝඨාභය තමයි අවශ්‍ය කියලා. ටිකක් සැරෙන් ඉන්න ඕන කියලත් මට කියනවා. ඒකත් මට කරන්න පුළුවන්.

ආරක්ෂක ලේකම් ලෙස ඉන්නකොට පිත්තල හන්දියේ දී මට බෝම්බයක් ගහලා ප්‍රභාකරන් වැඩ පටන් ගත්තා. මං ඒක ඉවර කළේ නන්දිකඩාල් කලපුවෙන් හතරගාතෙන් දාල යි.” යනුවෙන් ලාහුගල ප්‍රදේශයේ දී පැවති ගම සමඟ පිළිසඳරක් වැඩසටහනේ දි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කරන විට එම ස්ථානයේ සිටි ජනතාව මහත් උනන්දුවෙන් අත්පොළසන් දක්වමින් ඊට ප්‍රතිචාර දක්වන අයුරු මාධ්‍ය මඟින් ද දැකබලා ගැනීමට හැකිවිය.

ජනාධිපති ගෝඨාභයටත්, ආරක්ෂක ලේකම් ගෝඨාභයටත් ජනතාව එකවර කැමති බව ඔවුන්ගේ ප්‍රතිචාර තුළින් පෙනී යයි.

වසර 30 කට අධික කාලයක් තිස්සේ පැවති ත්‍රස්තවාදය මහින්ද - ගෝඨා සහයෝගයෙන් අවසන් කළ හැටි මේ රටේ අතිබහුතරයක් පොදු මහජනතාවට තවමත් හොඳට ම මතක ය.

එම නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලාහුගල දී කළ ප්‍රකාශය ගැන මේ රටේ ජනතාවට නම් කිසිදු ගැටලුවක් නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලාහුගල ප්‍රකාශය ගැටලු‍වක් තිබෙන්නේ කාට ද?

මේ වන විට එය ගැටලුවක් වී තිබෙන්නේ රටට එරෙහිව කටයුතු කරන දේශපාලන පක්ෂවලට හා සංවිධානවලටයි.

කොටි ත්‍රස්තවාදය පෝෂණය කිරීම වෙනුවෙන් ක්‍රියා කළ අයට ය. මෙරට බුද්ධි අංශ හීනකර ජාතික ආරක්ෂාව උකසට තැබූ පිරිස් ගෝඨාභයගේ මෙම ප්‍රකාශයට අකමැති ය.

බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරමින් මෙරට අන්තවාදය පෝෂණය කළ පිරිස් මෙම කතාවට අකමැතිය.

තම පියා කියපු කථාව අසා පාස්කු ඉරිදා පල්ලියට නොගිය කට්ටිය ජනාධිපතිවරයාගේ ලාහුගල කතාවට අකමැති ය.

ජාත්‍යන්තරයේ කොටි හිතවාදීන් වෙනුවෙන් කඩේ යන පිරිස් ද මෙම කතාවට අකමැති ය. යහපාලනය පිහිටුවීම සඳහා කඩේ ගිය NGO අයියලා ජනාධිපතිවරයාගේ මෙම කතාවට කැමති නැත.

හීනෙන්වත් රට, ජාතිය, ආගම ගැන කතාකරන දේශපාලනඥයන්ට මෙම යහපාලනය නඩය කැමති නැත.

ඔවුන්ට අවශ්‍ය වන්නේ මේ රට කෑලිවලට කඩා ෆෙඩරල් රාජ්‍යයක් කිරීම වෙනුවෙන් පෙනී සිටින දේශපාලන නායකයින්ට ය. එම නායකයින් අල්ලේ නැටවිය හැකි බව මෙම යහපාලන NGO ප්‍රමුඛ කල්ලිය ඉතා හොඳින් දන්නේ පසුගිය වසර 4 1/2 තුළ රට ආපස්සට ගෙන යාම සඳහා ඔවුන් විසින් ම මෛත්‍රි - රනිල් අල්ලේ නැටවූ නිසා ය.

නමුත් මහින්ද - ගෝඨා සුසංයෝගය එසේ අල්ලේ නැටවිය නොහැකි බව ඔවුන් ඉතා හොඳින් දන්නා නිසා දැන් ඔවුන් සිදුකරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කළ කතාවට මඩ ප්‍රහාර එල්ල කිරීම යි.

නමුත් මෙම මඩ ප්‍රහාර ජනතාව ප්‍රතික්ෂේප කිරීම අද සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සංවිධානය ඇතුළු යහපාලනය වෙනුවෙන් කඩේ ගිය පිරිස මුහුණ දී තිබෙන ප්‍රධානත ම අභියෝගය යි.

ඔවුන් දැන් වෙනත් කතාවක් තොරොම්බල් කරමින් සිටී. එය කුමක් ද?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කතාවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට පහරක් එල්ල වී තිබෙන බවයි. මෛත්‍රි, රනිල්, චන්ද්‍රිකා මෙන් ගෝඨාභය අල්ලේ නැටවිය නොහැකි බව මෙම නඩේ ඉතා හොඳින් දන්නා කාරණයකි. පසුගිය ප්‍රධාන මැතිවරණ සියල්ලක් ම හතරගාතෙන් ඇද වැටුණු රනිල්, සජිත්, අනුර, සුමන්තිරන්, හකීම්, බදියුදීන් ප්‍රමුඛ යහපාලන නඩය කෙසේ හෝ බැලු‍වේ කොරෝනා ගරානාවක් කරගෙන ගොඩ ඒමට ය. එසේ නොහැකි වූ තැන කොරෝනා මළ සිරුරුවලින් හෝ ගොඩඒමට උත්සාහය දැරුව ද එය ද ව්‍යාර්ථ විය.

හැම අතින් ම පොදු විපක්ෂය ෆේල්වන නිසා ඔවුන් නිතර ම අලුත්, අලුත් මාතෘකා තෝරා ගැනීමට විශාල වෙහෙසක් දරයි.

දැන් ඔවුන්ගේ අලුත් ම මාතෘකාව වී තිබෙන්නේ “භාෂණයේ නිදහස සුරකිමු” යන්න යි.

“භාෂණයේ නිදහස සුරකින්න - හරීන් ප්‍රනාන්දු ආරක්ෂා කරන්න.” යනුවෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

භාෂණයේ නිදහස හා හරීන් අතර තිබෙන සම්බන්ධය කුමක් ද?

හරින්ගේ අදහස්වල බොහෝවිට වෛර සහගත හා අපහස වන ආකාරයේ දෙබස් ඇතුළත් වුව ද හරින්ට අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන නිදහස වෙනුවෙන් අපි පෙනී සිටින්නෙමු. එහි වාදයක් නැත. නමුත් ගැටලුව වන්නේ හරින්ගේ භාෂණයේ නිදහසට එල්ල වී තිබෙන බාධාව කුමක් ද? කියා ය.

එදා යහපාලන ආණ්ඩුව දේශපාලන පළිගැනීම් සිදුකළ ආකාරයෙන් වර්තමාන ආණ්ඩුව දේශපාලන පළිගැනීම් සිදු කරන්නේ නැත. එසේ වූවා නම් විපක්ෂයේ බොහෝ දෙනෙකු දැනටමත් සිටින්නේ මහ උළුගෙදර යකඩ කූරු ගනිමින් ය.

දැන් හරින් ගැන බොරුවට කිඹුල් කඳුළු හෙළන විපක්ෂය ම එදා යහපාලන ආණ්ඩුව වෙලාවේ දී ඒකාබද්ධ විපක්ෂයේ 16 දෙනෙකු බොරු චෝදනා ලබා දී සිරගත කළේ භාෂණයේ නිදහස ආරක්ෂා කිරීමට ද?

විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 16 දෙනෙකු සිරගත කළේ ඔවුන්ගේ කටවල් වැසීමට බව විපක්ෂයට අමතක වී ඇත.

69 ලක්ෂයක් සහ මේ රටේ අතිබහුතරයක් ජනතාව වෙනුවෙන් පෙනී සිටින රටේ විධායකයට භාෂණයේ නිදහසට සීමා පනවා ගන්නා ලෙස පොදු විපක්ෂය කියයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ යළි නන්දිකඩාල් සෙල්ලම්වලට ඉඩ ලබා නොදෙන බවයි.

එහෙම කිව්වම කලබල වෙන්නේ සජිත්ලා, හරීන්ලා ය. කොටි නාඩගම්වලට යළි හිස එසවීමට ඉඩ ලබා නොදෙන බවට ගෝඨාභය ප්‍රකාශ කරන විට සජිත්ලා, හරීන්ලා කලබල වෙන්නේ ඔවුන් කොටි වෙනුවෙන් පෙනී සිටිනවා ද කියා සාධාරණ සැකය මතු වේ.

භාෂණයේ නිදහස පමණක් නොව සමස්ත ජාතියම කොටි ත්‍රස්තවාදයෙන් මුදාගැනීමට මහින්ද - ගෝඨා සුසංයෝගය කටයුතු කළ බව නොරහසකි.

සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු‍ම ශ්‍රි ලාංකිකයින්ට ජීවත්වීමේ නිදහස ලබාදුන්නේ මහින්ද - ගෝඨා සුසංයෝගයයි. එම පූර්ණ නිදහස තුළ භාෂණයෙන් ද නිදහස තිබෙන බව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයාට නොතේරීම කනගාටුදායකය.

එවකට රිචඩ් ද සොයිසාගේ භාෂණයේ නිදහසට කුමක් ද වූයේ කියා සජිත් ප්‍රේමදාස පිළිතුරු ලබා දෙනවා නම් වඩා හොඳ ය. රිචඩ් ද සොයිසාගේ භාෂණයේ නිදහසට කුමක් ද වූයේ කියා අප සියලුම දෙනාට වඩා දන්නේ සජිත්ගේ පියා ය. ඒ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා යි.

රිචඩ් ද සොයිසා වැනි දක්ෂ තරුණ මාධ්‍යවේදියෙකුට මොරටුව කොරලවැල්ලේ දී අවසන් ගමන් යෑමට සැලැස්වීමට එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණඩුව ක්‍රියාකිරීම ගැන සජිත් ප්‍රේමදාසගේ විග්‍රහය කුමක් ද? කියා දැනගැනීමට රටේ පොදු මහජනතාව සිටින්නේ කැමැත්තෙනි.

පියාගේ ඒ කාලයේ දී කළ ක්‍රියාවන් පුතාණෝ පිළිගන්නවා ද? නැද්ද? කියා වර්තමාන විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක ලෙස සජිත් කියන්නේ මොනවා ද?

එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී “භාෂණයේ නිදහස” වෙනුවෙන් අරගල කිරීමට සිදු වූයේ රිචඩ් ද සොයිසාට පමණක් නොවේ.

තවත් බොහෝ පිරිසකට ඒ කාලයේ දී භාෂණයේ නිදහස අහිමි වූ බව රහසක් නොවේ. භාෂණයේ නිදහස පමණක් නොව ජීවත්වීමේ නිදහස ද එකල නැතිකර තිබූණි.

තරුණ තරුණියන් 60,000 කට අධික ප්‍රමාණයක් ටයර් මත යැවූ ටයර් සෑය සංස්කෘතිය තුළින් මහා ඛේදවාචකයක් මේ රට තුළ සිදුවන විට පියාණෝ නිහඬව සිටින විට පුතාණෝ ට එය අමතක වීම පුදුම සහගත ය.

සමගි ජනබලවේගය රුවල් කැඩුණු යාත්‍රාවක් සේ සාගරයේ ගමන් කරන්නේ ගමනාන්තය ගැන කිසිදු අනුදැනුමක් නොමැතිවයි.

සමගි ජනබලවේගය ගමන් කරන්නේ සජිත්ට වුවමනා විදිහට ද? පාඨලීට වුවමනා විදියට ද? රංජිත් මද්දුම බණ්ඩාරට වුවමනා විදියට ද? හරීන්ට වුවමනා විදියට ද? තිස්ස අත්තනායකට වුවමනා විදියට ද? කියා දන්නේ ඔවුන් ම පමණි.

හරීන් ප්‍රනාන්දු මඩ ප්‍රහාර එල්ල කරනු ලබන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යටත්වයි. මඩ ප්‍රහාර පමණක් නොව අපහාස කිරීම් ද ඔහු සිදු කරයි. සමගි ජනබලවේගයේ භාෂණයේ නිදහසේ ප්‍රතිපත්තිය හරීන් ප්‍රනාන්දුගේ දෙබස් බව ඉතා හොඳින් ම පැහැදිලි වේ. හැම පැත්තෙන්ම වැටී සිටින විපක්ෂයේ අලුත් ම මාතෘකාව බවට පත්කර තිබෙන්නේ හරීන් ප්‍රනාන්දු ය. හරීන් ප්‍රනාන්දුගේ භාෂණයේ නිදහස හා ආරක්ෂාව වෙනුවෙන් පෙළගැසිය යුතු බව සජිත් ප්‍රකාශ කරයි.

හරීන් කෙතරම් කෑ ගැසුවත් කමක් නැත. රජයේ ගමනට එය කිසිසේත් ම අදාළ නොවේ. වගකිව යුතු විපක්ෂයක කාර්යභාර්ය විය යුත්තේ කුමක් ද?

රජයේ අඩුපාඩු තිබුණා නම් සාධනීය විවේචනයක් සිදු කර එය පෙන්වා දීම වගකිව යුතු විපක්ෂයක කාර්යභාර්යකි.

නමුත් ලෝකයේ දරුණුතම වසංගතයකට මුහුණ පා සිටින අවස්ථාවක දී ශ්‍රී ලංකාව රටක් ලෙස එම අභියෝගයට මුහුණ දෙමින් ඉදිරියට ගමන් කරන විට රටක වගකිව යුතු විපක්ෂයක් සිදු කළ යුතු කාර්යභාර්යය කුමක් ද?

ඔවුන්ට අවශ්‍ය රට ගැන සිතනවාට වඩා කොරෝනාව ගරානාවක් කරගෙන කෙසේ හෝ මෙම ආණ්ඩුව පෙරළිම සඳහා දේශපාලන වාසි ලාබ ගැනීම සඳහා කටයුතු කිරීම යි.

ඒ සඳහා සජිත් යොදාගෙන තිබෙන්නේ හරීන් ය. හරීන්ගේ මඩ හා අපහාස කතාවලින් ආණ්ඩු පෙරළන්න පුළුවන් කියා සිතාගෙන ඉන්නවා නම් ඊට වඩා තවත් මෝඩකමක් නැත.

කොවිඩ් - 19 හෙවත් කොරෝනා වයිරසය මුළු ලෝකයට ම අභියෝගයක් වී ඇති අවස්ථාවක දී එයට මුහුණ දීමට ලෝකයේ ප්‍රබල මෙන් ම දුර්වල රටවල් ද එකාමෙන් ම කටයුතු කරන විට ඒ රටවල පවතින ආණ්ඩුවලට ඒ ඒ රටවල විපක්ෂයේ ද සහයෝගය දක්වයි.

මෙරට වර්තමාන විපක්ෂය වචනයකින් හෝ සහාය දැක්වීමක් නොකොට බංකොලොත් මාතෘකා අල්ලාගෙන පටු දේශපාලන වාසි ලබා ගැනීමේ අසාර්ථක උත්සාහයක නිරත වී සිටී.

සංචාරකයන් ගෙන්වන විට කියන්නේ සංචාරකයන් නොගෙන්වන ලෙසයි. සංචාරකයන් නොගෙන්වා සිටින විට කියන්නේ සංචාරකයන් ගෙන්වන ලෙසයි.

පාසැල් විවෘත කරන විට කියන්නේ පාසැල් විවෘත නොකරන ලෙසයි. පාසැල් විවෘත නොකර සිටින විට කියන්නේ පාසැල් විවෘත කර දෙන ලෙසයි.

රට විවෘත කරන විට කියන්නේ රට වසා දමන ලෙසයි. රටේ යම් යම් ප්‍රදේශ හුදෙකලා කරන විට කියන්නේ එම ප්‍රදේශ විවෘත කරන ලෙසයි. කොරෝනා අභියෝගයට මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යාම සඳහා රජය ගන්නා සෑම තීරණයකට විපක්ෂය විරුද්ධ වන්නේ කිසිදු පදනමකින් තොරවයි.

රටක් ලෙස ඉදිරියට ගෙන යාම සඳහා වගකිව යුතු රාජ්‍ය නායකයකු ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කරන බව අසල්වැසි ඉන්දියාව පමණක් නොව චීනය ද එය පිළිගෙන තිබේ.

කොළඹ නගරය ආසියාවේ ලස්සන ම නගරය බවට පත්කිරීමට ගෝඨාභය රාජපක්ෂ ලේකම් වශයෙන් කටයුතු කිරීමෙන් පසුව චීනයේ සහ සිංගප්පූරුවේ නගර අලංකාරය කිරීම සඳහා එම රටවල ප්‍රධානීන් ශ්‍රි ලංකාව දෙස අවධානය යොමු කළ බව රහසක් නොවේ.

චීනය සහ සිංගප්පූරුව යන රටවල සංවර්ධන කටයුතු සඳහා උපදේශකවරයකු වශයෙන් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ කර ගැනීමට ද එම රටවල්වල උනන්දුවක් පැවතුණි. නමුත් එම සියලු ආරාධනා කාරුණිකව ප්‍රතික්ෂේප කළ ගෝඨාභය රාජපක්ෂ තීරණය කළේ තම සහාය දිගටම තම මවුරටට ලබා දීමටය.

නමුත් පසුගිය යහපාලන ආණ්ඩුව සිදු කළේ ගෝඨාභය රාජපක්ෂගෙන් රටට වැඩක් ගන්නේ නොමැතිව ගෝඨාභය හැකිතරමක් උසාවි ගානේ හා ජනාධිපති කොමිසන් සභා ගානේ රස්තියාදු කිරීම ය.

පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී ඇඟිලි සලකුණු ගැනීම සඳහා දෙවන විශේෂ මහාධිකරණයට අනුබද්ධව පිහිටුවා තිබූ පොලිස් මැදිරියට ගෝඨාභය රාජපක්ෂ කැඳවාගෙන යනු ලැබී ය. චූදිතයකුගේ ඇඟිලි සලකුණු ගැනීමේදී අදාළ පුද්ගලයාගේ අත් දෙකෙහිම සියලු‍ම ඇඟිලිවල සලකුණු ගැනීම සිදුකිරීම එම ක්‍රියාපටිපාටියට අයත්ය. මෙහිදී සිදුවන්නේ ඇඟිලි සලකුණු ගන්නා පොලිස් නිලධාරියා අදාළ පුද්ගලයාගේ අත රැගෙන එහි ඇඟිල්ලෙන් ඇඟිල්ල සිය අතින් අල්ලාගෙන තීන්ත පෑඩ් එකක තබා තීන්ත තැවරුණු පසු සලකුණු ලබා ලබාගැනීම ය. මෙම අවස්ථාව ඇසින් දුටුවන් පවසන පරිදි එහි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා ගෝඨාභය රාජපක්ෂගේ ඇඟිලි සලකුණු මෙලෙස ගැනීමට සිදුවීම නිසා බලවත් අපහසුතාවට පත් වුව ද තමාගේ රාජකාරිය අධිකරණ ක්‍රියාපටිපාටියට අනුව ඉටුකිරීමට ඇති වගකීම නිසා එක් පොලිස් නිලධාරියකු එය සිදුකර ඇත.

ගෝඨාභය රාජපක්ෂගේ දකුණු අතේ මහපට ඇඟිල්ල ප්‍රථමයෙන් අල්ලාගත් නිලධාරියා එය තීන්ත පෑඩ් එකෙහි තබා තද කර ඉන්පසුව අදාළ පත්‍රිකාවේ එය තබා වටේට කරකවමින් එම ඇඟිල්ලේ සලකුණු ලබා ගැනීමෙන් අනතුරුව අත්දෙකේ ඉතිරි ඇඟිලි සියල්ලේ ම සලකුණු ද ඒ ආකාරයට ම ලබාගෙන ඇත. සාමාන්‍යයෙන් මෙවැනි කාර්යයක් සිදු වන්නේ අපරාධකරුවකුට හෝ වංචාකාරයකුට එරෙහිව ඇති නඩුවක් විභාග කිරීමට යාමේදී වන අතර; රටට විශාල යුග මෙහෙවරක් සිදු කරන ලද ගෝඨාභය රාජපක්ෂ වැනි අයෙකුගේ මෙවැනි ඇඟිලි සලකුණු ගැනීමක් මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා කිසිසේත් ම බලාපොරොත්තු නොවන්නට ඇත. කෙසේ වුව ද රටේ පවත්නා නීතියේ ආධිපත්‍යය හමුවේ සියල්ලෝ ම එක සමානය යන මූලධර්මය යටතේ මෙය සිදු වුවද එම අවස්ථාව සටහන් කරන ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය හරහා මහජනතාව අතරට යාමත් සමඟම රටට හිතැති මිනිස්සු ඒ ගැන බොහෝ සේ කම්පාවට පත්වූහ.

කෙසේ වුවද සිනහමුසු මුහුණින් යුතුව ඒ අවස්ථාවට මුහුණ දුන් ගෝඨාභය රාජපක්ෂ ඉන් අනතුරුව ඇඟිල්ලේ තැවරී ඇති තීන්ත සෝදා ගැනීමට එහි තිබූ පොදු වැසිකිළියට ගියේ ය. කොතරම් උත්සාහ කළ ද එම තීන්ත යැවීමට නොහැකි වූයෙන් තීන්ත තැවරුණු සිය ඇඟිලි තුඩු දෙස බලමින් ඔහු පොදු වැසිකිළියෙන් එළියට ආවේ ය. එම දර්ශනය ද දුටු ඒ අසල සිටිවුන් බොහෝ සේ කම්පාවට පත් වූ අතර ඔවුන්ගෙන් ප්‍රකාශ වුණු වදන් ඒ ආකාරයෙන් ම මෙහි සඳහන් කිරීමට නොහැකි ය. එහෙත් රාජ්‍ය අනුග්‍රහයෙන් මෙම ක්‍රියාවලිය සිදු වූයේ හුදෙක්ම අධිකරණයක් මඟින් වරදකරු කර ගෝඨාභය රාජපක්ෂව සදාකාලිකව ශ්‍රී ලංකාව තුළ දේශපාලනයෙන් ඉවත්කර තැබීමට බව පොදුවේ ශ්‍රී ලාංකිකයන්ට රහසක් නොවීය.

Comments