අනු­ර­පුර පින් බිමෙන් ඇහෙන දැරි­යන්ගේ අදෝ­නාව | Page 2 | සිළුමිණ

අනු­ර­පුර පින් බිමෙන් ඇහෙන දැරි­යන්ගේ අදෝ­නාව

නුරාධපුර අවන්තිදේවී ළමා නිවාසය ආරම්භ වූයේ එකදාස් නවසිය හැටේ දශකයේදී පමණය. එවකට අනුරාධපුර නගරයේ විසූ ප්‍රභූ දානපති පවුල් කිහිපයක් විසින් මෙම ළමා නිවාසය ආරම්භ කළ අතර පසුව රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස අනුරාධපුර බුලංකුලම දිසා මාවතේ ස්ථිර ඉඩමක්; සීමාසහිත අවන්තිදේවී ළමා සමිතියේ පාලක මණ්ඩලය සඳහා ප්‍රධානය කෙරිණි. එතැන් පටන් අනුරාධපුර දිස්ත්‍රික්කය මූලික කොට විවිධ සමාජ විෂමතා හේතුවෙන් මාපිය රැකවරණය අහිමි වූ ගැහැනු දරුවන් අධිකරණය විසින් මේ පුණා­්‍යායතනයට යොමුකර රැකවරණය ලබාදෙයි.මේ සඳහා පාලක මණ්ඩලයක් යටතේ විවිධ ස්වේච්ඡා සංවිධාන විසින් අවන්තිදේවී ළමා නිවාසය පවත්වා ගෙන ගිය අතර මීට වසර කිහිපයකට පෙර ස්වේච්ඡා සංවිධානවල භාරකරත්වය අවලංගු කර මේවන විටත් එහි සියලු කටයුතු පවත්වාගෙන යන්නේ පරිවාස හා ළමාරක්ෂක දෙපාරතමේන්තුව මගින්ය.

 

අනුරාධපුර කඩපනහට යාබදව ශීක්ෂණ රෝහලටත් සාන්ත ජෝශප් විදුහලටත් මැදිව පිහිටා ඇති අවන්තිදේවී ළමා නිවාසය ඉදිරිපිටින් ගමන්කරනවිට බොහෝ දෙනෙකුට ඇසෙන්නේ කුරුලු පැටවුන් මෙන් දුවපැන සෙල්ලම් කරන දූවරුන්ය. විටෙක හඬනඟා ගීත ගායනා කරන ගමන් ඇසෙන්නේ මහහඩින් පාඩම් කරන හඬය. සැබැවින්ම අවන්තිදේවි ළමා නිවාසය සුන්දර කුරුලු කැදැල්ලක් වැනි යැයි පැවසුවහොත් වඩා නිවැරදිය.

අවාසනාවකට මේ කුරුලු කැදැල්ල ඉරිතලා පුපුරා ගියේ එහි පැවැත්වුණු එක්තරා සාදයක් හේතුවෙනි. සාදයක් අන්දමට නිර්වචනය කළත් එය සැබැවින්ම ළමා නිවාසයේ ළමුන්ගේ වින්දනය සඳහා පරිවාස නිලධාරීන් සංවිධානය කළ කෙටි උත්සවය අවසානයේ මත්පැන් බෝතලයකින් අවසන් වීම මෙතෙක් සමාජයෙන් වසන්වී තිබූ කරුණු කාරණා රැසක් ප්‍රසිද්ධ විද්යුත් මාධ්‍ය මගින් ප්‍රදර්ශනය වීමත් සමඟ අවන්ති දේවියගේ පාරිශුද්ධභාවය කෙළසිණි. ඒ සමඟ ක්‍රියාත්මක වූ අනුරාධපුර මූලස්ථාන පොලිසිය සිදු කළ විමර්ශන වලදී මෙතෙක් ශිෂ්ට සම්පන්න සමාජයෙන් වසන්ව තිබූ කරුණු රැසක් අනාවරණය විය. එහි ළමුන් විශාල වශයෙන් ක්‍රෑරත්වයට හා හිංසාවලට ලක්ව ඇති බව අනාවරණය විය. එම අනාවරණයත් සමඟ සියලුම චෝදනා එල්ල වූයේ ළමා නිවාසයේ භාරකාරත්වය හා පරිපාලන කටයුතු සිදුකරන පරිවාස දෙපාර්තමේන්තුව වෙතය.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති ලංකා ගීගනගේ ගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන් එක්ව ළමා නිවාසයේ දරුවන් පනස් දෙනෙකුගෙන් පමණ ලබාගෙන ඇති කටඋත්තර වලට අනුව ළමුන් දැඩි ක්‍රෑරත්වයට හා හිංසාවට ලක්ව ඇති බව අනාවරණය වී තිබේ.

සියලු චෝදනා එල්ලවී ඇත්තේ එහි ප්‍රධාන පාලිකාවට වන අතර ඇය විසින් අවස්ථා කිහිපයකදී අතින් පයින් හා ප්ලාස්ටික් බටවලින් දැරියන්ට පහරදී තුවාල සිදුකර ඇති බවත්; නාන කාමර තුළදීද වද දී ඇති බවත් අනාවරණය වී තිබේ. එමෙන්ම දරුවන් කාමර තුළ සිරකර පහරදී ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

දරුවන් විසින් පොලිස් නිලධාරීන්ට ලබා දී ඇති කටඋත්තරවලට අනුව සුළු වැරදි වලත් දඬුවම් ලබාදීමෙන් නොනැවතුණු පාලිකාව මිදුලේ දණගස්සවා ක්‍රෑර ලෙස පහර දෙන බවත් එක් දැරියක් පවසා ඇත. නානතටාකයට බැස දිය නෑමේ වරදට ප්ලාස්ටික් බටයක් දෙකඩ වනතෙක් පහර දුන් බවත් එක් සාක්ෂියක වේ.

තවත් දැරියකට සිදුකළ පහර දීමක් හේතුවෙන් එමදැරියගේ ඇස අසල සිදුවූ තුවාලයක කැල­ැලක් තවමත් දක්නට ඇති බව පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඒ සමඟ ළමා නිවාසයේ දැරිවියන්ට යෝග ව්‍යායාම පිළිබඳව පුහුණුව ලබාදීමට පැමිණි අයෙකුගෙන් අතවරයක් සිදුව ඇති බවටත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මීට අමතරව මෙහි රැදී සිටින දරුවන්ගේ මානසිකත්වය අවුල් සහගත කිරීමට තරම් මෙම පාලිකාව කටයුතු කර ඇති බවට මේ වනවිට හෙළිවී තිබේ.

ඇය නිරන්තරවම මෙහි දරුවන්ව තර්ජනාත්මකව හඳුන්වා ඇත්තේ ඔවුන් අනාථ දරුවන් ලෙසටය. එය ළමා අයිතිවාසිකම් අනුව වැරැද්දකි. දරුවන්ගේ මල් වන් සිත් තැලීම පාපයකි. හොඳම දේ දරුවන්ට දෙන්න යැයි කීවාට මේ නිවාසයේ එය සිදුවී නැත.

ළමා නිවාසයක විශේෂයෙන්ම දැරිවියන් දිවිගෙවන; අහිංසක සමනලියන් සැරිසරන පරිසරයක මෙවැනි තත්ත්වයක් ඇති බවට අනුරාධපුර නගරවාසීන් කිසිවිටෙකත් විශ්වාස නොකරති. ඊට හේතුව ළමා නිවාසය ඉදිරිපිටින් ගමන් කරන කිසිවකුට එහි ඇතුළත සිදුවන්නේ කුමක්ද යන්න දැනගන්නට හැකියාවක් නොමැති වීමය. ළමා නිවාසය වටා ඉදිකර ඇති දර්ශනීය තාප්පය සියලු තොරතුරු වසන් කිරීමට සමත්වීම මීට ඇති බාධාවය.

නමුත් එම බාධාවන් බිඳගෙන මතුවුණු අවන්තිදේවියගේ දරුවන්ට සිදුව ඇති හිංසනය පිළිබඳව නොතකා හැරිය නොහැක්කකි. සොබාදහම දරුවන්ට වින කරන්නන්ට සමාව දෙන්නේ නැත.

විශේෂයෙන්ම ළමුන්ගේ භාරකාරත්වයේ වගකීම දරන පරිවාස දෙපාර්තමේන්තුව විසින්ම ළමුන්ට එරෙහිව ක්‍රෑරත්වය හා හිංසනය වපුරන්නේ නම් විවෘත සමාජයේ දරුදැරියන්ගේ අනාගතය පිළිබඳවද ඇත්තේ සැකයකි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම හා කාන්තා හා ළමා කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් විසින් ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ලිපිය සකස් කරනවිටත් ඇයව අනුරාධපුර මහේස්තාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි. අත්අඩංගුවට ගත් අනුරාධපුර අවන්තිදේවි නිවාසයේ ප්‍රධාන පාලිකාව 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 18 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත ක‍ළේය. ඉදිරි විමර්ශනවලදී මෙතෙක් අනාවරණය නොවූ වැදගත් තොරතුරු රැසක් හෙළිවෙතැයි පොලිසිය අපේක්ෂා කරයි.

 උපුල් තම්මිට, අනුරාධපුර 

Comments