රාජා­ණ්ඩු­වද? ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යද? ඉන්දි­යා­වද? චීන­යද? නේපා­ලය ගැට­ලු­වක | සිළුමිණ

රාජා­ණ්ඩු­වද? ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යද? ඉන්දි­යා­වද? චීන­යද? නේපා­ලය ගැට­ලු­වක

ලෝකයේ උසම කඳු මුඳුන පාමුල අති සුන්දර භූමියකට උරුමකම් කියමින්, කිසිවකුට කරදරයක් නොවෙමින්, කිසිවකුගේ බලපෑමට යටත් නොවෙමින්, එමෙන්ම ලෝකයේ වැඩි අවධානයකට ලක් නොවෙමින් සිටි නේපාලය මේ වන විට ගැටලු රාශියකට පැටලෙමින් සිටින බව පෙනේ. මතුපිටින් බැලූවිට නොපෙනුණද මේ කුඩා දේශය බලවත් රටවල රූකඩ රාජ්‍යයක් බවට පත් වීමට යන බවට පැහැදිලි ලක්ෂණ දැකගත හැකිය.

ලෝකයේ බලවත් රටවල් කුඩා රටවලට අතපොවන්නේ කිසියම් වාසියක් තිබේනම් පමණි. විශේෂයෙන්ම රටේ පිහිටීම, රට තුළ පවතින ඛනිජ සම්පත්, ඉන්ධන හෝ වෙනත් වාසි, අසල්වැසි බලවත් රටවල් තිබීම යනාදිය ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය.

මේ වන තුරු නේපාලය සහ භූතානය වැනි රටවලට ස්වාධීනව පැවතීම සඳහා ඉඩකඩ ලැබුණු අතර එසේ වීමට ප්‍රධාන හේතුව මේ කුඩා රටවලින් කිසිම වාසියක් බලවත් රටවලට නොලැබීමය.

එහෙත් මේ වන විට බලවත් රටවල් දෙකක් අසල්වැසියන් වීම හේතුවෙන්ම නේපාලය කිසියම් ගැටලුමය වාතාවරණයකට මැදිවෙමින් සිටින බව පෙනේ. මේ බලවත් රටවල් දෙකම නේපාලය තුළ තමන්ට හිතවාදී පාලනයක් ඇති කර ගැනීමට වෙර දරමින් සිටින බවට සාධක රාශියකි. ඒ සියල්ල මත පීඩාවට පත්වන්නේ නේපාල වැසියන් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නේපාලය යනු කලක් රාජාණ්ඩුවක් පැවති රටකි. එරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාදාමයක්ද විය. එහෙත් පසුව රජපවුලේ සාමාජිකයන්ගේ ක්‍රියා හේතුවෙන්ම රජපවුල තවදුරටත් අනවශ්‍ය බවට මත පළ වූ අතර 2008 වසරේ සිට සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාදාමයකට නේපාලය අවතීර්ණ විය.

එතැන් සිට දේශපාලන කුනාටු මැදින් වුවද ඉදිරියට ගමන් කිරීමට නේපාලයට හැකි විය. මේ වන විට නේපාලයේ සිදුවෙමින් පවතින සිදුවීම් අනුව නේපාලය ඉන්දියාවට පක්ෂ සහ චීනයට පක්ෂ යනුවෙන් වන පාර්ශ්වයන් දෙකක් විසින් දෙපැත්තට අදිමින් සිටින බවක් පෙනේ. නේපාල අගමැති ෂර්මා ඔලි චීනයට පක්ෂව කටයුතු කරන බව පෙනී ගියද පසුගියදා නේපාලයේ ඇතිවෙමින් පවතින දේශපාලන වියවුල් සඳහා චීනයෙන් ලැබුණු උපදෙස් පිළිපැදීම ප්‍රතික්ෂේප කර සිටියේය.

නේපාල විපක්ෂය ඉන්දියාවට පක්ෂ සටන් පාඨ මත යළිත් රාජණ්ඩුවක් ඇති කිරීම මෙන්ම නේපාලය හින්දු රාජ්‍යයක් ලෙස පවත්වා ගැනීම වෙනුවෙන් ඉල්ලීම් කරමින් උද්ඝෝෂණවල නිරතවී සිටින අතර ශර්මා ඔලිගේ රජය චීනයට වැඩි පක්ෂපාතීත්වයක් දක්වන බවද පෙනී ගොස් තිබේ.

එහෙත් අගමැතිවරයා චීන ජනාධිපතිවරයා විසින් පසුගිය දෙසැම්බර් මස අග භාගයේදී නේපාල ගැටලුව විසඳීම සඳහා චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් නේපාලය එවීමට කටයුතු කළේය. එහෙත් අගමැති ඔලී ඔවුන් සාදරයෙන් පිළිගත් නමුත් ඔවුන්ගේ උපදෙස් මත කටයුතු කිරීම ප්‍රතික්ෂේප කර සිටියේය.

මේ වන විට පවතින රජය අගමැති ඔලී විසින් පිහිටුවන ලද්දේ නේපාලයේ අති ප්‍රසිද්ධ මාඕවාදී පාක්ෂිකයන්ගේ නායක පුෂ්ප කමල් ධාල් හෙවත් ‘ප්‍රචණ්ඩා‘ගේ ද සහයෝගය ඇතිවය.

දැන් සිදුවෙමින් පවතින උද්ඝෝෂණ අනුව පෙනී යන්නේ නේපාල විපක්ෂයට ඉන්දියාවේ සහය නොඅඩුව හිමිවන බවය. කෙසේ වුවද පසුගිය දෙසැම්බර්යේ සිට නේපාලයේ තත්ත්වය යහපත් නොවන අතර පැතිර යන කොවිඩ් වසංගතය මධ්‍යයේ එරට ජනතාව දහස් ගණනින් වීථි බසිමින් සිටිති. මෙහිදී ආණ්ඩු පක්ෂයට පක්ෂ විරෝධතා මෙන්ම, විපක්ෂය විසින් මෙහෙයවන විරෝධතාද පැවතීම විශේෂිත වී තිබේ.

මේ කුමන අන්දමකින් පැමිණියද නේපාලය බලවත් රටවල බලපෑම හේතුවෙන් තම ඉදිරි ගමනට තමන් විසින්ම බාධක දමා ගන්නා කුඩා රටවල් අතරට එක්වෙමින් සිටින බවනම් පැහැදිලිව පෙනී යන බව පැවසිය හැකිය.

Comments