දෙකෙන් එකට පැමිණ යළිත් දෙකටම ගිය ලොව හොල්ලන බිලියනපතියා | සිළුමිණ

දෙකෙන් එකට පැමිණ යළිත් දෙකටම ගිය ලොව හොල්ලන බිලියනපතියා

මුළු ලෝකයම උඩුයටිකුරු කරන මුදල් නොවන මුදල් හුවමාරු මාධ්‍ය ‘පේ පැල්’ එලෝන් මස්ක්ගේ විප්ලවීය නිර්මාණයකි.

එලෝන් මස්ක් ලොව වැඩිම වත්කම හිමි පුද්ගලයා ලෙස ප්‍රකාශ වූයේ පසුගිය සතියේදීය. ඒ ඩොලර් බිලියන 185ක වත්කමක් සමඟිනි. එයින් දින කිහිපයක් ඉක්ම යෑමට ප්‍රථම ඔහු යළිත් වරක් ලොව දෙවැනි ධනවත් පුද්ගලයා දක්වා පහත බැස තිබේ. ඒ එක් දිනකදී ඔහු ඇමරිකා ඩොලර් බිලියන 13.5ක පාඩුවක් ලැබීම හේතුවෙනි. ඒ අනුව දුක සැප සමබර වන්නේ සේ යළිත් වරක් ලොව දෙවැනි ධනවතා බවට පත් වෙමින් හිත හදා ගැනීමට එලෝන් මස්ක්ට සිදුවී තිබේ.

කෙසේ වුවද අපට සිහිනෙන් හෝ ළඟා විය නොහැකි මේ ධනපතියන්ගේ ලෝකයේ අසන්නට දකින්නට කරුණු කාරණා රාශියක්ම තිබේ. විශේෂයෙන්ම කිව යුත්තේ සල්ලි මත ඇවිද ගියද මේ ධනපතියන්ගේ ලෝකය සැබවින්ම සුන්දර නොවන බවයි. ඔවුන්ගේ ජීවිත ව්‍යාපාර වෙනුවෙන්ම කැපව පවතින අතර ව්‍යාපාර තරගයේ නොනවතින ධාවනයක යෙදෙන ඔවුන් ලබන ඉස්පාසුවක්ද නැත.

කෙසේ වුවද මේ අතරින් බොහෝ දෙනා දක්ෂ මිනිසුන්ය. දෛවය වෙනුවට උත්සාහය විශ්වාස කළ මිනිසුන්ය. පසුගියදා දින කිහිපයකට ලෝකයේ අංක එකේ ධනපතියා බවට පත්ව දැන් අංක දෙක බවට පත්ව සිටින එලෝන් මස්ක් ගැන පවසන්නේ නම් ඔහු අති දක්ෂ පුද්ගලයකු බව කිව යුතුය. ඔහුට ඉඩදෙමින් වරක් ලොව දෙවැනි ධනපතියා බවට පත්, යළිත් වරක් දැන් ලොව අංක එකේ ධනපතියට බවට පත්ව සිටින ජෙෆ් බේසස් යනු බිම දැමිය නොහැකි ව්‍යාපාරිකයකු බව තහවුරු කර අවසන්ය.

මේ වන විට ලෝකයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ තුන්වැනි තැන දිනාගෙන සිටින බිල් ගේට්ස් තරමක් වෙනස් චරිතයක් ලෙස දැක්විය හැකිය. ලැයිස්තුවේ පස් වැනි තැනට සිටින ඉතාමත් තරුණ ව්‍යාපාරික මාර්ක් සකර්බර්ග්ද එසේමය.

එලෝන් මස්ක් ගැන වැඩි විස්තර සඳහන් කරන්නේ නම් ඔහු තවමත් 49 හැවිරිදිය. මක්ස් යනු පැහැදිලිවම නව අදහස් සහිත, එමෙන්ම නොබියව එම අදහස් ක්‍රියාවේ නැංවීමට සමත්කම් සහිත ව්‍යාපාරිකයෙකි. ටෙස්ලා සමා‌ගමේ විදුලි මෝටර් රථ නිෂ්පාදනය කෙරෙන්නේ ඔහුගේ අදහසක් අනුවය.

මුළු ලෝකයම උඩුයටිකුරු කරන මුදල් නොවන මුදල් හුවමාරු මාධ්‍ය ‘පේ පැල්’ එලෝන් මස්ක්ගේ තවත් විප්ලවීය නිර්මාණයකි. එපමණක්ද නොව සංචාරක කර්මාන්තය අභ්‍යවකාශය දක්වා ව්‍යප්ත කළ යුතුය යන ඔහුගේ අදහස ව්‍යාපාරික ලෝකයේ අති විශාල පිම්මක් වූ අතර මේ වන විට සංචාරකයන් අභ්‍යවකාශයට යැවීමේ තරගයේ තවත් තරගකරුවන් කිහිපදෙනෙකු සමග තරඟ වැදීමට මස්ක්ට සිදුවී තිබේ. ඔහුගේ ස්පේස් එක්ස් සමාගම හෙවත් ස්පේස් එක්ස්ප්ලෝරස් සමාගම මේ වන විට නාසා ආයතනය සමඟ එක්ව 2024 වන විට සංචාරකයන් අභ්‍යවකාශයට රැගෙන යෑමේ කටයුතු සූදානම් කරමින් තිබෙන බවද වාර්තා වේ.

පසුගිය 11වැනිදා ලෝකයේ ධනවතුන් අතරින් දෙවැනියා බවට යළිත් පත්වුවද එලෝන් මස්ක් යනු මේ වන විටත් ඩොලර් බිලියන 176.2කට හිමිකම් කියන අති විශාල ධනවතෙකි.

එහෙත් අදින් වසර විස්සකට පෙර ඔහු තම අබලන් මෝටර් රථයට කොටස් මිලදී ගැනීමට හෝ වත්කමක් නොමැතිව සිටි දුප්පතෙකි. වරක් ඔහු පවසා තිබුණේ තමන් 1993දී මිලදී ගත් 1978 නිෂ්පාදිත 320i වර්ගයේ බීඑම්ඩබ්ලිව් රථයට අලුත් වීදුරුවක් යෙදීමට සිදුවූ බවයි. ඒ 1995 වසර වූ අතර ඔහු එම වීරුදුව අබලි ද්‍රව්‍ය අලෙවිසැලකින් ඩොලර් 20කට මිලදී ගත් නමුත් එය සවි කිරීමට කාර්මිකයකුට ගෙවීමට මුදල් තමන් සතු නොවූ බැවින් තමන්ම හැකි අන්දමින් එය සවි කර ගත් බවයි.

එහෙත් අද වන විට මස්ක් මුළු ලොවටම අති සුඛෝපභෝගී, විදුලි බලයෙන් ධාවනය වන, එබැවින්ම පරිසර හිතකාමී මෝටර් රථ නිපදවන සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා වේ.

වර්ෂ 1971 ජූනි මස දකුණු අප්‍රිකාවේ පෙට්‍රෝරියාහිදී උපත ලැබූ මස්ක් එතරම් විශේෂ අධ්‍යාපනයක් ලැබූ පුද්ගලයකුද නොවේ. ඔහු පාසල් අධ්‍යාපනයෙන් පසුව ක්වීන්ස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවද උපාධියක් ලබා ගැනීමට සමත් වූයේ නැත. පසුව ඔහු එම අඩුපාඩුව පිරිමසා ගැනීමට 1997 පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා ගත්තේය. ඔහු තමන්ව හඳුන්වා දෙන්නේ ව්‍යවසායකයකු, කාර්මික නිර්මාණශිල්පියෙකු සහ ඉංජිනේරුවකු වශයෙනි. මේ භූමිකා සියල්ල ඔහුගේ නවතම ව්‍යාපාරය වන ස්පේස් එක්ස් හි ඔහු විසින් යොදවා ඇති බව පෙනේ. ඔහු එහි නිර්මාතෘවරයාද, ප්‍රධාන නිර්මාණශිල්පියාද වේ. පේ පැල් ඔහුගේ තවත් නිර්මාණශීලි අදහසක් වූ අතර එය මුළු මහත් ලෝකයම වැලඳගත්තේ දෙවරක් නොසිතමිනි. ශ්‍රී ලංකාවේ අපට තවමත් මේ පේ පැල් පහසුකම භාවිත කිරීමේ අවස්ථාව හිමිවී නොමැත. එහෙත් අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන බොහෝ දෙනා පේ පැල් මේ වන විට ලෝකයේ භාවිත වන පහසුම ගෙවීම් මාධ්‍ය ලෙස පවසන්නේ දෙගිඩියාවෙන් තොරවය.

මේ අති සාර්ථක ව්‍යාපාරිකයා ව්‍යාපාර මෙන්ම වත්කම් අතින් වරක් ලොව අංක එකේ ධනවතා බවට පත් ව මේ වන විට ලැයිස්තුවේ තුන්වැනි තැන සිටින බිල් ගේට්ස් පැරදවූවද ඔහුගේ පවුල් ජිවිතය නම් බිල් ගෙට්ස්ගේ තරම් සාර්ථක බව කිව නොහැකිය.

බිල් ගේට්ස් තම ආදරණීය බිරිය මෙලින්ඩා සහ දරුවන් තිදෙනා සමඟ ඉතා උණුසුම් කැදැල්ලක වෙසෙන අතර එලෝන් මස්ක් මේ වන විට බිරින්දෑවරුන් දෙදෙනෙකුගෙන් දික්කසාදව තුන්වැනි සහකාරිය වන කැනඩා ජාතික ගායිකාවක වන ග්‍රිම්ස් සමඟ වෙසෙන්නේ තනිකඩයකු වශයෙනි.

ඔවුන් විවාහ වී නොමැති වුවද පුතකුගේ දෙමාපියන් වන අතර,ඔවුන් එම දරුවාට තැබූ නම ලියාපදිංචි කිරීම ඔවුන් පදිංචිව සිටින කැලිෆෝර්නියානු නීතියට අනුව ප්‍රතික්ෂේප වන්නේ ඔවුන් යෙදූ නම ලිවීමට අක්ෂර නූතන ඉංග්‍රීසි භාෂා හෝඩියේ නොමැති බව පවසමිනි. ඔහු තුන්වැනි සහකාරිය විවාහ කර ගැනීමට තවමත් අදහස් කර නැත.

වසර 2000දී ස්වකීය ප්‍රථම බිරිය සමඟ විවාහ වූ ඔහු 2008දී එම විවාහයට නැවතීමේ තිත තබන්නේය. යළිත් වරක් තම සිත්ගත් කාන්තාවක් වූ තලූලා රෙයිලි සමග 2010 දී විවාහ වූ ඔහු 2012දී ඇයගෙන් දික්කසාද වන්නේය. යළිත් 2013දී ඇයවම විවාහ කර ගත් මස්ක් 2016දී යළිත් වරක් ඇයගෙන් වෙන් වන්නේය. මේ අන්දමින් තම පෞද්ගලික ජිවිතය ගෙන යන මේ ව්‍යාපාරික දැවැන්තයා දරුවන් හත් දෙනෙකුගේ පියෙකු බවද සඳහන්ය.

කෙසේ වුවද එක් දිනකදී ටෙස්ලා සමාගම ලැබූ පාඩුවක් හේතුවෙන් ලැයිස්තුවේ දෙවැනි තැනට වැටුණද, එලෝන් මස්ක් නුදුරේදීම ධනවතුන්ගේ ලැයිස්තුව අලුතෙන් ලියන බවට නම් සැකයක් නැත.

Comments