‘ආශ්වාදනීය බැංකු අත්දැකීමක් ජනතාවට ලබාදීම මහජන බැංකුවේ අපේක්ෂාවයි’ | Page 2 | සිළුමිණ

‘ආශ්වාදනීය බැංකු අත්දැකීමක් ජනතාවට ලබාදීම මහජන බැංකුවේ අපේක්ෂාවයි’

 

මෙරට බැංකු පද්ධතිය තුළ ජනතාවට වඩා සමීපව බැංකු හා මූල්‍ය සේවා ලබා දෙන ප්‍රමුඛතම වාණිජ බැංකුවක් ලෙස මහජන බැංකුව හැඳින්වීම නිවැරදි වේ.රාජ්‍ය අංශයේ පාලනය යටතේ සිය මෙහෙයුම් කටයුතු සිදු කරන එම බැංකුවේ වත්මන් සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ හිටපු සභාපතිවරයෙකු ද වන වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ කටයුතු කරන අතර ඔහු සමඟ සිළුමිණ සිදු කළ විශේෂ සාකච්ඡාවකි මේ.

කොවිඩ් 19 ව්‍යාප්ත වීමත් සමඟ මේ වන විට රට තුළ යම් ආර්ථික පසුබෑමක් පෙනෙන්නට තිබෙනවා. ඒ තත්ත්වය මෙරට බැංකු පද්ධතියට එල්ල කර ඇත්තේ කුමන බලපෑමක් ද ?

කොවිඩ් 19 වසංගතය අප රටට එල්ලවූ වසංගත තත්ත්වයක් පමණක් නෙවෙයි.ඉතා පැහැදිලිවම මෙය ගෝලීය වසංගතයක් ලෙස මුළු ලෝකයේ ම ආර්ථිකයට දරුණු බලපෑම් එල්ල කර තිබෙනවා. කුමන තත්ත්වයක් යටතේ වුවත් රටක ඉදිරි පැවැත්මට මූල්‍ය ස්ථායීතාවය අතිශය වැදගත් කරුණක්. රාජ්‍ය අංශය යටතේ කටයුතු කරන ප්‍රධානතම බැංකුවක් ලෙස එම මූල්‍ය ස්ථායීතාවය තහවුරු කිරීම සඳහා අප මහජන බැංකුවටද ලොකු වගකීමක් පැවරී තිබෙනවා.

ප්‍රධානතම රාජ්‍ය බැංකු ලෙස පිළිගැනෙන මහජන බැංකුව හා ලංකා බැංකුව හොඳ පදනමක් හා ශක්තිමත් ව්‍යුහයක් සහිත බැංකු ලෙස හැඳින්විය යුතුයි. කෙසේ වුවත් කොවිඩ් ව්‍යාප්තිය හමුවේ අප වැනි රාජ්‍ය බැංකු වගේම අනෙකුත් පුද්ගලික බැංකුත් යම්කිසි පසුබෑමකට ලක් වුණු බව කිව යුතුයි.

කුමන වාතාවරණයක් යටතේ වුවද බැංකුකරුවන් විදිහට අපගේ අවදානයට යොමු වන සුවිශේෂතම කාරණයක් තමයි ණය කළඹ කළමනාකරණය සඳහා වන අවදානම කොච්චර දුරට වැඩි වෙනවද කියන එක.වාණිජ බැංකු ලෙස අපි අපගේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය ණය මුදල් ලබා දෙන්නේ එම ගනුදෙනුකරුවන්ම අපගේ බැංකු වල පවත්වා ගෙන යන තැන්පතු මුදල් නිසි ලෙස කළමනාකරණය කරමිනුයි. කුමන බැංකුවක් ගත්තත් ලබා දුන් ණය නැවත අය කර ගැනීම එම බැංකු වල වගකීමක්. ඒ නිසා මහජන බැංකුව වන අප එකී වගකීම ඉතා මැනවින් තේරුම් ගනිමින් ගනුදෙනුකරුවන් අපගෙන් බලාපොරොත්තු වන සියලු ම බැංකු හා මූල්‍ය සේවා අඩු නැතුව ඔවුන් වෙත ලබා දීමට අවශ්‍ය සියලු ම විධිවිධාන නිරන්තරයෙන්ම ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළ යුතුයි.

රටේ ආර්ථික ගමන වේගවත් වන විට ජනතාව අතර මුදල් සංසරණය වැඩි දියුණු වීම වැඩි වැඩියෙන් සිදු විය යුතුයි. ඒ අනුව ජනතාව අතර මුදල් සංසරණය වැඩි කිරීම සඳහා මහජන බැංකුව ගෙන ඇති පියවර මොනවාද?

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හමුවේ පවා මෙරට ආර්ථිකය හා එම ආර්ථිකයට ජීවය දෙන ව්‍යාපාර ආයතන කඩා වැටීමට ලක් නොවී අඛණ්ඩව පවත්වා ගෙන යෑමට පහසුකම් සැලසීම සඳහා ජනාධිපතිතුමා හා රජය පියවර ගණනාවක්ම ගනු ලැබුවා. එහි එක් පියවරක් ලෙස රුපියල් බිලියන 170ක මුදල් කාරක ප්‍රාග්ධන ණය ලෙස 4% ක් වැනි ඉතා අඩු පොලියකට ව්‍යාපාර ආයතන සඳහා කඩිනමින් ලබා දීමට ද රජය කටයුතු යෙදුවා. රාජ්‍ය බැංකුවක් ලෙස අපද ඊට හවුල්කරුවකු වෙමින් එම කාරක ප්‍රාග්ධන ණය මුදල් ඉල්ලුම් කළ ගනුදෙනුකරුවන්ට ලබා දුන් දීමට කටයුතු යෙදුවා.

එපමණක් නොව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඉතිහාසයේ පළමු වතාවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පමණක් නොව ස්වයං රැකියාවන් හී නිරත වූවන්ට උත්සව අත්තිකාරම් ලබා දීමේ වැඩසටහන යටතේද ඉතා විශාල පිරිසකට අප මහජන බැංකුව මගින් එකී උත්සව අත්තිකාරම් ණය මුදල් ලබා දීමට මේ වන විටත් කටයුතු යොදා තිබෙනවා. ඊටත් අමතරව රජය මගින් මෑත කාලය තුළ හඳුන්වා දුන් "මේඩ් ඉන් ශ්‍රී ලංකා" හා "වනිතා සවිය" ආදී වැඩසටහන් සමඟ ද සම්බන්ධව ණය යෝජනා ක්‍රම කීපයක්ම අප බැංකුව මගින් හඳුන්වා දී ඇති බව කිව යුතුයි.

ඒ වගේම රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන ගනුදෙනුකරුවන් ලබා ගත් ණය මුදල් ආපසු ගෙවීමේ කාල සීමාවන්ද දීර්ඝ කිරීමට කටයුතු යෙදුණා. මේ ආකාරයට ජනතාව අතර මුදල් සංසරණය වැඩි කිරීම කිරීම සඳහා මහජන බැංකුව අනගි එමෙන්ම ප්‍රශංසනීය කාර්ය භාරයක් ඉටු කර ඇති බව සතුටින් යුතුව සඳහන් කළ හැකියි.

මෙවර අයවැයෙන් නිවාස ණය, වාණිජ ණය ඇතුළු ණය යෝජනා වල පොලී අනුපාත පහළ හෙළීමට කටයුතු කළා. ජනතාවට මෙවැනි සහන ලබාදීමට රජය කටයුතු කිරීම ඔබ දකින්නේ කොහොමද?

මම දැඩිව විශ්වාස කරන්න දෙයක් තමයි ආර්ථිකය දියුණු වෙන්න නම් පොලී අනුපාත තනි අගයක තියාගෙන යන්න ඕනේ.

විශේෂයෙන්ම අපනයන ආදායම මත රඳා පවතින ආර්ථිකයක් අපට තියෙන්නේ.ඒ අනුව අපගේ ආර්ථික ඉලක්ක සැබෑවක් වීමට නම් අපනයන භාණ්ඩ හා සේවා විදේශ වෙළඳපළේ තරගකාරී බව අත්‍යාවශ්‍යයි.

පසුගිය අවුරුදු වල සියයට දහඅටක්, දාසයක් තිබුණ පොලී අනුපාතය දැන් සියයට අටත්, නවයත් අතර තනි ඉලක්කමකට ගෙන ඒමට වත්මන් රජය කටයුතු යොදා තිබෙනවා.එය ඉතාම හොඳ දෙයක්.ඉතා හොඳම ප්‍රවණතාවක්.

පසුගිය කාලයේ අගමැති තුමා මුදල් ඇමති ඒ විදිහට ඉඳගෙන කළ අයවැය යෝජනා වල විශේෂයෙන් සඳහන් වැදගත් ආර්ථික යෝජනාවක් තමයි රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා සියයට හතක ඉතාම අඩු අවම පොලී අනුපාතයක් යටතේ නිවාස ණය ලබා දීම.පොලී අනුපාත අඩු කිරීම කියන කාරණය ගැන සඳහන් කිරීමේදී රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා මෙවැනි අඩු පොලියකට නිවාස ණය ලබා දීම ඉතාම හොඳ එය අගය කළ යුතු යෝජනාවක්.

ඔබ හිතන විධියට මහජන බැංකුව අනෙකුත් බැංකු වලින් ට සාපේක්ෂව වෙනස් මඟක් ගන්න හේතුව කුමක්ද?

මහජන බැංකුව රාජ්‍ය අංශය යටතේ පාලනය වන බැංකුවක්. රජයේ බැංකුවක් වුවත් අප සෑම විටම අනෙකුත් බැංකු හා තරගකාරී ලෙස අපගේ බැංකු සේවා මෙහෙයවනවා. ඒ වගේම අපි අපගේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය බැංකු හා මූල්‍ය සේවා ලබා දීමේදී දිනෙන් දින යාවත්කාලීන වන අති නවීන තාක්ෂණය ද නිරන්තරයෙන්ම යොදා ගන්නවා.

ඒ වගේම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් හඳුනා ගත් විවිධ ණය යෝජනා ක්‍රම, කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා සමාජයේ සෑම වයස් සීමාවක්ම නියෝජනය වන ඉතුරුම් ගිණුම් හා ජංගම ගිණුම්, විශ්වාසදායී උකස් ණය සේවා ආදී සියලුම බැංකු හා මූල්‍ය සේවා ඉතා විශ්වාසනීය ලෙස සැපයීමට සමත් වීම තුළ මහජන බැංකුව අනෙකුත් සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු අතරින් වෙනස් මගක් ගත් බැංකුවක් බවට පත් වී තිබෙනවා.

ඔබ මහජන බැංකුවේ සභාපති වීමෙන් අනතුරුව තවදුරටත් ජනතාව අතරට සමීප කරවීමට පියවර මොනවාද ?

මම ගමේ සිට ආ පුද්ගලයෙක්. එලෙස ඉදිරියට ආ වෘත්තිකයකු ලෙස මෙලෙස මහජන බැංකුවේ සභාපති ධූරයට මා පත් වීම පිළිබඳව මා තුළ ඇත්තේ ආඩම්බරය මුසු හැඟීමක්.

මෙම තනතුරට ඒමට පෙරත් වරලත් ගණකාධිකාරීවරයකු ලෙස බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මා ඉතා හොඳ හැදෑරීමක් කර තිබෙනවා. ඒ අනුව මා තරයේම විශ්වාස කරන දෙයක් තමයි බැංකුවක් වුණාම ව්‍යාපාරිකයන්ට නැඟී සිටීම සඳහා උදව් කළ යුතුයි කියන කාරණය. ඒ වගේම සාම්ප්‍රදායික, ගතානුගතික රාමුවෙන් මිදී බැංකු හා මූල්‍ය සේවා පවත්වා ගෙන යාමෙන් එම සේවා ලබා ගැනීමට බැංකු හා මූල්‍ය ආයතන වෙත පැමිණෙන ගනුදෙනුකරුවන්ට තෘප්තිමත් සේවාවක් ලබා ගත හැකි බවටත් මා හොඳින් දන්නවා.

ඒ නිසා මා මහජන බැංකුවේ සභාපතිධූරයට පත් වීමෙන් අනතුරුව බැංකුව තවදුරටත් ජනතාව වෙත සමීප කරවීම සඳහා දිනෙන් දින යාවත්කාලීන වන අති නවීන තාක්ෂණය වැඩි වැඩියෙන් බැංකු හා මූල්‍ය සේවා ගනුදෙනුවලදී යොදා ගන්නවා වගේම සාම්ප්‍රදායික, ගතානුගතික ක්‍රම වලින් බැහැරට ගොස් ඉතා විශ්වාසනීය හා ආශ්වාදනීය බැංකු අත්දැකීමක් ජනතාව වෙත ලබා දීම සදහා කටයුතු කරන ලෙසට බැංකුවේ කළමනාකාරීත්වයට අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම ලබා දී තිබෙනවා.එහි ප්‍රතිඵල ලෙස ඉදිරියේදී මහජන බැංකුව තව තවත් ගනුදෙනුකාර ජනතාවගේ ආදරය,ගෞරවය හා විශ්වාසය හිමි කර ගන්නවාට කිසිදු සැකයක් නැහැ.

 

Comments