හොලිවුඩ් බොලිවුඩ් බලන මිනිස්සුන්ට අමුතු චිත්‍රපට හදන්නෙ මොකටද? | සිළුමිණ

හොලිවුඩ් බොලිවුඩ් බලන මිනිස්සුන්ට අමුතු චිත්‍රපට හදන්නෙ මොකටද?

 

ලෝකේ හැම දේම අපි බාරගන්නව නම් ලෝකෙට දෙයක් දෙන්න අපිට බැරි ඇයි...

‘චත්‍රක්’ රූගත කරද්දි එහි දර්ශනයක් අන්තර්ජාලයට ගිහින් විශාල ආන්දෝලනයක් ඇති වුණා...

 

විමුක්ති ජයසුන්දර ලෝකයට අයිති නිර්මාණකරුවෙකි. ලෝක සිනමාවේ සංවාදයක් ඉපදවූ මේ ලාංකේය තරුණ සිනමා අධ්‍යක්ෂවරයා විසින් බෙංගාලි බසින් නිර්මාණය කළ ‘චත්‍රක්‘ MUSHROOM සිනමා කෘතිය අපේ ප්‍රේක්ෂකයන්ටත් දැක බලා ගන්නට දැන් අවකාශය සැලසී ඇත. කාන්ස්, ටොරොන්ටෝ, වොර්සෝ යන ලොව ප්‍රමුඛතම සිනමා උලෙළ ඇතුළු අන්තර්ජාතික සිනමා උලෙළ 21 ක් නියෝජනය කළ මෙම සිනමාපටය විදෙස් රටක පුරවැසියකු නොවන ශ්‍රී ලාංකිකයකු විසින් අධ්‍යක්ෂණය කොට ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ සේම කැමරාකරණය උදෙසා ශ්‍රී ලාංකේය කැමරා ශිල්පියකු ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබූ ප්‍රථම විදේශීය චිත්‍රපටයයි. මෙවර රසඳුන පිළිසඳර එසේ ලෝක සම්භාවනාවට ලක් වූ මේ ලාංකේය සිනමාකරුවා සමඟය. ‍

‘චත්‍රක්‘ චිත්‍රපටයෙන්ම අපේ කතාව පටන් ගනිමු ?

චත්‍රාක් ඉන්දියාවේ කල්කටා නුවර කේන්ද්‍ර කරගෙන නිර්මාණය වූ කතාවක්. විදේශයක සිට එන ගෘහ නිර්මාණ ශිල්පියෙක් හා ඉන්දියානු යුවතියක් වටා ගොඩනැඟෙන්නක්. ප්‍රධාන චරිතවල ගැටීම ඔස්සේ ඉන්දීය ජන සමාජයේ සංවේදනා රූපණය කරන්න කළ උත්සාහයක්.

මං ඉන්දියාව දැක්කේ සත්‍යජිත් රායිගේ සිනමාවෙන්. වත්මන් කල්කටාවේ රායිගේ සිනමාව තුළ දුටු චරිත තවමත් ජීවත් වෙනවා. ඒ පසුතලය පොදුවේ මිනිස් ජීවිතවලට දැනෙන ආකාරය සිනමා කෘතියට හසුකරගන්න මට හැකි වුණා. ආසියානු කලාපයේ ජන ජීවිත එක්ක පොදු අදහසකට එන්න මේ නිර්මාණයෙන් හැකියාව ලැබෙනවා යැයි මා විශ්වාස කරනවා.

 

සිනමාව කලාපීය සීමාවලින් ඔබ්බට ගෙන යෑමේදී ඔබේ අත්විඳිම මොන වගේද?

රූප මාධ්‍ය විශ්ව භාෂාවක්. මෙතනදි මට තියෙන්නේ බලවත් ප්‍රශ්නයක්. ඇයි අපේ නිර්මාණශීලී තරුණ තරුණියන් ඒ සඳහා ඉදිරිපත් නොවන්නේ. මම සිනමාව කරන්නේ මේ කියන කාරණාව ජයගන්න. ඉන්දියාව දකුණු කොරියාව වගේ රටවල හදන නිර්මාණ බොහෝ දෙනා බලනවා. අපි තේරුම් ගත යුතුයි රූප භාෂාව කියන්නේ ගෝලීය භාෂාවක් බව. ශික්ෂණයකින් විනයකින් එය හසුරුව ගන්න පුළුවන් නම් පොදුවේ ලෝකයම ඒ නිර්මාණය පිළිබඳ කතා කරයි. ‘චත්‍රාක්‘ චිත්‍රපටයෙන් කතා කරන තේමාවත් මුළු ලෝකයටම පොදු වූ තේමාවක්. ලෝකෙන් එන ඕනම දෙයක් අපි බාරගන්න ලෑස්තියිනේ. ඒත් අපිට පුළුවන්ද ලෝකයට දෙයක් අරගෙන යන්න. එයයි මෙතනදි වැදගත්.

 

ප්‍රේක්ෂකයා මේ නිර්මාණය මොන ආකාරයකට පිළිගනීවි ද?

ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයන් පිළිබඳ සරලව සලකන්න බෑ. හොඳ නිර්මාණ රස විඳින බහුතරයක් ඉන්නවා. එයාලට කතා කරන්න අපිට තිබෙන අවස්ථා අඩුයි. මගේ පෞද්ගලික උත්සාහය හිතන්න පුළුවන් පිරිසක් අපි වටා නිර්මාණය කරගැනීමයි.

 

මේ චිත්‍රපටය වාරණයට ලක් වුණා ද?

මෙහිදී නිර්වචනය වීමේ ප්‍රශ්නයක් තියෙනවා. මේ චිත්‍රපටය රූගත කිරීමේදි එක්තරා දර්ශනයක් අන්තර්ජාලයට එකතු වුණා. මෙය සිදු වෙන්නේ රූගත කරමින් සිටියදී කැමරාව කාර්මික දෝෂයකට ලක් වීමෙන්. එය යථා තත්ත්වයට ගෙන එන්න කාර්මික ආයතනයකට භාර දෙන්න වුණා. එතනදි මෙහි දර්ශන කීපයක් කිසියම් විදිහකින් අන්තර්ජාලයට ගියා. ඒ නිසාම මේ චිත්‍රපටය සම්බන්ධයෙන් ලොකු ආන්දෝලනයක් ඇති වුණා. චිත්‍රපටයේ රඟපාපු නළු නිළියන් විශාල අපහසුතාවකට ලක් වුණා. ඒ තත්ත්වය තුළ මා තීරණය කළා චිත්‍රපටයට ඒ දර්ශනය කිසිසේත්ම ඇතුළත් නොකරන්න.

මේ හරහා ඇති වුණු සංවාදය නිසාම අප ප්‍රදර්ශනය සඳහා අවසර ඉල්ලා සිටියේ නෑ. කෙසේ වෙතත් අපි අන්තර්ජාතික උලෙළ සහ ඉන්දියාවේ විවිධ සිනමා ප්‍රදර්ශනවල මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කළා. මහජන ප්‍රදර්ශනය සඳහා අවසර ඉල්ලන්න උත්සාහ කළේ නෑ.

 

ඔබේ බොහෝ නිර්මාණ ලංකාවෙන් පිටත ඉලක්ක කෙරෙන්නේ ඇයි ?

මගේ නිර්මාණ ලංකාවේ ප්‍රේක්ෂකයාට නොවේය කියන්න බැහැ. ලංකාවේ ප්‍රේක්ෂකයාට නොවේ නම් මම මේ චිත්‍රපට මෙහෙ පෙන්වන්නෙ නෑ. නමුත් ලංකාවෙ ප්‍රේක්ෂකයාට පමණක් පෙන්වන චිත්‍රපට මම හදන්නේ නෑ. ඒක තමයි වෙනස. ලංකාවේ ප්‍රේක්ෂකයන් ලෑස්ති නම් හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපට සහ ලෝකයේ අනෙක් ඕනෑම රටක චිත්‍රපට බලන්න ඇයි ලංකාවට විතරක් වෙන වර්ගයක චිත්‍රපට හදන්නේ. විදෙස් චිත්‍රපට ලංකාවේ පෙන්නලා විශාල ආදායමක් ලබනවා නම් ඇයි අපේ සිංහල චිත්‍රපට තමිල්නාඩුවෙ සහ අනෙක් රටවල්වල පෙන්නන්න බැරි. මට තියෙන ප්‍රශ්න ඒකයි.

 

ඔබ ඉලක්ක කරන්නේ විදෙස් චිත්‍රපට උලෙළවල් යැයි කීවොත්?

මගේ චිත්‍රපට ප්‍රංශයේ සාමාන්‍ය සිනමා ශාලාවල ප්‍රදර්ශනය වුණා. සිනමා උලෙළ කියන්නේ විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නිර්මාණ විඳින තැනක්. ඔව්... ලෝකේ හැම තැනම මගේ චිත්‍රපට පෙන්නල තියෙනවා. ඔබ මෙය දැනගත යුතුයි. ඒ උලෙළ සඳහා මේ චිත්‍රපට හොඳ ගෙවීමක් කරලයි ගන්නේ. චිත්‍රපටයක් නිර්මාණය කළාට පස්සේ ලැබෙන ආදායමෙන් කොටසක් විදිහට තමයි අප චිත්‍රපට උලෙළ සලකන්නෙ.

අනවබෝධයක් තියෙන ලංකාවේ ගොඩක් අය උලෙළ සඳහා තමන්ගේ චිත්‍රපට නොමිලයේ යවනවා. ඇත්තටම කළ යුතු කාරණය තමයි ඒ උලෙළ තමන්ගෙ චිත්‍රපටය ඉල්ලලා ගන්න තත්ත්වයට චිත්‍රපටය හදා ගැනීම.

 

ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ලැබුණ සිනමාකරුවෙක් ලෙස ඔබට ලංකාවේ දී ඒ වටිනාකම ලැබෙනවාද?

ඔව්. මම සෑහීමට පත්වෙනවා. මට ඒ වටිනාකම මේ රටේදි ලැබුණා.

 

[email protected],gmail.com

Comments