සම්මත කතුන්ට වඩා මගේ ජීවිතේ වෙන විදිහකට ගිය එකක් | සිළුමිණ

සම්මත කතුන්ට වඩා මගේ ජීවිතේ වෙන විදිහකට ගිය එකක්

මතයක් හැටියට පවතින දේවල් කඩලා බිඳලා දමන්නයි මම ආසා කළේ...

 

මා රඟපෑ චරිත ආන්දෝලනාත්මක වුණාද කියලවත් මට දැනුණේ නැහැ

රංගනයෙන් දායක වූ චිත්‍රපට ප්‍රමාණය අතළොස්සක් වූවත් සිනමාලෝලීන්ගේ හදවත ස්පර්ශ කිරීමට ඇය සමත් වූවාය. ඇය ප්‍රධාන චරිත නිරූපණය කළ ධර්මසේන පතිරාජගේ ‘පාර දිගේ‘ (1980) සහ ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘තුන්වෙනි යාමය‘ (1983) මතවාදයට තුඩු දුන් නිර්මාණ විය. 1975 දී මනික් සන්ද්‍රසාගරගේ ‘කළුදිය දහරා‘ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය ඉන්දිරා ජොන්ක්ලාස් නම් වූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියයි.

සිය රංගන ජීවිතයේ හොඳම අවධියේ ඇය විදේශ ගත වන්නේ කුසලතා පූර්ණ රංගන ශිල්පිනියක ලෙස ජනතා ප්‍රසාදය දිනාගනිමින් සිටියදීය. කාලයාගේ ඇවෑමෙන් ඉන්දිරා ජොන්ක්ලාස් නාමය මෙරට සිනමාලෝලීන්ගේ මතකයෙන් ඈත් වූවත්, ඇය රඟපෑ සිනමා නිර්මාණ සහ ඇය ජීවමාන කළ චරිත අදටත් කතාබහට ලක්වෙයි.

වසර 33ක්ම විදේශගතවී සිටී ඉන්දිරා ජොන්ක්ලාස් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 2016 වසරේදීය. ඒ වනවිට ඇය මවුබිමෙන් ඈත්ව වසර 33කටත් අධිකය. ඇය ‘රසඳුන‘ සමඟ එක්වන්නේ එතෙක් මෙතෙක් නොකී කතා කිහිපයක් ද සමඟිනි.

‘පාර දිගේ ‘කියන්නේ දේශපාලන වශයෙනුත්, සංස්කෘතික වශයෙනුත් ඒ කාලයේ හැටියට සම්මතය කුඩුපට්ටම් කළ කතා තේමාවක්. ඇය රඟපෑවේ චන්දරේ සමඟ එකට ජීවත්වෙන අවිවාහක තරුණිය ස්වර්ණාගේ භූමිකාව. ‘තුන්වෙනි යාමය‘ චිත්‍රපටයේදි මාපියන්ගේ වරදින් ලිංගික බෙලහීනතාවට ලක්වූ තරුණයා පර්සි සමඟ විවාහ වී තනි යහනේ සුසුම් හෙළන අවාසනාවන්ත තරුණ බිරිය ප්‍රින්සිගේ භූමිකාවට පණ දුන්නාය. එවැනි ආන්දෝලනාත්මක නිර්මාණවල රඟපෑමට තරම් ඇගේ නිර්භීත කම ගැන මේ සංවාදයේ ඇරඹුමේම මට අසන්නට සිතිනි.

“සම්මත ගැහැනු ළමයින්ට වඩා මගේ ජීවිතය වෙන විදිහකට ගිය එකක්. මම බය නෑ කිසිම දෙයකට. මම හරිම නිර්භීත චරිතයක්. පොඩි කාලේ ඉඳලම කළේ එපා කියන දේවල්. හැදුණෙත් බටහිර පන්නයටනේ. තාත්තා සිංහල වුණාට අම්මා ලන්සිනේ. තාත්තාගේ නෑදෑයෝ හරිම ගතානුගතිකයි. පොඩි කාලේ මට කවුරු හරි කිව්වොත් මේක කරන්න එපා කියලා මම ඒක කරනවාමයි. ඒ කාලේ ඇස්වහ කටවහ එහෙම විශ්වාස කරන අපේ ආච්චි කෙනෙක් මට කියනවා ‘ඉන්දිරා බැදපු කෑම කාලා එළියට යනවා නෙවෙයි යක්කු ගහයි‘ කියලා. මම මොකද කළේ බැදපු කෑම කාලා එළියටම ගියා. ගහන යකා මටනේ ගහන්නේ. ගහලා බලමු කියලා. විද්‍යාත්මක පදනමක් උඩ යම්කිසි දෙයක් පිළිගත්තට, මතයක් හැටියට පවතින දේවල් මම කඩලා බිඳලා දමන්නයි ආසා කළේ. ඒ නිසා මේ වගේ චරිත රඟපාන්න මට කිසිම චකිතයක් තිබ්බෙත් නෑ.“

ඇය මූලික අධ්‍යාපනය ලැබුවේ කොටහේනේ යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ. උසස්පෙළ කරන්නේ ඇක්වයිනස් එකේ. උසස්පෙළ, විවාහය, පළමු චිත්‍රපටයේ රඟපෑම මේ සියල්ල සිදුවන්නේ එකපෙළට. හරි වේගවත් විදිහට...

“ඒක මෙහෙමයි වුණේ. මම අවුරුදු 16දී අමෙරිකාවට යනවා. ඒ කාලේ අවුරුද්දක ශිෂ්‍යත්වයක් දුන්නා ශ්‍රී ලංකාවේ පාසල් ළමයින්ට අමෙරිකාවට ගිහින් එහේ පවුලකට එකතුවෙලා අධ්‍යාපනය හදාරන්න. ලංකාවෙන් ළමයි දහයක් තෝරාගත්තා. මමත් ඉන් එක්කෙනෙක්. අමෙරිකාවේ මිචිගන්වලටයි ගියේ. මම එහේ අධ්‍යාපනය ලබන ගමන් නාට්‍යය කලාවත් හැදෑරුවා. පාසල් කාලෙත් මම ඒවා කළා. ඒ කාලයේ අපේ කන්‍යාරාමයේ හිටියේ ඔක්කොම අයර්ලන්තයේ කන්‍යා සොයුරියන්. එයාලා ඒවා පුහුණු කළා. සංගීතය, චිත්‍ර ශිල්පය, නාට්‍යය, නර්තනය ඒ හැමදෙයක්ම කළා.

 

ඉතින් අමෙරිකාවේ ඉඳලා ආවට පස්සේ මෙහේ නාට්‍යවල රඟපෑවා. ඒ එක්කම මට හිතුණා පාසල් අධ්‍යාපනය අමෙරිකාවත් එක්ක බලද්දී එක්තරා විදියකට විෂය ධාරාවකට විතරක් කොටු කළ එකක් වග. ඒකයි මම උසස්පෙළ කරන්න ඇක්වයිනස් තෝරාගත්තේ. 1967දී අමෙරිකාවට තනියම ගියා. 1968දී ආපහු ආවා. ඊළඟ අවුරුද්දේ ජූනි වලදී විවාහ වුණා ඩේවිඩ් ජොන්ක්ලාස් එක්ක. ඒ කාලේ තමයි චිත්‍රපටවල රඟපාන්න අවස්ථාව ලැබුණේ.

ඒක ඔබේ සිහිනයක් වුණා ද...

කොහෙත්ම නෑ. මම ඒ වෙද්දී නාට්‍යවල රඟපාලා තිබුණා. ඒ නිසා මට ආසාවක් තිබුණා චිත්‍රපටවල රඟපාලා මේ ක්ෂේත්‍ර දෙකක වෙනස හඳුනා ගන්න. මම කොහොමත් චරිත හොයාගෙන සිනමාව පස්සේ ගිය කෙනෙක් නෙවෙයි. එයාලා මාව හොයාගෙන ආවා. එහෙමයි සිනමාවට ආවේ.

පාර දිගේ, තුන්වෙනි යාමය චිත්‍රපට දෙකෙහිම නිරූපණය කළ චරිත මගේ මනසට ආන්දෝලනයකට තුඩුදුන් චරිත වග දැනුණෙවත් නෑ. විශේෂයෙන් ධර්මසිරිගේ ‘තුන්වෙනි යාමය‘ මම ආසාවෙන් කළ රංගනයක්. මම පොඩිකාලේ ඉඳලම මනෝවිද්‍යාවට කැමැත්තෙන් හිටියේ. උසස්පෙළින් පස්සේ මට සරසවි වරම් අහිමි වුණෙත් ඒ නිසයි. මට ඕන කළත් මනෝ විද්‍යාව හදාරන්න. ඒ කාලේ අපේ විශ්වවිද්‍යාලවල මනෝවිද්‍යාව හදාරන්න අවස්ථාවක් තිබුණේ නෑ. ඒ නිසා විශ්වවිද්‍යාලයට ගියේ නෑ. ‘තුන්වෙනි යාමය‘ මනෝ විද්‍යාවත් එක්ක ගිය කතා තේමාවක්. “ ඒත් ඒ සමඟම ඇය රට හැර යනවා...

“1982 වෙද්දී මගේ සැමියා ඩේවිඩ් ඩුබායි හී ස්වර්ණාභරණ වෙළෙඳසැලක් පවත්වාගෙන ගියා. මම ‘තුන්වෙනි යාමයේ ‘රඟපෑවා. 1983 ජූලි කලබල ආවා. අගෝස්තුවේදී මමත් දරුවෝ එක්ක ඩුබායි ගියා. ඒ ගියා ගියාමයි ආපහු ආවේ අවුරුදු 33කට පස්සේනේ. හරියටම 2016 ඔක්තෝබරයේ. සැමියා තවම එහේ. මගේ ලොකු පුතා අමෙරිකාවේ. එයාට දැන් අවුරුදු 47ක්. බාල පුතා කැනඩාවේ. එයාට දැන් අවුරුදු 45යි. මට දැන් අවුරුදු 71ක්. මම ඩුබායි රජයේ ඉඩම් සංවර්ධන ක්ෂේත්‍රයට අදාළව ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක් විදිහට දශක ගණනාවක් රැකියාව කළා. ජාත්‍යන්තර මට්ටමේ අවධානයට ලක්වුණු ඩුබායි නුවර බොහෝ සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට මමත් සම්බන්ධ වෙලා හිටියා. “

‘කළුදිය දහරා‘ චිත්‍රපටයේ ඉනෝකා, ‘පාර දිගේ‘ ස්වර්ණා, ‘තුන්වෙනි යාමයේ‘ ප්‍රින්සි, අතර ඇය වඩාත්ම කැමති චරිතය සොයන්න මම උත්සාහ කළෙමි..

‘ඉනෝකා‘ගේ චරිතයට තමයි ආසා. ඒ වගේම බද්දේගම චිත්‍රපටයේ ආරච්චිලගේ බිරිඳගේ චරිතයටත් කැමැතියි. ඉනෝකාගේ චරිතය මගේ පෞද්ගලික ජීවිතයටත් වඩාත්ම සමීපයි. අනිත් අතට බද්දේගම චිත්‍රපටයේ චරිතයට ඒකට හාත්පසින්ම වෙනස්. දුෂ්ට, නපුරු චරිතයක්.

ඇගෙ ඒ අද්විතීය රංගනයේ මතක එසේ පෙළ ගැසෙද්දී සිනමාව ගැන දැන් ඇයට උනන්දුවක් ඇත්තෙම නැතිදැයි නොවිමසා සිටිය නොහැකි විය.

“ ඇයි නැත්තේ. තවම තියෙනවා. සිනමාව කියන්නේ මගේ වෘත්තීය නෙවෙයි. විනෝදාංශයත් නෙවෙයි. හැබැයි මට පුදුම ආසාවක් තියෙන්නේ සිනමාව ගැන. ඒක අන්තර්ජාතික සිනමාව කිව්වොත් වඩාත් නිවැරදියි. අද වෙනතුරු ඒ ආසාව අඩුවෙලා නෑ. චිත්‍රපටයක් කරනවාට වඩා මම කැමැතියි තිර රචනයට. දැනට මම අනෝමා රාජකරුණාගේ වැඩසටහන් කිහිපයකට එකතුවෙලා වැඩ කරගෙන යනවා.“

වත්මන් සිනමාව ගැන ඇය දරන්නේ මෙවැනි අදහසක්.

“ අද වෙනකොට සිංහල සිනමාව දියුණු ද නැද්ද කියලා ප්‍රකාශයක් කරන්න මට බැහැ. මොකද මම අලුත් නිර්මාණ එච්චර බලලා නැති නිසා. අනෝමා රාජකරුණාගේ ආරාධනයකින් මට අජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළේ ජූරියට එකතුවෙන්න ලැබුණා. අපි මීට කලින් මුණගැහිලත් නෑ. ඒත් දැන් එකට වැඩ කරනවා. මේ කෙටි චිත්‍රපට උලෙළේදී මම යමක් තේරුම් ගත්තා. අපිට නැවුම් අදහස් තිබෙන දක්ෂ තරුණ සිනමාකරුවන් පිරිසක් ඉන්නවා. නමුත් වෘතාත්ත චිත්‍රපටවලට පරිවර්තනය වෙද්දී ඒවා කොයිතරම් දුරට සාර්ථක වේවි දැයි මම දන්නෙ නෑ. ගමෙන් නගරයට ඇවිත් පාවෙන චරිත බවට පත්වුණු චන්දරේලා වගේ චරිත ගැන ‘පාරදිගේ‘ චිත්‍රපටයෙන් කතා කළා. ඒ වගේ වර්තමාන චරිත ඇතුළත් ගැඹුරු තේමාවක් සහිත චිත්‍රපටයක් මම මෑතකදී දැක්කා. බහුචිතවාදියා කියලා. ඒ චිත්‍රපටය තරුණ සිනමාකරුවෙක්ගේ (මාලක දේවප්‍රිය) නිර්මාණයක්. ඒ ගැන මම සතුටුවෙනවා.

[email protected]

 

Comments