සංජානාගේ රූ රහස් | සිළුමිණ

සංජානාගේ රූ රහස්

 

සංජානා ඔනාලී ගමාරච්චි කියන්නෙ මේ දිනවල කාගෙත් කතාබහට ලක්වෙන නිර්මාණ තුළින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්, නිතර දක්නට ලැබෙන යොවුන් රංගන ශිල්පිනියක්. සංජානා ඇගේ රුව රැක ගන්නා සත්කාර ගැන පැවසුවේ මෙලෙසයි.

 

කඩල පිටි සත්කාරය

රංගන ශිල්පිනියක් විදිහට ෂූටින්වලදී නිතරම මේකප් දාන්න වෙනවා. එහෙම නිතරම මේකප් දැමීමෙන් මුහුණේ කුරුලෑ ඇතුළු ගැටලු බොහොමයක් ඇතිවෙනවා. ඒකට ප්‍රතිකර්මයක් විදියට මම කඩල පිටිවලින් මුහුණට සත්කාර කරනවා. ඒක හදා ගන්නේ කඩල පිටි,මී පැණි, කහ සහ දෙහි ස්වල්පයක් අරගෙන හොඳින් කලවම් කරලයි. ඒ මිශ්‍රණය මුහුණේ ආලේප කරලා විනාඩි 20කින් පමණ සෝදා හරිනවා. ඉතා සාර්ථක ප්‍රතිකාරයක් විදිහට මේ ෆේස් ෆැක් එක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම බොඩි ස්ක්‍රබ් එකක් විදිහටත් මෙය පාවිච්චි කළ හැකියි.

මුං ඇට ෆේස් පැක්

මුං ඇට ෆේස් පැක් එකත් මම නිතර භාවිත කරනවා. මුං ඇට පවුඩර් එකක් විදියට හදාගෙන ඒකට කහ සහ දෙහි ස්වල්පයක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරලා තලපයක් විදිහට හදාගෙන මුහුණේ ආලේප කරලා විනාඩි 20කට පමණ පසුව සෝදා හරිනවා. මෙයත් ගොඩක් සාර්ථකයි.

කොණ්ඩයට කැරටීන් සත්කාරයක්

කාර්යබහුලත්වය නිසා මට කොණ්ඩයට ස්වාභාවික සත්කාර කරන්න ලැබෙන වෙලාව ඉතා සීමිතයි. ඒ නිසා මම සැලෝන් එකකට ගිහින් කොණ්ඩයට කැරටීන් ට්‍රීට්මන්ට් එකක් කරගන්නවා.

සමට අයිස් කැට සත්කාරය

සාමාන්‍යයෙන් දවසට වරක් හෝ දෙවරක් වගේ අයිස් කැටයකින් මුහුණ පිරිමැදීමත් මම සමට කරන සත්කාරයක්.

සිරුර නිවන පානයන්

දිනපතා උදේට පලතුරු යුෂ වීදුරුවක්, නැවුම් කිරි වීදුරුවක් හෝ තැඹිලි ගෙඩියක් හෝ පානය කරන්න උත්සාහ කරනවා. ඒ වගේම මම අනිවාර්යයෙන්ම පලා වර්ග ආහාරවේලට එකතු කරගන්නවා.

ප්‍රමාණවත් වතුර පානය

නිරෝගීකමට වතුර පානය කිරීම අත්‍යවශ්‍යයි. සාමාන්‍ය‍ෙයන් දවසට ලීටර් පහක්වත් වතුර පානය කළ යුතු වුණත් කාර්යබහුලත්වය එක්ක අපිට එය මගහැරෙනවා වැඩියි. නමුත් පුළුවන් හැම වෙලාවෙම මම වතුර බොන්න උත්සාහ කරනවා. ඒක ලස්සනට ඉන්න වගේම නිරෝගීකමටත් ඉන්න ලොකු උදවුවක්.

ව්‍යායාම්

මම අනිවාර්යයෙන්ම ව්‍යායාම් කරනවා. වෙලාව තියෙනවා නම් ජිම් එකට යනවා. මම විශේෂයෙන් කෑම පාලනයක් නම් කරන්නේ නැහැ. ඒ නිසා ව්‍යායාම මඟින් තමයි සිරුරේ හැඩය සුන්දරව තියාගන්නෙ.

නින්ද සහ මානසික සතුට

දිනකට පැය හයක්වත් නින්දක් අවශ්‍ය වුණාට කාර්යබහුලත්වය එක්ක පැය හයක් නිදාගන්න ලැබෙනවා අඩුයි. නමුත් මම හැම වෙලාවෙම උත්සාහ කරනවා එහෙම අඩුවෙන නින්ද කොහොමහරි ලබාගන්න. මානසික සුවය වෙනුවෙන් නින්ද සහ විවේකය අත්‍යවශ්‍ය බව මම විශ්වාස කරනවා.

[email protected]

Comments